වික්ටෝරියාට රැජිනට නොදෙවෙනි ක්‍රිස්ටියන්

ඔබට මතක ඇති Lifie අපි වික්ටෝරියා රැජිනගේ දරු මුණුබුරෝ නමින් ආටිකල් සීරිස් එකක් පටන් ගත්තා. ඒ තුළින් වික්ටෝරියා රැජිනගෙන් යුරෝපා රජ පවුල්වල ඥාති සම්බන්ධකම් ඇති වුණ හැටි අපි විස්තර කරනු ලැබුවා. නමුත් වික්ටෝරියා රැජින වගේම මුළුමහත් යුරෝපයම රජ පවුල් ඥාති සම්බන්ධකම් වලින් එකතු කරපු තවත් රජ පවුලක් ඉන්නවා. ඒ තමයි ඩෙන්මාර්ක රජපවුල. ඩෙන්මාර්කයේ නමවෙනි ක්‍රිස්ටියන් රජු සහ ලුයිස් බිසව මේ රජ පවුලේ ආරම්භකයෝ. අපි අද මේ ආටිකල් එක හරහා ඩෙන්මාර්ක රජ පවුල සමග අනෙකුත් රජ පවුල් බැඳුණු හැටි ගැන කෙටියෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

වික්ටෝරියා රැජනගේ දරු මුණුපුරන්

 

 

1. ඩෙන්මාර්කයට පිටින් ආපු රජකුමරා

ක්‍රිස්ටියන් ඉපදෙන්නේ ඩෙන්මාර්ක රජ පවුලේ නම් නෙමෙයි. ඒ ඩෙන්මාර්ක රජපවුලට දුර ඥාතීත්වයක් සහිත ෂෙල්ස්වීග් හෝල්ස්ටයින් සොන්ඩෙන්බර්ග් බෙක්හි ආදිපාදවරයාගේ හතරවැනි දරුවා ලෙසටයි. මේ ආදිපාද පවුලේ සාමාජිකයන් ඩෙන්මාර්ක රජ පවුලට වගේම මහා බ්‍රිතාන්‍ය රජ පවුලටත් සම්බන්ධකම් තිබ්බට කිසිදු රටක සිංහාසනයක උරුමයක් තිබුණේ නැහැ. මේ අතරතුරේදී ග්ලුක්ස්බර්ග් ආදිපාදවරයා දරුවන් නොමැතිව මිය යෑම නිසා ඩෙන්මාර්ක රජ විසින් ක්‍රිස්ටියන්ගේ පියාව ග්ලුස්ක්ස්බර්ග් හි ආදිපාදවරයා ලෙස පත් කරනු ලැබුවා.

තරුණ කාලයේදී වික්ටෝරියා රැජනට ගැලපෙන මනාලයෙකු ලෙස ක්‍රිස්ටියන්ව හඳුන්වනු ලැබුවත් එම උත්සාහය සාර්ථක වූයේ නැහැ. මේ නිසා ඔහු තමන්ගේ තවත් ඥාතිවරියක වූ හෙස කෙසල්හි ලුයිස් කුමරියව විවාහ කර ගත්තා. ලුයිස් කුමරියත් ඩෙන්මාර්ක රජපවුලේ දුරින් සාමාජිකාවක්. මේ ඥාතීත්වය නිසාම සිංහාසනයට උරුමකරුවන් නොමැති හත්වැනි ෆ්‍රෙඩ්රික් රජුගේ අනුප්‍රාප්තිකයා ලෙස ක්‍රිස්ටියන්ව නම් කරනු ලැබුවා. ක්‍රිස්ටියන් සහ ලුවිස් දෙපළට ෆ්‍රෙඩ්රික්, ඇලෙක්සැන්ඩ්‍රා, ජෝර්ජ්, ඩැග්මර්, තයිරා සහ ව්ලැඩ්මීර් නමින් දරුවන් සය දෙනෙකු සිටියා. 

 

2. පියාට පෙර රජ වූ ජෝර්ජ් 

එවකට ග්‍රීසියේ රජකළ ඔටෝ නම් රජු ධුරයෙන් පහ කිරීමට ග්‍රීසියෙහි ජාතික සභාව තීරණය කළා. එහිදී ඔවුන්ගේ තෝරාගැනීම වූයේ ක්‍රිස්ටියන්ගේ දෙවැනි පුත්‍රයා වූ ජෝර්ජ්වයි. සිය පියා  ඩෙන්මාකයේ රජ වීමට පෙර ජෝර්ජ් ග්‍රීසියේ රජ බවට පත් වුණා. රුසියානු කුමරියක සමග විවාහ වූ ජෝර්ජ්ගේ දරු මුණුපුරන් අතර එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරු, ස්පාඤ්ඤයේ සොෆියා රැජින ආදීනුත් සිටිනවා.

 

3. ඩෙන්මාර්ක කිරුළේ උරුමය

සිය පියාගේ ඇවෑමෙන් ක්‍රිස්ටියන්ගේ වැඩිමහල් පුත්‍රයා වූ ෆ්‍රෙඩික් අටවෙනි ෆ්‍රෙඩික් ලෙස ඩෙන්මාර්කයේ රජ බවට පත් වූ අතර ඔහු විවාහ කර ගත්තේ ස්වීඩනයේ ලුයිස් කුමරියවයි. ඔවුන් දෙපළගේ දෙවෙනි පුත්‍රයා හත්වෙනි හකූන් ලෙස නෝර්වේ රටෙහි රජ බවට පත් වූ අතර වර්තමාන නෝර්වේ රජපවුල ඔවුන්ගෙන් පැවත එනවා.

 

4. ඇලෙක්සැන්ඩ්‍රා

 

වික්ටෝරියා රැජනගේ පුත්‍රයා වූ එඩ්වඩ් සමඟ විවාහ වූ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය මහා බ්‍රිතාන්‍යයේ අතිශය ජනප්‍රිය කාන්තාවක් බවට පත් වුණා. සිය සැමියාගේ සෙල්ලක්කාර ජීවිතය ඉවසා දරාගනිමින් රැජින බවට පත් වූ ඇය රට වෙනුවෙන් තම යුතුකම් ඉෂ්ට කරනු ලැබුවා. ඇයගේ දෙවැනි පුත්‍රයා පස්වැනි ජෝර්ජ් ලෙස සිය පියාගෙන් පසුව මහා බ්‍රිතාන්‍යයේ කිරුළට හිමිකම් කී අතර තවත් දියණියක වූ මෝඩ් නෝර්වේහී හත්වෙනි හකූන් සමග විවාහ වී එරට පළමු රැජින බවට පත් වුණා.

 

5. ඩැග්මර්

තුන්වෙනි ඇලෙක්සැන්ඩර් සාර් වරයාගේ බිරිඳ බවට පත්වී එවකට ලෝකයේ පැවැති බලවත්ම අධිරාජ්‍යයක් වූ රුසියාවේ අධිරාජිනිය බවට පත්වීමට ඩැග්මර් කුමරියට හැකියාව ලැබුණා. නමුත් රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ පවුලේ සාමාජිකයන්ට අවාසනාවන්ත ඉරණම් වලට මුහුණ දීමට සිදුවුණා. ඇගේ පුත්‍රයන් දෙදෙනෙකු ඝාතනයට ලක්වූ අතර ක්‍රිස්ටියන්ගේ දරුවන් අතරෙන් වර්තමානය දක්වා රජ පවුලක උරුමක්කාරයන් නොමැති එකම තැනැත්තිය වන්නේ ඩැග්මර් පමණයි.

 

6. තයිරා 

හැනෝවරයේ ඔටුන්න හිමි කුමරා වන  අර්නස්ට් ඔගස්ටස් සමග තයිරා විවාහ වූවත් ඒ වන විට හැනෝවරය ප්‍රශියාව විසින් යටත් කර ගැනීම නිසා රැජිනක් බවට පත්වීමට තයිරාට හැකියාව ලැබුණේ නැහැ. නමුත් ඇගේ දරුවන් ජර්මානු ආදිපාද පවුල් සමඟ විවාහ වූ අතර ඒ හරහා යුරෝපයේ බොහෝ රජ පවුල්  සමග සබඳතා ඇති කර ගැනීමට සමත් වුණා.

 

7. ව්ලැඩ්මීර් 

ව්ලැඩ්මීර්ව බල්ගේරියාවේ රජු ලෙස පත් කිරීමට යුරෝපයේ ඇතැම් බලවත් රටවලට උවමනාව තිබුනත් එම ක්‍රියාදාමය සාර්ථක වුණේ නැහැ. කෙසේ වෙතත් ඒ පිළිබඳව කිසිදු ගැටළුවක් ඇති නොකරගත් ව්ලැඩ්මීර්, ඩෙන්මාර්ක නාවික හමුදාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. ප්‍රංශයේ ඕර්ලියන්ස් රාජ වංශයේ කුමරියක් වන මේරී සමග විවාහ වූ ඔහු සාර්ථක පවුල් ජීවිතයක් ගත කළා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *