ඇපල් කියන්නේ පෙරළිකාර සමාගමක්. ඇපල් සතුව බඩු ගොඩක් නැහැ. උදාහරණ විදිහට වෙනත් සමාගම් අවුරුද්දකට ලැප්ටොප් මාදිලි කම්පියුටර මාදිලි බර ගාණක් නිකුත් කරනවා. ඒත් ඇපල් එහෙම නැහැ. එයාලගේ තියෙන, වෙනමම මෙහෙයුම් පද්ධතියට අනුකූලව වඩාත් සුමට කරපු මැක් බුක් කිහිපයක් විතරයි ඇපල් අවුරුද්දකට නිකුත් කරන්නේ. ඉතින් මේ ඇපල් අයගේ අලුත්ම චිප් සැට් එක ටෙක් ලෝකය හොල්ලන්න සමත් වෙලා තියෙනවා. වැරදිම හොයන ටෙකී යූ ටියුබර්ස්ලට පවා ඇපල් එම් වන් එකේ කියන්න ඒ හැටි වැරැද්දක් හොයාගන්න බැරි එක පුදුම සහගතයි.
1. මෙච්චර කල් ලැප්ටොප් හදපු හැටි
ලෝකේ ඉස්සරවෙලාම බිහි වුණේ ඩෙස්ක්ටොප් කොම්පියුටරය. ඉන් පස්සේ ලැප්ටොප් ආවා. ඊට පස්සේ වෙනමම පැත්තකින් ස්මාට්ෆෝන් සහ ටැබ් කියන ජාතිය ජනප්‍රිය උනා. මෙතෙක් කල් ලැප්ටොප් එක විදිහට අපිට සමාගම් විසින් ලබාදුන්නේ ඩෙස්ක්ටොප් එක අපේ කකුල් දෙක උඩ තියාගන්න පුළුවන් විදිහට පොඩි කරපු යුනිට් එකක්. ඒ හරහා ඩෙස්ක්ටොප් කොම්පියුටරය හෙවත් ගෙදර මේසේ උඩ, කන්තෝරුවේ කම්පියුටර් ටේබල් එක උඩ තියෙන මහා කම්පියුටරය අපේ කලවා උඩ තියාගන්න පුළුවන් විදිහට හාඩ්වෙයාර් වලින් පුංචි කෙරුණා. ඒ නිසාම එකම මිලට ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් සහ ලැප්ටොප් අතර වෙනසක් එදා පටන් ම තිබුණා. ඒත් අලුත් ඇපල් එම් වන් එක වෙනස්.
2. එම් වන් (M1) එකේ අලුත් ගතිය
මොබයිල් ආර්ම් බේස් ප්‍රොසෙසර් සහ සාමාන්‍ය ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් කියන්නේ වර්ග දෙකක්. ඒ දෙකට දත්ත සපයන්න ඕනි විදිහ වගේම ඒවායේ මෘදුකාංග වැඩකරන විදිහත් වෙනස්. මෙයින් ආම් බේස් ප්‍රොසෙසර් මොබයිල් ෆෝන්, ටැබ්ලට් සහ පොඩි පොඩි ඩිවයිස් වලට පාවිච්චි වුණා. අනෙක් ඩෙස්ක්ටොප් කම්පියුටර් ප්‍රොසෙසර් සහ චිප් සෙට් එක පුංචි වෙලා ලැප්ටොප් වලට ආවා. මේ අලුත් ඇපල් එකේදි වෙලා තියෙන්නේ මෙතෙක් මොබයිල් වලට ආපු ආම් බේස් ආකිටෙක්චර් එක (ව්‍යුහය) අනුව සෑහෙන බලගතු චිප් සෙට් එකක් ඇපල් කට්ටිය ලැප්ටොප් වලට හදලා තියෙනවා. ඒකේ රැම් මෙමරිය, ග්‍රැෆික් මෙමරිය සහ ප්‍රොසෙසර් එක කියන පාට්ස් තුනම එක ලඟ තියෙන්න බොහොම පොඩි ඉඩක ලස්සනට සැලසුම් කරලා තියෙනවා.
3. මේකෙන් වෙනස් කරන්න වෙන අලුත් දේවල්
ඔයාල දැනටම දන්නවා, එක වගේ වුණාට මොබයිල් එකේ තියෙන ගේම්ස්, ප්‍රෝග්‍රෑම්ස්, ඇප්ස් සහ ලැප්ටොප්, ඩෙස්ක්ටොප් වලට තිබුණ ප්‍රෝග්‍රෑම්ස්, ඇප්ස් කියන්නේ වර්ග දෙකක්. ඇපල් එම් වන් එක අලුත් වුණත් පරණ තාලයේ අයි පෑඩ්, අයි මැක් වල දිව්ව හැම ප්‍රෝග්‍රෑම් එකම අලුත් එම් වන් චිප් එක තියෙන මැක්බුක්, මැක් මිනි වල දුවන්නේ නැහැ. මොකද තවමත් ඒ අතරමැද වැඩකටයුතු කෙරෙමින් තියෙනවා. දැනට ඇපල් එක්ක එන මෘදුකාංග විතරක් හොඳට ඇපල් එම් වන් එකත් එක්ක වැඩ කරනවා. ඒ වගේම ඇපල් මොබයිල් ඩිවයිස් වන අයිෆෝන් සහ අයි පෑඩ් වල යස අගේට වැඩකරන ඇප්ස් කිසි ගේමක් නැතුව මේ ඇපල් එම් වන් ප්ලැට්ෆෝම් එක මත ධාවනය වෙනවා.
4. අතරමැද ප්‍රෝග්‍රෑම් එකක වැදගත්කම
පරණ මැක්බුක් වල රන් වෙන ඇඩෝබි ප්‍රීමියර්, ඇඩෝබි පොටෝශොප් වගෙ ඒවා දැනට රන් වෙන්නේ අතරමැද ප්‍රෝග්‍රෑම් එකක් හරහා. ඒකෙදි අතරමැදි ප්‍රෝග්‍රෑම් එකෙන් අර පරණ කෝ අයි (Core i) සීරීස් එකේ මොබයිල් ප්‍රොසෙසර් වලට හදපු ප්‍රෝග්‍රෑම් යස අගේට ආම් ස්ට්‍රක්චර් එකට තේරෙන්න රන් කරනවා. ඒත් ඒ වැඩේටත් එතකොට ප්‍රොසෙසර් එකෙන් කොටසක් වියදම් වෙනවා. ඒ එක්ක බැලුවාම දැනට ඇපල් නොවන ඇප් සඳහා මේ අලුත් එම් වන් චිප් එකෙන් වැඩිපුර ගැම්මක් නැහැ කියලා තමයි කියවෙන්නේ. ඒත් සාමාන්‍ය වැඩට නම් ඇපල් එම් වන් චිප් සෙට් තියෙන මැක්බුක් සුපිරි කියලා තමයි කියවෙන්නේ.
5. අලුත් එකේ වාසි
කලින් තිබුණ මැක්බුක් වල, ඒ කිව්වේ ඉතාම මෑතක 2019 ආ මැක් බුක් වල ආවේ ඉන්ටෙල් කෝ අයි (Core i) සීරීස් එකේ ප්‍රොසෙසර් සහ ඒ එම් ඩී ග්‍රැෆික්. සමාන මට්ටමේ කලින් පරම්පරාවේ ඉන්ටෙල් මැක්බුක් එක්ක බලද්දි ඊට වඩා නම් හැම අතින්ම බෙන්ච් මාක් අතින් අලුත් ඇපල් සිලිකන් එම් වන් චිප් සෙට් තියෙන මැක්බුක් ඉස්සරහින් ඉන්නවා. ඇතුළේ තියෙන අඩු ඉඩක නිමකරපු ග්‍රැෆික් මෙමරි සහ ප්‍රොසෙසර් ඇතුළත් සම්පූර්ණ චිප් සෙට් එකෙන් බලය වැඩිමනක් ජනනය කරන බවක් තමයි කියවෙන්නේ.
6. අඩු බලය, සිසිල් ධාවනය
ලැප් ටොප් එකක බලය වැඩි වෙද්දි තියෙන එක අවුලක් තමයි ඒකේ සයිස් එක ලොකු වෙන එක. සයිස් එක ලොකු වෙන්න මූලික හේතුවක් තමයි චිප් සෙට් එක තදින් රත් වෙන එක. දැනට තියෙන ගේමින් ලැප්ටොප් ගත්තත් ඒක ඇතුළේදි ග්‍රැෆික් කාඩ් එකත්, ප්‍රොසෙසර් එකත් ජනනය කරන රස්නය එලියට නිකුත් කරන්න විශේෂිත ෆෑන්ස් සවිකරන්නට වෙනවා. අලුත් ඇපල් සිලිකන් එම් වන් චිප් එක ඒ හා සමාන ඔපරේෂන් එකක් වෙන ඉන්ටෙල් එකක් එක්ක ගත්තාම බොහොම අඩුවෙන් තමයි රත්වෙන්නේ. පර්ෆෝමන්ස් වැඩිම මට්ටමේ පාවිච්චි කළත් කූල් කරන්න අමතර ෆෑන් එකක් ඕනි වෙන්නෙත් නැතිම තරම්. ඒ වගේම මේ චැප් සෙට් එක බලශක්තිය, ඒ කියන්නේ බැටරි බලය ඉතිරිකරන රජ බඩුවක් කියලා යූ ටියුබ් එකේ හැම රිවිව්කරුවෙක්ම පාහේ පිළිගෙන තියෙනවා.
7. තාම අලුත් හැබැයි
ඇපල් කියන්නේ ලංකාවේ අපිට ගණන් පළතුරක්. ටෙක් ලෝකෙටත් එහෙමයි. කොතරම් මිහිරි වුණත් ඇපල් අත්දැකීම තරමක් මිල අධිකයි. ග්‍රැෆික් සහ නිර්මාණ වැඩට හිතවත් කට්ටිය ඇපල් එක්ක ලේසියෙන්ම බැඳෙනවා. ඒත් තදබල වැඩ කරන අයට ඇපල් අලුත් එම් වන් එක තාම පදම් වුණා මදි ගතියක් තියෙනවා. මොකද ඇඩෝබි සෙට් එක ඇපල් එම් වන් වල තාම දුවන්නෙත් වෙනත් අතරමැදි ප්‍රෝග්‍රෑම් එකක් හරහා. හරියටම මේ මෘදුකාංග චිප් සෙට් එකට ගැලපෙන්න නිර්මාණය වුණාම ඇපල් එකෙන් ගන්න හැම බරපතල වැඩේම කලින්ට වඩා ලේසිවෙන්න පුළුවන්. ඒත් තාම ඇපල් ප්‍රෝග්‍රෑම්ම හැරුණාම අනෙක්වා ලොකුවට වේගය වැඩි වෙන ගතියක් නැහැ.
ඇමරිකාවේ නම් අලුතින් රිලීස් වුණු මැක් බුක් එකක් ඩොලර් 1000කට විතර පේන්න තියෙනවා. ඒත් අපේ රටට එද්දි ඕකේ අඩුම ගාණ ලක්ෂ 3ත් පනීවි. දැන් මැද මට්ටමේ ඉන්ටෙල් අයි සෙවන් ප්‍රොසෙසර් තියෙන සාමාන්‍ය ලැප් ටොප් එකකුත් රුපියල් ලක්ෂ දෙකකට වගේ ගන්න පුළුවන්. ඒ නිසා අපේ රටේ අයට ඕනි කරන වැඩ ටික කරගන්න නම් ඇපල් සිලිකන් එම් වන් චිප් සෙට් එක තියෙන මැක්බුක් එක වැඩිදෙනක් තෝරාගන්න එකක් නැහැ. ඒත් ලෝකේ වටේ ඉන්න සල්ලි විසික්කරන්න පුළුවන් ග්‍රැෆික් ඩිසයිනර්ස්ලා, කන්ටෙන්ට් වැඩකාරයින්ට නම් අලුතින් ආපු ඇපල් සිලිකන් එම් වන් චිප් එකේ මැක් මිනිය සහ මැක් බුක් දෙක තුනම හොඳට අල්ලලා යාවි.
Leave a Reply