බාබක්‍යු පාරක් දාන්න ආසද? ඒකට ගැලපෙන ග්‍රිල් එකක් තෝරාගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ඔය මස් කන්නෝ නැතිනම් මාංශ ලෝලියෝ ආසම දෙයක් තමයි බාබක්‍යු කියන්නේ. සමහර වෙලාවට ඔය බාබක්‍යු පාටීස් වලට, බාබක්‍යු ඇක්ෂන් ස්ටේෂන් තියෙන බුෆේ එකකට එහෙම ගියොත්, අපිට දකින්න පුළුවන් බාබක්‍යු වගේ දේවල් හදන ග්‍රිල් මැෂින්. අපි ඒ වෙලාවට ඕක දිහා බලලා හිතලත් ඇති, අපේ ගෙදරටත් මෙහෙම එකක් ගත්තොත් හැමදාමත් බාබක්‍යු නේද කියලා. හරි, හැමදාම බාබක්‍යු කන්න බෑ තමයි. හැබැයි අඩු තරමේ ගෙදර පාටියක්, සෙට් වීමක් වෙලාවකට වත් බාබක්‍යු එකක් දාන්න තියෙනවා නම් මරු නැද්ද හා? එතන තියෙන්නේ බාබක්‍යු මස් කන්න ලැබෙන එක විතරක් නෙවෙයි. මස් බාබක්‍යු කරන ආට් එක වුණත් විනෝදය ගෙන දෙන වැඩක් නෙවෙයිද? ඇයි අර හොලිවුඩ් ෆිල්ම් වලත් තියෙන්නේ ඇමරිකන් කාරයෝ බියර් එකක් එහෙම අතේ තියාගෙන, ගෙදර බැක්යාඩ් එකේ ග්‍රිල් මැෂින් එකක දුම් ගහ ගහ බාබක්‍යු දානවා. ඒක බලන් ඉන්න ආස වැඩක්.

 

ඉතින් ඒ නිසා, බාබක්‍යු ආට් එකට ආස, බාබක්‍යු කන්න ආස, ගෙදරට බාබක්‍යු ග්‍රිල් එකක් ගන්න ආස අයට උදවුවක් විදියට අපි හිතුවා, බාබක්‍යු ග්‍රිල් එකක් ගන්න කලින් හිතලා මතලා බලන්න ඕන, ග්‍රිල් එකක් ගන්න උපකාරී වෙන උපදෙස් කීපයක් ලබාදෙන්න.

 

1. ස්මෝකින් මැෂිමේ සහ ග්‍රිල් එකේ වෙනස

 මුලින්ම මේ දෙකේ වෙනස තේරුම් ගන්න වෙනවා. නමේ හැටියටම ස්මෝකර් එකකින් කරන්නේ දුම් රශ්මිය හරහා කෑම හදන එක තමයි. මෙතනදී තව දෙයක් වෙනවා, මේ දුම් රසය එක්ක හදන කෑම වෙනම සීන් එකක්. ඔය දුම් ගහපු මස්, දුම් ගහපු මාළු කියලා එහෙම කියන්නේ මේවා තමයි. මේ දුම් ගහපු රසය ගන්න ඕන නිසාම ඕනම දර කෝට්ටක් ස්මෝකින් මැෂින් එකට දාන්නත් බෑ. දාන්න ඕන දර වර්ගත් තියෙනවා. එතකොට ස්මෝකින් මැෂින් එකකින් වැඩේ කරන්න හොඳ ඉවසිල්ලක් තියෙන්න ඕන. සමහර වෙලාවට දුම් ගහපු මස් එහෙම වලට සෑහෙන වෙලාවකුත් යනවා. හැබැයි ඉතින් නියම බාබක්‍යු ෆ්ලේවර් එකක් ලැබෙන්නේ ස්මෝක්ඩ් බාබක්‍යු වලින් තමයි. අනික් අතට ග්‍රිල් එක ඊට වඩා සෑහෙන ෆ්ලෙක්සිබල්, භාවිතයත් පහසුයි. ඒ නිසාම ඔය ජර්කි වගේ වියළපු මස්, විශාල මස් කොටස් එහෙම පළහන්න ස්මෝකර් එකක් උචිතයි. චිකන්, ස්ටේක්ස් වගේ වඩාත් පොඩි මස් වර්ග වලට වගේම මාළු සහ එළවළු වලටත් ග්‍රිල් එකක් හොඳයි.

 

2. ඇයි?

ග්‍රිල් එකක් ගන්නකොට මුලින්ම හිතන්න ඕන දෙයක් තමයි මොකටද ග්‍රිල් එකක් ගන්නේ කියන එක. මොකද, ග්‍රිල් එකකින් තමන්ට තියෙන අවශ්‍යතාවයන් අනුව ගන්න ඕන ග්‍රිල් එකත් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ගෙදර දෙන්නට තුන්දෙනාට ඉඳලා හිටලා බාබක්‍යු පාරක් දාගන්න නම්, අර සිංගර් එකේ තියෙන ලොකු සාස්පානක් වගේ තියෙන බාබක්‍යු ග්‍රිල් එකකුත් ඇති. එහෙම නැතුව යාලු මිත්‍රයෝ එක්ක පාටියක් එහෙම දාන්න නම්, අර මධ්‍යම ප්‍රමාණයක ග්‍රිල් මැෂින් එකක් ගන්න පුළුවන්. එතකොට ඔය ට්‍රිප් එකක් කාරිය ගිහිල්ලා බාබක්‍යු පාරක් දාලා විනෝද වෙලා එන්න නම්, ජංගම බාබක්‍යු මැෂින් තියෙනවා. ඒකක් ගන්න පුළුවන්. ගොඩක් ලොකු වැඩකට, වාණිජ අරමුණකට එහෙම නම් ටිකක් ලොකු සයිස් මැෂින් එකකට යන්න වෙනවා.

 

3. මොනවැයින්ද පත්තු කරන්නේ?

දැන් තියෙන ග්‍රිල් මැෂින් දර වලින්ම විතරක් නෙවෙයි දුවන්නේ. ඇත්තටම දැන් ගොඩක් වෙලාවට විකල්ප කීපයක් පාවිච්චි කරන්න පුළුවන් ග්‍රිල් මැෂින් තියෙනවා. ගොඩක්ම ජනප්‍රිය චාකෝල් හෙවත් ගල් අඟුරුනේ. හැබැයි තවමත් දර වලින්ම අඟුරු හදලා ඒකෙන් මස් පළහන්න පුළුවන් පරණ තාලේ ග්‍රිල් වුනත් තියෙනවා. හැබැයි චාකෝල් හෙවත් ගල් අඟුරු වැඩේ වඩාත් ක්ලැසික්. ඒ වගේම අර ග්‍රිල්ඩ් ෆ්ලේවර් එක එහෙමත් වඩාත් හොඳට ගල් අඟුරු වලින් පළහනකොට එනවා කියලා සමහරු කියනවා.

ගල් අඟුරු වලට පස්සේ ගෑස්. ඇත්තටම දැන් දැන් ගෑස් ග්‍රිල් මැෂින් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඒක පහසු නිසා තමයි. අනික ගල් අඟුරු හෝ දර වලට වඩා සෑහෙන්න ක්ලීන් වැඩේ. මෙතනදීත් වාදයක් තියෙනවා අපි ගෙදර පාවිච්චි කරන එල්පී ගෑස්ද නැතිනම් ස්වභාවික ගෑස්ද හොඳටම හොඳ කියලා. 

ඊට පස්සේ දැන් තියෙනවා ඉලෙක්ට්‍රික් ග්‍රිල්ස්. මේවා ඉතාම ක්ලීන්. හැබැයි ඉතින් සියේට සීයක් අර නියම ග්‍රිලින් එක්ස්පීරියන්ස් එක නම් මේකෙන් ගන්න අමාරුයි. හැබැයි එහෙම නැතුව, මස් වල ග්‍රිල් ෆ්ලේවර් එක විතරක් තියෙන විදියට ඉතාම පහසුවෙන් බාබක්‍යු එකක් දාගන්න නම් ඉලෙක්ට්‍රික් ග්‍රිල් එකක් අපූරුයි.

සාමාන්‍යයෙන් දැන් එන ග්‍රිල් මැෂින් වල මේ ඉන්ධන විකල්ප කීපයක් තියෙනවා. ඒ කියන්නේ දර හෝ ගල් අඟුරු හෝ ගෑස් තුනම පාවිච්චි කරන්න පුළුවන් මැෂින් එහෙම.

 

4. හව් බිග් හව් බිග්?

සාමාන්‍යයෙන් ග්‍රිල් එකක සයිස් එක මනින්නේ වර්ග අඟල් වලින්. එතකොට තමන්ට ඕන ග්‍රිල් එකේ සයිස් එක නිමානය කරනකොට, අර ඇයි කියන එක ඉතාමත් වැදගත් වෙනවා. එතන ඉඳන් තමයි කොයි තරම් ලොකු ග්‍රිල් එකක් ඕනද කියලා නිශ්චය කරගන්න ඕනෑ. සාමාන්‍යයෙන් ඔය පවුලේ කට්ටියට බාබක්‍යු එකක් දාන්න වර්ග අඟල් 400-500 ක් වෙන ග්‍රිල් එකක් හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේම මේ ග්‍රිල් මැෂින් වල එක බර්නර් එකක් තියෙන මොඩ්ල්, බර්නර් දෙකක් තියෙන මොඩ්ල් වගේ තියෙනවා. ඒකත් තීරණය කරන්න ඕන තමන්ගේ අවශ්‍යතාවයේ හැටියට.

අනික ඔය ගොඩක් අය හොයනවනේ කොහේ හරි ගෙනිහිල්ලා ග්‍රිල් පාරක් දාන්න හරියන ග්‍රිල් මැෂින්. අන්න එතකොට අපි උඩිනුත් කිව්වා වගේ ග්‍රිල් එක කොයි තරම් ජංගමද කියන එක බලන්න ඕනමයි.

 

5. නිමාව කොහොමද?

මේ නිමාව කියන දේ ග්‍රිල් එකක් ගන්නකොට ඉතාම ඉතාම වැදගත්. ඇයි? බාබක්‍යු එකක් දාන එක ලස්සනට, හොඳට කරගන්නත්, කල් පැවැත්මටත් මේ නිමාව අවශ්‍යයි. විශේෂයෙන්ම බාබක්‍යු ග්‍රිල් එකක් ඉතා ඉහළ උෂ්ණත්වයන් එක්ක වැඩ කරන නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, බාබක්‍යු මැෂින් එකේ කුකින්ග් ග්‍රිල් එක, ඒ කියන්නේ කෑම ස්පර්ෂ වෙන ග්‍රිල් එක ස්ටේන්ලස් ස්ටීල් නම් ඉතාම හොඳයි. විශේෂයෙන්ම කාලයත් එක්ක උෂ්ණත්වය නිසා කම්බි නැමී යන එක හෝ පතුරු හැලෙන එක ස්ටේන්ලස් ස්ටීල් ග්‍රිල් එකක වෙන්නෙ නෑ. එතකොට පෝසිලේන් ග්‍රිල් තවත් හොඳයි. මොකද, පෝසිලේන් වලට ඉහළ උෂ්ණත්වයන්ට ඔරොත්තු දීලා කාලයක් ඒ විදියටම පවතින්න පුළුවන් නිසා. ඒ ඇරෙන්න ගොඩක් දෙනෙක් කියන්නේ කාස්ට් අයන් නැතිනම් වාත්තු යකඩ ග්‍රිල් තමයි හොඳම කියලා. විශේෂයෙන්ම උඩ කියපු කල් පැවැත්ම නිසා වගේම, උෂ්ණත්වය සමානව පැතිරීම නිසාත් වාත්තු යකඩ නැතිනම් චීනච්චට්ටි නැතිනම් කාස්ට් අයන් ග්‍රිල් හොඳයි කියලා කියන්නේ.

 

ඒ ඇරෙන්න ග්‍රිල් මැෂින් එකේ නිමාවට ඒකට උෂ්ණත්වය දරා ගන්න පුළුවන් විදියේ මැටීරියල් වලින් හදලා තියෙනවද, ඒකට ගැලපෙන විශේෂ එනැමල් එකක් ආලේප කරලා තියෙනවද වගේ දේවලුත් බලන්න ඕන. ඒ වගේම සවිශක්තිය ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕනැනේ.

 

6. ෆීචර්ස්

ඔව්, ග්‍රිල් එකක් ගන්න යනවා නම්, ඒකේ ෆීචර්ස් ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න ඕන. සාමාන්‍යයෙන් ඉතාම බේසික් ග්‍රිල් එකක් නැතුව, වඩාත් සීරියස් ලෙවල් එකකින් ග්‍රිලින් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔය ග්‍රිල් එකේ උෂ්ණත්වමානයක් හයි කරලා තියෙන ග්‍රිල් එකක් ගන්න එක වටිනවා. ඒකෙන් ගාණට, නියම ෆ්ලේවර් එක නැති නොවෙන්න, නියම උෂ්ණත්ව මට්ටමෙන් බාබක්‍යු කරගන්න පුළුවන්. ඊලඟට, ග්‍රිල් එකේ දෙපැත්තේ පළහා ගත්තු මස් බාගන්න හරි, පළහන්න තියෙන මස් තියලා තියන්න හරි උදවු වෙන තට්ටු තියෙනවා නම් ලේසියි. ඒ වගේම ග්‍රිල් කවර් එකකුත් අනිවාර්යයෙන්ම තියෙනවද බලන්න ඕන. අර කූරු වල ගහලා පළහන සීන් එකට, ඒ කූරු නැතිනම් ස්කිවර්ස් හරියට තැන්පත් කරන්නත් ප්‍රොෆෙෂනල් ග්‍රිල් වල තැන් හදලා තියෙනවා. ඒකත් බලන්න.

ඊට අමතරව ඉතින් අලියා ගත්තට පස්සේ හෙණ්ඩුවත් ඕනැනේ. අන්න ඒ නිසා නියම කල් පැවැත්මෙන් යුතු ටොන්ග්ස්, ස්පැටියුලා, මස් වල සෝස් තවරන බුරුසු, ස්කිවර්ස්, අත්ආවරණ වගේ ඒවත් ගන්න වෙනවා ග්‍රිල් එකත් එක්කම.

 

7. වැඩේට ආධුනිකයිද?

ඇත්තටම මේක නිකම් පළවෙනි කාර් එක ගන්නවා වගේ තමයි. ග්‍රිලින් ඇන්ඩ් බාබක්‍යු ගැන මෙලෝ අල බෝලයක් නොදන්නවා නම්, කෙලින්ම සුපිරි ග්‍රිල් මැෂින් එකකට ගිහිල්ලා වැඩක් නෑ. ඊට වඩා ටිකක් බේසික් ලෙවල් එකකින් පටන් ගන්න එක හොඳයි. එතකොට දැන් තියෙන  ඔය සමහර ග්‍රිල් මැෂින් ඉතාම ලේසියෙන් ඔපරේට් කරන්න පුළුවන්, ග්‍රිල් කරන වැඩේ අතිශයින්ම සරල කරලා තියෙන ඒවා. ඔය ස්මාට් ග්‍රිල් මැෂින් එහෙම ඒවට උදාහරණ. හැබැයි කෙනෙක් හොයන්නේ අර ක්ලැසික් බාබක්‍යු එක්ස්පීරියන්ස් එක නම්, මේ විදියේ ග්‍රිල් මැෂින් හරියන්නෙ නෑ. ඒකට පරණ ක්‍රමේට තියෙන ග්‍රිල් මැෂින් එකක් ගන්න ඕනා.

 

දැන් ග්‍රිල් එක ගත්තා වගේ නෙවෙයි, බාබක්‍යු ආට් එක ඉගෙන ගන්නේ කොහොමද? අන්න ඒක ඊලඟ දවසකදී බලමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *