Covid-19 කාලෙ වැඩිම අවදානමක ඉන්න වයස්ගත දෙමාපියන් රැකබලා ගන්නේ කොහොමද?

කොරෝනා ගැනනම් අපි ඕනෑවටත් වඩා කතා කරලා ඇති මේ වෙනකොට. හැබැයි මේකත් කතා නොකරම බැරි මාතෘකාවක්. අපි හැමෝම මේ වනකොට දන්නවනේ කොරෝනා එහෙමත් නැත්තම් මේ covid-19 කියන වෛරසයේ ලොකුම ජීවිත අවදානමක් තියෙන පිරිස වෙන්නෙ ගෙවල් වල ඉන්න, වයස්ගත සහ වෙනත් ලෙඩරෝග වලින් පෙළෙන දෙමව්පියන් කියන එක. මොකද කොරෝනා කියන වෛරසය වැළඳිලා මේ වෙනකොට සිදුවුණ මරණ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වයස්ගත පුද්ගලයින්ගේ. විශේෂයෙන්ම වෙනත් නිදන්ගත ලෙඩරෝග වලින් පෙළෙන අයගේ. ඉතින් දූ දරුවෝ විදිහට මේ අවදානමෙන් අපේ දෙමව්පියන්ව ආරක්ෂා කරගන්නෙ කොහොමද කියන කාරණාව ගැනයි අද මේ කතා කරන්න යන්නෙ. මොකද නරක දෙයක් සිද්ධ උනාට පස්සේ පසුතැවෙනවට වඩා හැම පැත්තෙන්ම අවදානම මඟහැරලා ජීවත් වෙන ඒකනෙ අපි කරන්න ඕන.

 

1. ඔබ නිරෝගී වෙන්න

ඔක්කොටම කලින් ඔබේ නිරෝගීභාවය ආරක්ෂා කරගන්න. මොකද ගෙදරට රෝගය අරගෙන එන කෙනා ඔබ වියයුතු නැහැ. නිතරම එලියට යන, රැකියාවලට යන දරුවෝ ඉන්න ගෙවල් වලට පිටින් මේ වෛරසය එන්න තියෙන අවදානම කොහොමත් වැඩියි. ඒ නිසා ඔබේ නොසැලකිලිමත්භාවය වයස්ගත දෙමව්පියන්ව අවදානමක හෙලන්න හේතුවක් වෙන්න ඉඩ තියන්න එපා. රජය සහ සෞඛ්‍ය  අංශ උපදෙස් දෙන විදිහටම සමාජ දුරස්ථභාවය රැකගෙන අනවශ්‍ය ගමන් බිමන් අවම කරලා එදිනෙදා කටයුතු කරගන්න. පුරවැසි වගකීම ඉටු කරන්න. එතකොට ගෙදර අය ඉබේම ආරක්ෂා වෙනවා. මේ දේවලුත් අනුගමනය කරන්න මතක ඇතුව.

  • සබන් යොදා අවම තප්පර 20ක කාලයක් වත් නිතර අත් සෝදන්න.
  • කිවිසුම් සහ කැස්ස ඇතිවෙනවිට අත්ල වෙනුවට වැලමිට ඇතුල් පැත්ත මුඛය ආවරණය කිරීමට භාවිතා කරන්න.
  • නිතර මුහුණ ඇල්ලීමෙන් වළකින්න.
  • නිවසේ නිතර සෙනඟ ගැවසෙන තැන්වල ඇති මතුපිටවල් විෂබීජහරණය කරන්න.

 

2. දුරස්ථභාවය රැකගන්න

 

ගේ ඇතුළෙදි උනත් වෙනදා වගේ හැමෝගෙම ඇඟේ ඇලි ගැලී ජිවත් වෙන එක මේ දවස්වල එච්චර සුවදායී පුරුද්දක් නෙමෙයි. ඉස්සර වගේ දෙමව්පියන්ට ආදරේ, සෙනෙහස දක්වන්න වැළඳගන්න යන්න එපා. දුරස්ථව ඉන්න. හැබැයි මේකෙන් හැඟවෙන්නේ නැහැ ඔවුන්ව තනි කරන්න කියන එක. ඔවුන් එක්ක නිතරම ඉන්න. හැබැයි උවමනාවට වඩා ලඟට යන එක අවම කරන්න. 

 

3. තාක්ෂණයෙන් ලංවෙන්න 

දුරින් ඉන්න දෙමව්පියන්නම්, ඒ කියන්නෙ අපේ නිවසේ නැතුව වෙනත් නිවසක වාසය කරන දෙමව්පියන්නම් මේ දවස්වල නිතර බලන්න යන්නෙ නැති එක තමයි හොඳම. මොකද ඔයාලත් එක්කම ඒ ගෙදරට වෛරස් එකටත් ඇතුළු වෙන්න පුළුවන්. දෙමව්පියන් බලන්න යන්න ඕන තමයි. ඒත් ඒ වෙනුවට එයාල එක්ක දිනපතා දුක සැප බෙදාගන්න තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්නෙ අපිට. අවශ්‍ය කෑම බීම, බෙහෙත් හේත් ගැන නිතර හොයලා බලන්න පරණ විදිහටම. හැබැයි අනවශ්‍ය විදිහට බලන්න යන එක විතරක් සීමා කරන්න. ඒ ගැන එයාලටත් කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න.

 

4. මානසික සෞඛ්‍යය රැකදෙන්න

මේ වෙලාවේදී ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කියන්නෙ හරිම වැදගත් කාරණයක්. මොකද ලෝකෙම දන්නවා මේ රෝගය නිසා වයස්ගත අයට ලොකු අවදානමක් තියෙනව කියන එක. ඒ නිසා මොනවා උනත් ජීවිතේ ගැන ඔවුන්ට පොඩි බයක් දැනෙනවා ඇතිනේ. ඉතින් ඒ ගැන හිතලම මානසිකව වැටෙන්න නොදී ඔවුන්ව බලාගන්න එකත් අපේ වැඩක්. මොකද මානසික සෞඛ්‍ය පිරිහුනොත් වෙන වෙන ලෙඩ රෝග ඇතිවෙන්නත් පුළුවන්නෙ. ඒ නිසා ඒ දේවල් අමතක වෙන්න එයාලට අලුත් අලුත් වැඩ පවරන්න. ඇඳිරිනීතිය නිසා හැමෝම ගෙවල් වලනම් හැමෝම ආස කෑමක් හදන්න, හදන්න බැරිනම් අනිත් අයට හදන හැටි කියල දෙන්න. පරණ මතක අලුත් කරන්න වගේ වැඩ වලට එයාල ආසයි. 

 

5. අනවශ්‍ය ගමන් වළක්වන්න 

කඩපිලට, පන්සලට වගේ යන ගමන්නම් කොහොමත්ම නවත්තල දාන්න ඕන කියන එක කියන්න දෙයක් නැහැනෙ. හැබැයි ඊට අමතරව අනවශ්‍ය රෝහල්, දොස්තරවරු හමුවෙන්න යන ගමනුත් නවත්තන්න ඕන. දැන් මේ කළබල නිසා පොඩි පොඩි ලෙඩ වලට ඔන්ලයින් උපදෙස් ගන්න පුළුවන් වෛද්‍යවරුන්ගෙන්. හැම වෙලාවේම ඒ වගේ දේවල් වලට යොමුවෙන්න. ඒ වගේම සායන වල බෙහෙත් ඔවුන්ව රෝහලට නොයවා දැන් ගෙන්න ගන්නත් පුළුවන්. නැත්තම් පවුලේ තරුණ කෙනෙකුට ගිහිල්ලා අරන් එන්න පුළුවන්. ඒ වගේ ගමන් අඩු කිරීමෙන් එයාලව අවදානමෙන් මුදවන්න.

 

6. සුළු රෝගයක් උනත් විමසිලිමත් වෙන්​න

 

මේ දවස්වල වයස්ගත දෙමව්පියන්ට සුළු රෝගයක ලක්ෂණ පෙන්නුවත් බලාගෙන ඉන්න එපා. ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න. මොකද කොරෝනා රෝගය කියන්නෙ හරිම සරල රෝග ලක්ෂණ වලින් පටන් ගන්න, එක්කෝ සමහරවිට රෝග ලක්ෂණ නැතුවම තියෙන්න පුළුවන් රෝගයක්. ඒ නිසා ලෙඩක් හැදුනම බලන් ඉන්න එක අවදානම්. ප්‍රතිකාර කරන්න පුළුවන් පුංචිම අවස්ථාවක් වත් මඟ නොහැරෙන්න හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් කරා යොමු කරන්න.

 

7. හදිසි අවස්ථාවන්ට සූදානම් වෙන්න

කලින් කිව්ව වගේ මොකක්ම හරි රෝග ලක්ෂණයක් ඇතිවෙන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ගන්න ක්‍රමවෙදයකුත් කලින්ම කතා බහ කරල තියන එක වැදගත්. මොකද දරුවෝ හැම වෙලාවේම ගෙදර හෝ ළඟපාතක ඉන්නෙ නැතිවෙන්න පුළුවන්නෙ. ඒ වගේ වෙලාවකට හදිස්සියට උදව් ගන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක්ව නිතරම දෙමව්පියන් එක්ක සම්බන්ධ කරවලා තියන්න. එයාලගෙ දුරකථන අංක වගේම දුරකථන ඇමතුමක් ගන්න අවශ්‍ය පහසුකම් සලස්වල තියන්න.

ඒ වගේම එයාලට තියෙන සාමාන්‍ය රෝග වලට ගන්න බෙහෙත්, හදිසි අවස්ථාවක ගන්න ප්‍රථමාධාර එහෙමත් නිතර ළඟ තියලා තියන්න.