බලලා තියෙනවා නේද ජෝන් වික් ෆිල්ම් එක? ඒකේ ජෝන් වික් ගැන සඳහන් කරන්නේ ඉහළම ෆෝකස් එකක් තියෙන, දැඩි අධිෂ්ඨානයක් තියෙන මනුස්සයෙක් විදියට. ඒ කියන්නේ ආයෙ වැඩකට බැස්සොත් මළත් ඒක අත අරින්නෙ නෑ. ඇත්තටම ජෝන් වික් ෆිල්ම් එක බලනකොටත් ඒක තේරෙනවනේ. ඒ කියන්නේ වැඩේට බහින්න කලින් ඒකට සූදානම් වෙන සූදානම් වීම සහ වැඩේ පටන් ගත්තට පස්සේ සක්කරයා ආවත් තමන්ගේ සාර්ථකත්වයට යනකල් නවත්තන්න බැරි වීම වගේ දේවල් අපිට ෆිල්ම් එක බලනකොට ජෝන් වික් චරිතයෙන් පේනවා.
හරි, මේ ගුණාංගය ඇත්තටම අපි ඕන කෙනෙක්ට වටින්නේ නැද්ද? ඒ කියන්නේ, අපි ගොඩක් දෙනෙක් වැඩක් කරන්න ගියහම අත ගගා, ඇද ඇද, වාත වෙවී නේ ඒක ඉවර කරන්නේ. හැබැයි එහෙම නැතුව යකා වගේ වැඩේට බැහැලා, ඒක ඇදගෙන ගිහින් ඉවරයක් දකින ගතිගුණය අපි හැමෝටමත් තියෙන එක හොඳයි. ආන්න ඒ නිසා අපි හිතුවා, එහෙම වැඩකට උපරිම ෆෝකස් එකක් එක්ක බහින, ආයෙ ලෝකෙම තමන් යන පාර හරස්කරලා හිටියත් එහෙ මෙහේ නොවී තමන්ගේ ඉලක්කයට යන මනුස්සයෙක් නොකරන දේවල් ලැයිස්තුවක් හදන්න. අන්න එතකොට අපිටත් ඉගෙන ගන්න පුළුවන් ඒවා නොකර ඉන්න. අන්න එතකොට අපිටත් ජෝන් වික් වගේ ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න පුළුවන්.
1. වැඩේ කල් දැමීම
ෆෝකස් එකක් නැති මනුස්සයෙක් කරන ලොකුම වැරැද්දක් තමයි වැඩ කල්දැමීම. වෙන විදියකට කියනවා නම් වැඩක් පටන් ගන්නෙ නැතුව ඒක වටේ බයිසිකල් පැද පැද හිඳීම. ගොඩක් වෙලාවට ඔය ඩෙඩ්ලයින් මිස් කරන අපි වගේ හාදයන්ට වෙන්නෙත් ඒක තමයි. වැඩේ පටන් ගන්නම මාර වෙලාවක් යනවා. හැබැයි ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක්ට වැඩක් පටන් ගන්න කාලය ගන්න ඕන නෑ. එයාට වැඩක් කරන්න අවශ්‍ය කාලය, ඒ කාලයට ඒක බාර දෙන්න නම් පටන් ගන්න ඕන කාලය, ඒ වැඩේට යන කාලය කියන ඔක්කොම කැල්කියුලේට් කරලා, ඒක අවශ්‍ය වෙලාවට පටන් ගන්න චිත්ත ශක්තියක් තියෙනවා. ඕකට කියන්නේ will power නැතිනම් අධිෂ්ඨානය කියලා. ඕක මහ අමාරු දේකුත් නෙවෙයි. නෑ අද කරනවාමයි කියලා හිතලා වැඩේට බහින්න විතරයි තියෙන්නේ.
2. ප්ලෑනක් නෑ
ඉහළ ෆෝකස් එකකින් වැඩ කරන මනුස්සයෙක්, එන එන විදියට උළුවහු ගහගෙන වැඩ කරන්නෙ නෑ. එයා වැඩක් පටන් නොගෙන කල් දම දමා ඉන්නෙ නෑ වගේම, ඇහිල්ලක් බැලිල්ලක් නැතුව වැඩේට පනින්නෙත් නෑ. මුලින් කරන්නේ වැඩේ කරන විදිය, වැඩේට යන කාලය වගේ හැමදේම සැලසුම් කරන එක. ඊට පස්සේ වැඩේට අවශ්‍ය දේවල් එහෙමත් එක් රැස් කරන එක. ආන්න ඊට පස්සේ තමයි වැඩේට බහින්නේ. මෙහෙම සැලසුමක් ඇතුව වැඩ කරන එකේ තියෙන ලොකුම වාසිය තමයි, නොහිතන බාධාවන් නිසා වැඩේ මැද්දේ ඇණහිටින්නේ නැති වීම. ආන්න ඒ නිසාම ෆෝකස් එක කැඩෙන්නෙත් නෑ.
3. මල්ටිටාස්කින් ඕනෑවට වඩා
සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නේ වෘත්තියකදී මල්ටිටාස්කින් කියන එක, ඒ කියන්නේ වැඩ කීපයකට අවධානය දෙන්න පුළුවන් වීම, වැඩ කිහිපයක් අතරේ මාරු වෙවී කටයුතු කරන්න පුළුවන් වීම හොඳ දෙයක් කියලා. ඇත්තටම ඒක හොඳ දෙයක්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඉහළම ෆෝකස් එකකින්, යකා වගේ වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ ඩේ ටු ඩේ වැඩ නෙවෙයි. ඩේ ටු ඩේ වැඩ වලට සාමාන්‍ය ෆෝකස් එකක් සහ මල්ටි ටාස්කින් තියෙන එක හොඳයි. හැබැයි අපි තීසීස් එකක් ලියනවා, රිපෝට් එකක් හදනවා, පොතක් ලියනවා වගේ සීරියස් වැඩකදී මල්ටි ටාස්කින් හොඳ නෑ. මල්ටි-ටාස්කින් වලින් ඒ තියුණු ෆෝකස් එක කැඩෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, ඉහළම ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් තමන්ගේ වැඩේ කරගෙන යනකොට මල්ටිටාස්කින් කරන්න යන්නෙ නෑ.
ඇත්තටම මනුස්සයෙක්ට දවසකට යම් කිසි ෆෝකස් ටයිම් එකක් හදාගෙන, ඒ පැය හෝ දෙක හෝ තුන මල්ටිටාස්කින් නැතුව ඉහළම ෆෝකස් එකකින් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන.
4. ගොසිප්!
මෙන්න මේකත් ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් නොකරන දේවල්. ඒ කියන්නේ අනවශ්‍ය දේට කාලය වැය නොකිරීම. මේක ඉතින් අපි දන්න කාලේ ඉඳන් ඉගෙන ගන්න කතන්දරයක්නේ. හැබැයි අපි කරන්නෙත් ඒකම තමයි. උදාහරණ ගමු. නිකමට හිතලා බලන්න අපි ඔෆිස් එකක යාලුවෝ එක්ක කාගේ හරි ඕපයක් කතා කරන්න, වැල්වටාරම් කතා කරන්න, කොටින්ම කිවුවොත් තේරුමක් නැති බයිලා ගහන්න කොයි තරම් කාලයක් ගන්නවද කියලා. එතකොට හිතලා බලන්න, අපි ෆේස්බුක් එකේ කාගෙහරි මගුලක් කතා කරන්න, මොකක් හරි හිට් වෙන ටොපික් එකක් අල්ලගෙන නටන්න, එල්ලි එල්ලී කමෙන්ට් කර කර ඉන්න මොන තරම් කාලයක් ගන්නවද කියලා. ආන්න ඒක තමයි ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් නොකරන දේ. මොකද, ඒ ගත වෙන කාලය ආපහු ගන්න බෑ කියලා ෆෝකස් එකක් තියෙන කෙනෙක් දන්නවා. ආන්න ඒ නිසා, ඒ එකකටවත් මෙහෙම මනුස්සයෙක් කාලය වියදම් කරන්නෙ නෑ.
5. ඩිස්ට්‍රෑක්ෂන්ස්
ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක්ට ඩිස්ට්‍රෑක්ෂන්ස්, ඒ කියන්නේ තමන්ගේ අවධානය වෙන අතකට අදින දේවල් නෑ. එහෙම මනුස්සයෙක් අපි උඩ උදාහරණ විදියට කියපු දේවල් වලට කාලය වැය නොකරන්නෙත් කාලයේ වටිනාකම දන්න නිසා වගේම, ඒවා අවධානය වෙන අතක යවන දේවල් නිසා. ආන්න ඒ නිසා ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක්ව කිසිම දේකින් ඩිස්ට්‍රෑක්ට් කරන්නත් බෑ. විශේෂයෙන්ම තමන්ගේ ෆෝකස් ටයිම් එකේදී, ඒ කියන්නේ යකා වගේ වැඩ කරන වෙලාවෙදී එහෙම මනුස්සයෙක්ගේ ෆෝන් එකක නෝටිෆිකේෂන් පවා ඕෆ් කරලා තියෙන්නේ. ඒ වගේම එදිනෙදා ජීවිතේදී පවා ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් අනවශ්‍ය දේවල් වලට අවධානය යොමු කරන්නේ නෑ.
6. අනෙක් අයගේ අනුමැතිය
ඉහළ ෆෝකස් එකක් නැති මනුස්සයෙක්ට තියෙන තවත් ලොකුම අවුලක් තමයි තමන් ගැන, තමන්ගේ වැඩ ගැන ලොකු ෂුවර් එකක් නැති වීම. ඒකට එක හේතුවක් ආත්ම විශ්වාසය නැති වීම. තවත් හේතුවක්, තමන් කරන වැඩේ සියේට සීයක් ඒ ගැන දැනුමක් එක්ක නොකිරීම. ඉතින් එහෙම මනුස්සයෙක්ට හැම වෙලේම අනුන්ගේ අනුමැතිය ඕන. ඒ කියන්නේ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිස්ම් කියලා කියන දේ නෙවෙයි. තව කෙනෙක් තමන් කරන දේ හොඳයි කියලා තහවුරු කරන්න ඕන, වලංගු භාවයක් ලබාදෙන්න ඕන. ඒක නැතිනම් එහෙම අයට වැඩ කරන්න බෑ.
හැබැයි ඉහළම ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් අනික් අයගේ -සමස්ත බාහිර සමාජයේ පවා- වැලිඩේෂන් එක, අනුමැතිය ගැන වද වෙවී ඉන්නෙ නෑ. එයා තමන්ට ඕන දේ උපරිමයෙන් කරනවා. වරදින්න පුළුවන්. විවේචන එන්න පුළුවන්. හැබැයි ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් ඒ වැරදීම් වලින්, විවේචන වලින් ඉගෙන ගෙන ඊලඟ වැඩේ තවත් ඉහළින් කරනවා. ඒ මිසක්, වැඩේ කරන්න කලින් අනික් අය ඒ ගැන හිතන්නේ මොනවද කියලා හිතන්නවත් ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් වද වෙන්නෙ නෑ. ඒ වගේම තමන්ට එල්ලවෙන විවේචන වුනත්, සඵලදායී විවේචන නෙවෙයි නං, ඒ ගැන හිතන්නවත් කාලය මිඩංගු කරන්නෙත් නෑ!
7. ආරක්ෂක වළල්ලේ
ඉහළ ෆෝකස් එකක් නැති මනුස්සයෙක් හැම මොහොතක තමන්ගේ සුවපහසු ආරක්ෂාකාරී සීමාවේ ඉඳන් තමයි වැඩ කරන්නේ. එහෙම අය අවදානමක් ගන්නෙ නෑ. හැබැයි ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් එන එන විදියට උළුවහු ගහන්නෙ නෑ කියලා අපි කලින් කිව්වනේ. ඒ වගේම හදිසියේ වැඩකට පනින්නේ නෑ කියලත් කිව්වනේ. එහෙමයි කියලා ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් රික්ස් එකක්, අවදානමක් නොගෙන ඉන්නෙත් නෑ. හෙට ගැන කියන්න බෑ කියලා ඒ අය දන්නවා. ඒ නිසා තමන්ගේ වැඩේ සාක්ෂාත් කරගන්න අවදානමක් ගන්න වුනත් ඉහළ ෆෝකස් එකක් තියෙන කෙනෙක් පැකිළෙන්නෙ නෑ. හැබැයි, අර සැලසුම් කිරීම කියන ගුණයත් තියෙන නිසා, අවදානම වුනත් හොඳින් තක්සේරු කරන්න මෙහෙම කෙනෙක් අමතක කරන්නෙත් නෑ.
8. අතීතයේ එල්ලීගෙන
ඉහළ ෆෝකස් එකක් නැති කෙනෙක් ගොඩාක් වෙලාවට තමන්ගේ අතීතයේ එල්ලිලා තමයි ඉන්නේ. අතීතයේ වුණු වැරදි අඩුපාඩු ගැන ඒ අය නිරන්තරයෙන්ම දුක් වෙනවා, තැවෙනවා. කොටින්ම කියනවා නම්, එහෙම අයගේ අතීතය නිතරම ඒ අයගේ වර්තමානයේ හොල්මන් කරනවා. හැබැයි ඉහළ ෆෝකස් එකක් තියෙන මනුස්සයෙක් එහෙම නෙවෙයි. එයා අතීතය අත්ඇරලා දාන්නෙ නෑ. අතීතයේ වැරදි වලිනුත් පාඩම් ඉගෙන ගන්නවා. හැබැයි වර්තමානය සහ අනාගතය තමයි ඇත්තටම වැදගත් වෙන්නේ කියලත් මේ අය දන්නවා. අන්න ඒ නිසා, ඉහළ ෆෝකස් එකක් තියෙන කෙනෙක් තමන් දැන් කරන දේවල් සාර්ථක කරගන්න අධිෂ්ඨානයෙන් වැඩ කරනවා. ඒ නිසාම මේ අයගේ අතීතය ඇවිත් වද දෙන්නෙත් නෑ.
එහෙමනම්, මේ නොකරන්න ඕන දේවල් හලලා, අපිත් ජෝන් වික් වගේ ඉහළම ෆෝකස් එකකින්, ඉහළම අධිෂ්ඨානයකින් වැඩ කරමුද?
Leave a Reply