Covid-19 කාලෙ ගර්භණී ඔබ දැනගෙනම ඉන්න ඕන කාරණා

Covid – 19 එහෙමත් නැත්තම් අපිට හුරු විදිහට කිව්වොත් කොරෝනා ගැන අපි මීට කලින් ඕනතරම් කතා කළා. කොරෝනා ගැන, කොරෝනා වලින් පරිස්සම් වෙන හැටි, කොරෝනා වල අතුරු ප්‍රති​ඵ​ල වගේ ඒ හුඟක් මාතෘකාවන් අතරේ මේකත් අමතක කරන්නම බැරි මාතෘකාවක්. ඉතින් අපිත් එක්ක එකතුවෙලා ඉන්න ගර්භණී මව්වරුන් වෙනුවෙන්, මේ කොරෝනා කාලෙ ඒ අය දැනගෙන ඉන්න ඕන මේ විශේෂ කාරණා ගැනත් ලියන්නම එපායැ. 

ඉතින් බලමු මේ කොරෝනා කාලෙ ගර්භණී ඔබ දැනගෙනම ඉන්න ඕන කාරණා, එහෙමත් නැත්තම් ඔබට නිතරම ඇතිවෙන ප්‍රශ්න වලට උත්තර මොනවද කියල. මේ දේවල් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, යුනිසෙෆ් ආයතනයෙන් වගේම ඒ වගේ වගකිවයුතු තැන් වලින් ප්‍රකාශ කරපු නිවැරදිම තොරතුරු. 

 

1. ගර්භණීබව කොවිඩ් අවදානම වැඩි කරනවාද?

සාමාන්‍යයෙන් ගර්භණී කාලයේ සිදුවෙන ප්‍රතිශක්තීකරණ පද්ධතියේ වෙනස්වීම් නිසා කොහොමත් ඕනම ගර්භණී කාන්තාවක් සාමාන්‍ය කෙනෙකුට වඩා ලෙඩ රෝග වලට ලක්වීමේ සහ අවදානම් තත්ත්වයන් වලට ලක්වීමේ හැකියාව වැඩියි. ඒ ඇරුණහම ඕනම ගර්භණී කාන්තාවකට මේ covid -19 තත්ත්වය සාමාන්‍ය කෙනෙකුට වඩා අවදානම් කියල කියන්න තරම් සිදුවීම් නම් දැනට වාර්තා වෙලා නැහැ. නමුත් වයසෙන් වැඩි, අධික ස්ථුලතාවයෙන් පෙ​ළෙන වගේම කලින් ඉඳලම තිබුණු සෞඛ්‍ය ගැටළු ඒ කියන්නෙ අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වගේ ගැටළු තියෙන කාන්තාවන්ටනම් covid තත්ත්වය දරුණු වෙන්න පුළුවන්.

 

2. පරිස්සම් වෙන්න ඕන විශේෂ ආකාර  

ගර්භණී කාන්තාවන් උනත් අනිත් හැමෝම වගේම තමයි මේ වෛරසයෙන් බේරෙන්න පරිස්සම් වෙන්න ඕන. 

  • නිරන්තරයෙන් සබන් හෝ ඇල්කොහොල් සහිත සනීපාරක්ෂක දියර යොදා අත් සෝදන්න.
  • සෙනඟ ගැවසෙන ස්ථාන හැකි සෑම විටම මඟ හරින්න.
  • සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න.
  • සෙනග රැඳෙන ස්ථානයකට යාමට සිදුවෙන සෑමවිටම non-medical ඒ කියන්නෙ රෙදි වලින් මැසූ මුඛ ආවරණයක් පළඳින්න.
  • මුහුණ කට, නාසය ඇල්ලීමෙන් ව​ළකින්න.
  • කිවිසුම් හෝ කැස්ස ඇතිවෙන විට අල්ල වෙනුවට වැලමිටේ ඇතුල් පැත්ත යොදා නාසය ආවරණය කරන්න.

 

3. ගර්භණී කාලයේ කොවිඩ් – 19 හැදුනොත්? 

ගර්භණී කාලයේදී මේ covid රෝගයට අදාළ මොකක් හරි රෝග ලක්ෂණයක් ඒ කියන්නෙ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කෙටි හුස්ම වැටීමක් වගේ දැනෙනවනම් හැකි ඉක්මනින් ඔබේ නාරි හා ප්‍රසව වෛද්‍යවරයාගෙන් උපදෙස් ගන්න. ඒ වගේම මිඩ්වයිෆ් මිස්වත් දැනුවත් කරන්න. 

 

4. ගර්භණී මවගෙන් දරුවාට කොවිඩ් වැළඳිය හැකිද?

Covid රෝගය වැළඳුන ගර්භණී මවකගෙන් නුපන් දරුවාට හෝ උපතේදී දරුවාට මේ වෛරසය සම්ප්‍රේෂණය වියහැකි බවට තාමත් කරුණු සනාථ වෙලා නැහැ. ඒ කියන්නෙ සරලව කිව්වොත් pregnant අම්ම කෙනෙකුගෙන් බබාට මේ ලෙඩේ හැදෙන්න පුළුවන්ද බැරිද කියල තාම හොයාගෙන නැහැ. හැබැයි මේ වෙනකන්ම කරපු පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තියෙනවා covid positive අම්ම කෙනෙකුගේ බබා ඉන්න ගර්භා​ෂයේ තියෙන ගර්භාෂයික තරලය (amniotic fluid) එහෙමත් නැත්තම් සරලවම අපි දන්න වෝටර් බෑග් එකේ වතුර ඇතු​ළේ හෝ බිහිවුනාට පස්සේ බොන මව්කිරි වලනම් මේ වෛරසය අඩංගු වෙන්නෙ නැහැ කියන එක. 

 

5. කොවිඩ් වැළඳුන මවක් සිසේරියන් සැත්කමක් හරහා දරුවා බිහිකළ යුතුද? 

මේක අනිවාර්‍ය නැහැ. වෙනත් සංකුලතාවයන් නැත්නම් හුදකලා කරපු ස්ථානයක අවශ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරන්න පුළුවන්.

 

6. ගර්භණී කාලයේ ලැබෙන අවධානය

 

කොවිඩ් රෝගය වැළඳිලා කියල තහවුරු වුණු අම්මලා වගේම ඒ ගැන සැක තියෙන නිරෝධායනය වෙන ගර්භණී මව්වරු කියන කවුරුන්​ට උනත් සාමාන්‍ය ගර්භණී කාන්තාවකට ලැබෙන සියලුම වරප්‍රසාද සහ සැලකිලි ලබන්න අයිතිවාසිකම් කියනවා. ඒ කියන්නෙ එයාලට වෛද්‍යවරු, පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හෝ කිසිම කෙනෙක් කිසිම වෙනසක් කරන්නෙ නැහැ. 

ඒ වගේම සාමාන්‍ය විදිහට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඔබව පරික්ෂා කරන්න එන්න ඕන. හැබැයි මාතෘ සායන වලට යන එක ගැනනම් මෙන්න මේ විදිහ තමයි අනුමත කෙරෙන්නෙ.

  • අලුත ලියාපදිංචි වුණ අළුත් ගර්භණී කාන්තාවන් සායන වලට සහභාගී විය යුතුයි.
  • සති 32 ට වැඩි ගර්භණී කාන්තාවන් සායන වලට සහභාගී විය යුතුයි.
  • ගර්භයට සති 32කට අඩු නමුත් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ශ්වසන රෝග. වෙනත් සංකුලතා හෝ මානසික ගැටළු ඇති මව්වරුන් සායන වලට සහභාගී විය යුතුයි.

මේ විදිහට සයන වලට යද්දි ගෙදරින් එක අයෙක් පමණක් ඒ කියන්නෙ ගර්භනී මව පමණක් යන එකෙන් සහ නිතර සමාජ දුරස්ථභාවය ඇතුළු ආරක්ෂණ ක්‍රම අනුගමනය මඟින් ඔබේ වගේම අනිත් හැමෝගෙමත් ආරක්ෂාව තහවුරු කරගන්න පුළුවන්.

 

7. මව්කිරි දීම සහ කොවිඩ් – 19

අපි කලිනුත් කිව්ව වගේ ම මව්කිරි වල මේ වෛරසය අඩංගු වෙන බවට තාම වාර්තා වෙලා නැහැ. ඒ වගේම මව්කිරි මඟින් දරුවාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කෙරෙන නිසා බබාට මව්කිරි දෙන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන. බබාට මව්කිරි ලබාදෙන්න කලින් ඉතා හොඳින් අත් සෝදා පිරිසිඳු වෙන්න ඕන. ඒ වගේම කිරි දොවන අවස්ථාවකනම් ඒ බෝතල් සහ අනෙක් උපාංග අල්ලන්න කලිනුත් හොඳින් අත් සෝදන්න ඕන. ඊළඟට බබාට මව්කිරි දෙන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පළඳින්න ඕන.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *