ලොව ප්‍රකට දූපත් ගැන රසබර සහ වැදගත් තොරතුරු

ලංකාව කියන්නේ දූපතක් කියලා අපි ඉගෙන ගන්නේ පුංචි කාලෙදි. සෑම පැත්තකින්ම මුහුදෙන් වටවුණු ගොඩබිම්  ප්‍රදේශයක් විදිහට අපි දූපතක් අර්ථකථනය කරනවා. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ සුප්‍රකට දූපත් පිළිබඳව.

 

1. ග්‍රීන්ලන්තය 

ලෝකයේ ලොකුම දූපත වන ග්‍රීන්ලන්තය පිහිටලා තියෙන්නේ ආක්ටික් සහ අත්ලාන්තික සාගරවලට මායිම්ව. භූගෝල විද්‍යාත්මකව ගත්තොත් එහෙම මේ දූපත ඇමරිකානු මහාද්වීපයට අයිති වුණත්, පරිපාලනමය වශයෙන් ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කය යටතේ පාලනය වනවා. ඊට හේතුව වන්නේ  ග්‍රීන්ලන්තය සහ අසල්වැසි අයිස්ලන්තය සොයාගැනීම සිදු කරන ලද්දේ ඩෙන්මාර්ක ඇතුළු නෝඩික් රටවල පිරිස් විසින් වීමයි. ජනප්‍රවාදයේ කියැවෙන පරිදි මේ දූපත සඳහා ග්‍රීන්ලන්තය යන නම ලබා දී තිබෙන්නේද නෝඩික් රටවල වාසය කළ පිරිස් ග්‍රීන්ලන්තය වෙත ආකර්ෂණය කර ගැනීමේ අරමුණ සහිතවයි.

 

2. ශාන්ත හෙලේනා දූපත 

දකුණු අත්ලාන්තික් මුහුදේ පිහිටා ඇති  මෙම දූපත අයත් වන්නේ මහා බ්‍රිතාන්‍යයටයි. ලෝකයේ හුදකලාම දූපත් අතරින් එකක් වන මෙම දූපත පෘතුගීසීන් විසින් ගවේෂණය කළ යුගයේ දී පවා මෙම දූපතේ කිසිවෙක් වාසය කර තිබුණේ නැහැ. නමුත් මෙම දූපත පිහිටා ඇති ස්ථානයේ ඇති වැදගත්කම නිසා ආසියාවේ සහ දකුණු අප්‍රිකාවේ සිට යුරෝපය බලා යන නෞකා වල නවාතැන් පොළක් ලෙස මෙම දූපත භාවිතා වුණා. කෙසේ වෙතත් ශාන්ත හෙලේනා යන දූපතේ නම ලෝක ප්‍රසිද්ධියට පත් වූයේ නැපෝලියන් අධිරාජයා මෙම දූපතේ සිරකරුවෙකු ලෙස මිය යෑමෙන් අනතුරුවයි.

 

3. ගැලපගෝස් දූපත් 

ඉක්වදෝරයේ කොටසක්ව පවතින මෙම දූපත් සමූහය නිර්මාණය වී ඇත්තේ අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර සිදු වූ ගිනිකඳු විදාරණයක ප්‍රතිඵලයක් ලෙසටයි. මුල්කාලීන ගවේෂකයන් විසින් මෙම දූපතේ වාසය කළ ආවේණික ඉබ්බන්ගේ ගහනය සලකමින් ඉබ්බන්ගෙ දූපත යන අර්ථය ලබාදෙන ගැල්ප​ගෝස් නාමය ලබා දෙනු ලැබුවා. පසුව මෙම දූපතේ වාසය කළ ඉබ්බන් ඇතුළු ආවේණික සතුන්ගේ ස්වභාවය නිරීක්ෂණය කළ චාල්ස් ඩාවින් විසින් පරිණාමවාදය ලෝකයට ඉදිරිපත් කිරීම සමග මෙම දූපත් සමූහය ඉතිහාස ගත වුණා.

 

4. ක්‍රීට් දූපත

යුරෝපයේ පළමු ඉදිරිගාමී ශිෂ්ටාචාරය බිහිවුණු ස්ථානය ලෙස ක්‍රීට් දූපත හඳුන්වන්නට පුළුවන්. මිනෝන් ශිෂ්ටාචාරයේ තොටිල්ල වූ ක්‍රීටය පසුව ග්‍රීක ශිෂ්ටාචාරයේ ආධිපත්‍යයට ලක් වුණා. මධ්‍යධරණී මුහුදේ මෙම දූපත පිහිටා ඇති ස්ථානයේ උපායමාර්ගික වැදගත්කම පදනම් කොටගෙන ග්‍රීසිය, රෝමය, තුර්කිය ආදී අධිරාජ්‍යවාදී බල කඳවුරු රැසක් අතර මෙම දූපත හුවමාරු වුණා. වර්තමානයේ දී  සංචාරක පාරාදීසයක් ලෙස ක්‍රීටය ප්‍රසිද්ධියක් උසුලනවා.

 

5. සාර්ඩිනියා දූපත

ඉතාලියට අයත් දූපත් අතරින් විශාලත්වයෙන් සිසිලියට පමණක් දෙවැනි වන සාර්ඩිනියා දූපත ශිලා යුගයේදී පවා ජනාවාසකරණයට ලක් වූ දූපතක්. ආරම්භයේ දී කාර්තේජියානු අධිරාජ්‍යයේ කොටසක් වූ සාර්ඩිනියාව පසුව රෝම අධිරාජ්‍යයේත් ඉන්පසුව බයිසැන්ටියානු අධිරාජයේත් කොටසක් බවට පත් වුණා. පසුව සාර්ඩිනියාවේ භාරකාරීත්වය ලබාගත් සැවෝයි රාජවංශය සම්පූර්ණ ඉතාලියම එක්සත් කිරීමට සමත් වුණා. වර්තමානයේ දී සංචාරක පාරාදීසයක් මෙන්ම ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙසත් සමස්ත ඉතාලියේ ආර්ථිකයට සාර්ඩිනියාව වැඩි දායකත්වයක් ලබාදෙනු ලබනවා.

 

6. හවායි දූපත් 

ඇමරිකා එක්සත් ජනපදයට අයත් ඇමරිකා මහද්වීප භූමියෙන් පිටත පිහිටා ඇති එකම ප්‍රාන්තය සහ දූපත් ප්‍රාන්තය වන්නේ හවායි දූපත් සමූහයයි. ආරම්භයේ දී ගෝත්‍රික නායකයන්ගේ පාලනය යටතේ පැවැති හවායි දූපත් සමූහයට මිෂනාරීන් විසින් ක්‍රිස්තියානි දහම හඳුන්වා දීමත් සමඟම බටහිර ආකාරයේ දියුණුවක් ලබා ගැනීමටත් සමත් වුණා. ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳුන් විසින් සිදු කරනු ලැබූ කුමන්ත්‍රණයක් මගින් හවායිහි අවසන් රැජන බලයෙන් පහ කරනු ලැබුණු අතර පසුව එරට ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට සමත් වුණා.

 

7. තස්මේනියාව

බාස් සමුද්‍ර සන්ධිය මගින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමි ස්කන්ධයෙන් වෙන් වන තස්මේනියාව ආශ්‍රිතව පරිවාර දූපත් තුන්සිය තිහක් පමණ පවතිනවා. මෙම දූපත් ආශ්‍රිතව වාසය කළ ආදි වාසීන් ප්‍රධාන භූමියේ ආදිවාසීන්ට වඩා පැහැදිලි වෙනස්කම් සහිත සභ්‍යත්වයක් ගොඩනඟා ගෙන තිබුණා. නමුත් මෙම සමස්ත ජනගහණයම පාහේ  යුරෝපීයයන් විසින් ගෙනා රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් නොමැතිවීම නිසා අතුගෑවී ගියා. වර්තමානයේ දී මෙම දූපතේ භූමියෙන් වැඩි කොටසක් ලෝක උරුමයක් සහ ජාතික උද්‍යානයක් ලෙස සංරක්ෂණය කරනු ලබනවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *