කොච්චර අස් කළත් ගෙවල් හැඩි වෙනවද? එහෙනම් මේ වැරදි ඔයා අතිනුත් වෙනවා ඇති

අපි කවුරුත් වර්තමානයේ ගෙවන්නෙ බොහොම කාර්යබහුල ජීවිත. ඒ නිසා ගෙවල් දොරවල් අස් පස් කරන්න අපිට යොදවන්න තියන කාලයත් බොහොම අඩුයි. අමාරුවෙන් කාලය හොයාගෙන සතියකට පාරක් හරි ගෙවල් දොරවල් අස් කළත් මෙන්න බොලේ දවස් දෙක තුනකින් ගෙවල් ආයෙ හැඩිවෙලා. ඉතින් අස් කරපු මහන්සියත් අපරාදෙ කියල හිතෙනවා. හැබැයි අපි ටිකක් හොඳට හොයලා බැලුවොත් ගෙවල් දොරවල් වැඩිපුර හැඩි වෙන්නේ අපේ තියන සමහර වැරදි පුරුදු නිසාමයි. ඒවා මගහරවා ගත්තොත් ගෙවල් දොරවල් පිළිවෙලට, පිරිසිදුවට තියාගන්න පුළුවන් වෙයි.

 

1. අනවශ්‍ය දේවල් මිලදී ගැනීම

අපි කාටත් එක එක දේවල් මිලදී ගැනීමේ ආසාවල් එනවා. සමහර විට මේවා එන්නේ එකපාරටම. එහෙම නැත්නම් අපි ෂොපිං කරද්දී අපේ ඇහැ ගැටෙන සමහර ආකර්ෂණීය දේවල් අපි මිලදී ගන්න පෙළඹෙනවා. සමහර වෙලාවට සිත්ඇදගන්නාසුලු මාර්කටින් උගුල්වලට අහුවෙලත් අපි අනවශ්‍ය දේවල් මිලදී ගන්නවා. ඒ නිසා අපිට ඇත්තටම අත්‍යාවශ්‍ය මොනවද කියන එක ගැන අපි හොඳ අවබෝධයකින් ඉන්න ඕන. ෂොපිං කරන්න යනවනම්, ඊට කලින් අපිට අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එකක් හදාගෙනම ෂොපිං යන එක වැදගත්. එතකොට අපිට ලිස්ට් එකෙන් පිට දේකට හිත ගියොත් එවෙලේට කල්පනා කරල බලන්න ඕන ඇත්තටම මේ වෙලාවෙ මේ නිෂ්පාදනය මිලදී ගන්න එක අපිට ඇත්තටම වැදගත්ද කියලා. ඒ වගේම තමයි එක පාරට මොකක් හරි ටීවී ඇඩ් එකක් හරි දැකලා යමක් මිලදී ගන්න හිතුණොත් එවෙලේම ඒක මිලදී ගන්නෙ නැතුව දවසක් දෙකක්වත් කල්පනා කරලා, ඒක ඇත්තටම අත්‍යාවශ්‍යද කියලා හිතලම ඉන්න. ඔය සමහර ආසාවල් එකපාරට ආවට ටිකක් කල් අරන් හිතලා බැලුවම අපිට තේරෙනවා ඒවා අනවශ්‍ය වියදම් කියලා. ඒ ඔක්කොටම වැඩියෙන් අනවශ්‍ය දෙයක් මිලදී අරන් නිකන් ගෙදර ගොඩ ගහගෙන ඉන්න එකෙන් ගේ හැඩිවෙන්න හේතු වෙනවා.

 

2. ගත්ත බඩුව අදාළ තැනින් නොතැබීම

ඔන්න ඉතින් ගෙවල් දොරවල් අස් කරලා, සපත්තු රාක්කෙ ලස්සනට පිළිවෙලක් කරලා, ඇඳුම් අල්මාරිය හදලා, කුස්සියේ බඩු ගාණට අසුරලා තියනවා. මෙන්න බොලේ දවසින් දෙකෙන් බඩු සීසීකඩ. හදිස්සියකට දාපු තැනක් හොයාගන්නත් නැහැ. මේකට හේතුව අපි පාවිච්චියට ගන්න බඩුව පාවිච්චි කරල ඉවරවෙලා අදාළ තැනින් තියන්නේ නැති එක. ගෙදරට එද්දිම සපත්තුව ගලවලා පුටුවක් යටට තල්ලු කරනවා. ලාච්චුවකින් අඬුවක් ගත්තම ඒක තියන්නේ තවත් තැනක. එක ඇඳුමක් ගන්න අල්මාරියෙම රෙදි බිමට ඇදල දානවා. මේ වගේ පුරුදුවලින් පුළුවන් තරම් වැළකෙන්න. දැන් අපි කුස්සියේ ඉහුම් පිහුම් කරද්දි පිහියක් හැන්දක් ගත්තම ඒක නැවත නැවත රාක්කවලින් තිය තිය, ආයෙ අරගෙන වැඩේ කරන්න බැහැ තමයි. ඒ වගේ දේවල් දවස  අවසානයේ නිසි තැන්වලින් තියන්​න.

 

3. අනවශ්‍ය බැඳීම්

සමහරු තේරුමක් නැති බඩු වලට අනවශ්‍ය විදිහට බැඳිලා ඉන්නවා. පොඩි කාලේ සෙල්ලම් බඩු, ආදර සිහිවටන, එක එක තැන්වලට ගියාම මිලදී ගත්ත තොරොම්බල් බඩු වගේ ඒවා මේ අතරින් ප්‍රධානයි. මේ සමහරක් ඒවා තියන්න තැනකුත් නැහැ. ඉතින් තැන් තැන්වල මේස උඩ, ගෙදර අහුමුළුවල ගොඩ ගහලා තියනවා. මකුළුදැල් බැඳිලා, දූවිලි පිරිලා ගේ ම හැඩි වෙනවා. අපි කියන්නේ නැහැ ඔයාට බැඳීමක් තියන හැම දෙයක්ම විසි කරල දාන්න කියලා. ඒත් ඒ සිහිවටන අතරින් අනවශ්‍යමයි කියලා හිතෙන ඒවත් ඕන තරම් තියනවා කියලා ඔයාට ටිකක් කල්පනා කළොත් වැටහේවි. ඒවා ඉවත් කරන්න. නැත්නම් අවශ්‍ය වෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න.

 

4. වැඩකට නැති බඩු ගොඩ ගසාගැනීම

මේකත් එක්තරා අනවශ්‍ය බැඳීමක් තමයි. මේ වැඩේට ගොඩක් හුරු වෙලා ඉන්නේ අපේ වැඩිහිටි පරම්පරාවේ උදවිය තමයි. ඒ අය දෙයක් ඉවතට දාන්න හරි ලෝභයි. කවදා හරි ප්‍රයෝජනයක් තියෙයි කියලා කම්බි කෑලි, කැඩිච්ච ගෘහ උපකරණ පවා ගෙදර ගොඩ ගහලා තියනවා. ඒවායෙන් ගෙදර හැඩි වෙලා යනවා. ඒ වගේම තමයි අපිට එන නොයෙකුත් ලියුම්, දැන්වීම් වගේ ඒවා. ඒ සමහරක් ඒවා නිකම්ම නිකන් වෙළඳ දැන්වීම් සහ දැනුවත් කිරීමේ ලියකියවිලි විතරයි. ඒවත් ෆ්‍රිජ් උඩ, මේස උඩ ගොඩ ගහගෙන ඉන්නේ නැතුව අනවශ්‍ය දේවල් කුණු බක්කියට දාන්න. මේවා ගැන තීරණය කරන්න බැරිනම් මේ විදිහට හිතන්න… “මේ දේ නැති වුණොත් මට මොකක් හරි පාඩුවක් හානියක් වෙයිද?” කියලා හිතලා බලන්න. එහෙම හානියක් නැති දෙයක් ඉවතට දැම්මට කිසි ප්‍රශ්නයක් නැහැනේ…

 

5. ගෙදර තියන දේ නිසි ලෙස ගබඩා කරන්න නොදැනුවත්කම

වර්තමානය වෙද්දී ඉඩ කඩ සුරකින සහ අපේ වැඩ වඩාත් කාර්යක්ෂම කරන ගෘහ උපකරණ, විශේෂයෙන්ම රාක්ක, කබඩ්, ඇසුරුම් වගේ දේවල් ඕන තරම් හොයාගන්න පුළුවන්. ගෙදර බොහොම පොඩි ඉඩක් අරගන්න මේ දේවල් අපිට බොහොම ප්‍රයෝජනවත් අපි භාවිතා කරන බඩු භාණ්ඩ, උපකරණ පිළිවෙලට ගබඩා කරන්න. කුස්සියේ පිහි දාන රාක්ක, කෑම අසුරන පෙට්ටි, බෝතල් ව​ගේම අපිට අවශ්‍ය ලිය කියවිලි දාන්න ෆයිල් ෆෝල්ඩර් වගේ ඒවා භාවිතා කරන එක හරි වැදගත්. ඒ මගින් එක එක දේවල් එක එක තැන්වල තියන එක වැළකෙනවා වගේම පිළිවෙලට සහ ලේසියෙන් හොයාගන්න පුළුවන් විදිහට ඒවා නිසි තැන්වල තැන්පත් වෙනවා.

 

 

6. අනවශ්‍ය සැරසිලි මානසිකත්වය

අපි කවුරුත් ආසයි ගෙවල් දොරවල් බොහොම ලස්සන සැරසිලිවලින්, ගෘහ භාණ්ඩවලින් සරසලා ආකර්ෂණීය විදිහට තියාගන්න. හැබැයි කාලයක් යද්දී මේ ආසාව ටිකක් පමණ ඉක්මවා යන්න ඉඩ තියනවා. එතකොටත් ගේ දොර හැඩි වෙන්නෙ අපි බලා ඉද්දිමයි. උදාහරණෙකට සමහරු පුරුදු වෙලා ඉන්නවා මග තොටේ, කඩ සාප්පුවල ලස්සන මල් පෝච්චියක්, බිත්ත සැරසිල්ලක්, කැටයමක් දැක්ක ගමන් ගෙදර ගෙනිහින් තියන්න. නමුත් මේ සමහර ඒවා තනිවම තියල බැලුවම ලස්සන වුණාට, ගෙදර තේමාවට, වර්ණයන්ට ගැළපෙන්නෙත් නැහැ. ගෙදර ඉඩත් ඇහිරෙනවා. හැම මුල්ලකම බඩු පිරුණාම දුහුවිළි, මකුළුදැල් පිරෙනවත් වැඩියි. පුටු මේස වගේ ගෘහ භාණ්ඩත් එසේමයි. සමහරුන්ගේ ගෙවල්වල පොඩි සාලවල සෝෆා සෙට් දෙක තුන තියනවා අපි දකිනවා. ඒ සමහරුන්ගෙ ගෙවල්වල නිතර ලොකු පිරිස් එක්රැස් වෙන්නෙත් නැහැ. ඒත් ගෘහ භාණ්ඩවල ලස්සන නිසා ඔහේ අරන් ගොඩ ගහන් ඉන්නවා. ඊට වඩා බොහොම දැකුම්කළු සහ නිවසේ පිළිවෙල පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තමයි පුළුවන් තරම් ‘මිනිමලිස්ට් (Minimalist)’ තේමාවක් භාවිතා කරන එක. ඒ කිවුවේ ගොඩක් බඩු පුරවගන්නේ නැතිව, අඩු ඉඩක් ගන්නා ගෘහ භාණ්ඩ, සැ​රසිලි ආදිය භාවිතා කරලා අවශ්‍ය පමණට පමණක් ගෙදර බඩු භාණ්ඩ තබන එක.

 

7. කම්මැලිකම

මේක අපිට මුලට වුණත් දාන්න පුළුවන් ගෙවල් හැඩි වීමේ නරක පුරුද්දක්. අඩුම තරමේ සතියකට වතාවක්වත් පැයක් දෙකක් අරන් ගේ දොර අස් කරන්න, එහෙම නැත්නම් දවසකට විනාඩි 15 – 30ක් වැය කරලා ගේ දොර ටික ටික හරි පිළිවෙලක් කරන්න, එහෙම නැත්නම් දවසේ වැඩ වලට භාවිතා කරපු බඩු භාණ්ඩ නිසි තැන්වල තියන්​න පුරුදු වෙලා නැත්නම් ඒකට හේතුව බොහෝ වෙලාවට ඔයාගේ කම්මැළිකමම තමයි. ඒ නිසා කම්මැලිකම කියන එකත් අඩු කරගෙන ගෙදර දොර පිළිවෙල පවත්වාගෙන යන්න අවධානය දෙන්න කියලා අපි මතක් කරනවා…

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *