කොවිඩ්-19 ආර්ථිකේ එක්ක ගේම ගහන්න, ඔන්ලයින් බිස්නස් එකක් කරන්න අයිඩියාස්

අපිට තව යම් කිසි කාලයක් කොවිඩ්-19 එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියන එක ආයෙමත් අමුතුවෙන් කියන්න ඕන වෙන්නෙ නෑ. එතකොට, මේ ලෝකෙටම බලපාලා තියෙන කොවිඩ්-19 තත්ත්වයත් එක්ක ආර්ථික අවපාතයකුත් පේන්න තියෙනවාය කියන එකත් ඔය ආර්ථිකේ ගැන කතා කරන අය කියන දෙයක්. කොහොමත් ලංකාව විතරක් ගත්තත්, අපිට කලින් තිබුණු තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. සමහරුන්ට සම්පූර්ණයෙන්ම රැකියා අහිමි වෙලා. තව අයගේ වැටුප් කප්පාදු. හැබැයි අපි වැටෙන්න හොඳ නෑ. අපේ පරණ පුරුදු ජීවිත සදහටම වෙනස් වෙලා. ඒක හරි. හැබැයි අපි බලන්න ඕන කොහොමද මේ වසංගතයත් එක්ක ජීවත් වෙනකොට අලුතින් අවස්ථා හොයාගන්නේ කියලා.

 

දැන් මේ වෙනකොට සෑහෙන්න දේවල් ඔන්ලයින් සිද්ධ වෙන්නේ. වැඩ කරන එකේ ඉඳන් ඉගෙනීම් කටයුතු දක්වා. එතකොට අපි සයිඩ් එකෙන් ඔන්ලයින් කරන්න පුළුවන් වැඩක් දෙකක් එහෙමත් සෙට් කරගත්තට කමක් නෑ. ආන්න ඒකට උපකාරයක් වෙන විදියේ අදහස් කීපයක් තමයි අපි මේ ඉදිරිපත් කරන්න හිතුවේ.

 

1. හෝම් කුකින්ග්

උයන්න පිහන්න ආස අය ඉන්නවා නම් මෙන්න චාන්ස් එකක්. හිතලා බලන්න තමන්ට හොඳටම, රසටම හදන්න පුළුවන් දෙයක්. කේක් වෙන්න පුළුවන්, මෆින් වෙන්න පුළුවන්, වැලිතලප වෙන්න පුළුවන්, අලුවා මුංකැවුම් වෙන්න පුළුවන්, කහ බත් වෙන්න පුළුවන්, බුරියානි වෙන්න පුළුවන්. දැන් පටන් ගමු හෝම් මේඩ් රෙස්ටුරන්ට් එකක් හරි ෆුඩ් ඩිලිවරි එකක් හරි. වෙනම කඩ දාන්න අනං මනං වලට සල්ලි යන්නෙ නෑ. ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් විදියට පටන් ගන්නවා, තමන් ඉන්න ප්‍රදේශයේ බිස්නස් පටන් ගන්නවා. ඕඩර් එකට අනුව කෑම හදලා ඩිලිවර් කරනවා. විශේෂයෙන්ම ඔය “අත්තිඩියේ අපි” වගේ ෆේස්බුක් ගෘප් එහෙම හරහත් ප්‍රොමෝෂන් පාර දුන්නා නං, තමන්ට හොඳ කටට රසට කෑමක් හදලා සාධාරණ ගාණකට දෙන්නත් පුළුවන් නම්, බිස්නස් එයි.

 

2. ස්පෙෂලයිස්ඩ් අයිටම්ස්

මතකද කොරෝනා ආපු අලුත, සූ ගාලා සැනිටයිසර් ඔන්ලයින් විකුණන තැන් බිහිවුණා. ඒකට හේතුව, ඒ මොහොතේ තියෙන අවශ්‍යතාවයට සැපයුම. දැන් හිතලා බලන්න, මේ කොරෝනා එක්ක ජීවත් වෙන කාලේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතා සහ ඒ අවශ්‍යතාවයන්ට අනුව ඕන වෙන විශේෂ දේවල් මොනවද කියලා. පොඩි ආයෝජනයක් කරලා පටන් ගන්න ඔන්ලයින් බිස්නස් එකක්. මෙතනදී හැබැයි වැඩේ පටන් ගන්න කලින් පොඩි රිසර්ච් එකක් කරන්න ඕන. මිනිස්සුන්ට ඇත්තටම අවශ්‍ය අයිටම්ස් මොනවද? ඒවා විකුණන තවත් තැන් මේ වෙනකොට මේ ඒරියා එකේ තියෙනවද? තියෙනවා නම් තමන්ට දරන්න බැරි තරගකාරීත්වයක් නිර්මාණය වෙයිද? මෙහෙම හිතලා, ෂුවර් එකක් තියෙනවා නම් මෙන්න මේ ස්පෙෂලයිස්ඩ් අයිටම්ස් යනවා කියලා, වැඩේ පටන් ගන්න තියෙන්නේ.

මේවා ඉලෙක්ට්‍රොනික්ස් වෙන්න පුළුවන්, කුකුල් මස් වෙන්න පුළුවන්, ඇල්කොහොල් වෙන්න පුළුවන්, ග්‍රොසරි බඩු වෙන්න පුළුවන්.

 

3. හෝම්මේඩ් අයිටම්ස්

අපි කලිනුත් කතා කරලා තියෙනවා මනුස්සයෙක්ට විනෝදාංශ විදියට හදන්න පටන් ගන්න පුළුවන් දේවල් ගැන. ඒ කියන්නේ වුඩ්ක්‍රාෆ්ටින්, ලෙදර් ක්‍රාෆ්ටින් වගේ වැඩ. ඔන්න ඒ ඉගෙන ගත්තු විනෝදාංශ ලාබ බවට පෙරළගන්න පුළුවන් තැනක්. මොකද හිතන්නේ අපි ඔය වගේ වැඩකින් හදන ඒවා වාණිජ මට්ටමෙන් කරන්න සැලසුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට හිතලා මතලා මිල ගණන් නියම කරලා, ඔන්ලයින් විකුණන්න පටන් ගන්න පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ වගේම ඔය daraz, ikman වගේ සයිට් හරහාත් මේවලට වෙළෙඳපොළක් හොයාගන්න පුළුවන්. 

 

4. ඉගෙන ගමු, විකුණමු

මේ කියන්නේ ඔය ඔන්ලයින් සූ ගාලා තියෙන වෙබ් ඩිසයිනින්, ලෝගෝ ඩිසයිනින්, ග්‍රැෆික් ඩිසයිනින් වගේ සීන් ගැන. ඔව්, සූ ගාලා මේවා කරන අය ඉන්නවා තමයි. හැබැයි ඒ හැමෝම මේ ට්‍රේඩ් එකේ වැඩකාරයෝ නෙවෙයි. අන්න ඒ නිසා, මුලින් කරන්න ඕන, මේ ගැන බාගෙට ඉගෙන ගන්නෙ නැතුව හරි හැටි ඉගෙන ගන්න එක. ඒක අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඒකට යොදවන කාලය හොඳ ෆෝකස් එකකින් ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ මේක ප්‍රැක්ටිස් එකේ යොදවන කාලය. ඕන නම් යම් කාලයක් ප්‍රැක්ටිස් රන් එකක් දෙන්න පුළුවන්. එතනදී පුළුවන් තමන් ඉගෙන ගත්තු තියරි, තමන්ගේ නිර්මාණශීලීත්වය මික්ස් කරලා, හොඳ කොලිටි වැඩක් ඩිලිවර් කරන හැටි තනියෙන්ම ඉගෙන ගන්න. දැන් තියෙන්නේ වැඩ අල්ලගන්න. සමහර වෙලාවට මුලින් අඳුනන කෙනෙක්ට එහෙම කියලා වැඩක් අල්ලගන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි, හොඳ වැඩ කාරයෙක් නම්, ක්‍රමයෙන් කටින් කට ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ආන්න ඒ ලෙවල් එකට තමන්ව ගේන්න ඕන. 

 

5. ගෙවතු වගා

මතකද පළවෙනි කොවිඩ් රැල්ලත් එක්ක හැමෝම මොඩ් ගොයියෝ වුණා? හැබැයි හිටෝපු වම්බට්ටකුත් නෑ, එලබට්ටකුත් නෑ! ඒත් ඒකෙන් එක පාඩමක් අපි ඉගෙන ගත්තා. ඕන නම්, ආර්ථික වශයෙන් වාසිදායක විදියට ගෙවතු වගා කරන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයි, දැන් පොඩි ඉඩක වුනත් වගා කරන්න පුළුවන් තාක්ෂණික කම සහ විධි තියෙනවා. ආන්න එහෙම වගාවක් දෙකක් දැම්මා කියමු. දැන් බැරිද තමන් ඉන්න ප්‍රදේශයේ එළවළු ඩිලිවරි සිස්ටම් එකක් පටන් ගන්න? ඕන නම් වෙබ් සයිට් එකකින් හරි ඇප් එකකින් හරි ඕඩර් කළහම ගෙදරටම ගෙනැත් දෙන සිස්ටම් එකක් කරන්න පුළුවන්. නැතිනම් පොඩි වාහනේකින් ජංගම එළවළු විකුණුම් සේවයක් එහෙම පටන් ගන්නත් පුළුවන්.

 

6. හෝම් විසිට්

හෝම් විසිට් සේවාවන් සපයන එක කොවිඩ්-19 වලට කලින් ඉඳලත් තිබුණනේ. ඒ කියන්නේ හෝම් ටියුෂන් කියන්නෙත් ඒ විදියේ සේවාවක්. පයිප්ප වැද්දුම් බාස් වැඩ, අලුත්වැඩියා වැඩ කියන්නෙත් එහෙම සේවාවක්. පොල් කඩනවා ගස් නගිනවා කියන්නෙත් එහෙම සේවාවක්. හැබැයි හිතලා බලන්න, මේ කාලේ ඔය සේවාවන්ට වැඩි ඩිමාන්ඩ් එකක් නැද්ද? ඒ නිසා, මේ ගෙවල් වලට ගිහින් ලබාදෙන සේවාවන් ගැන හොඳ මාකටින් පාරක් දාලා, ඒක තව ලෙවල් එකකට අරගෙන යන එක හොඳ බිස්නස් අයිඩියා එකක් නෙවෙයිද? දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරක පයිප්පයක් ලීක් වෙනකොට අපිම ඒක හදාගන්න උත්සාහ කරනවා. හැබැයි සෑහෙන පිරිසක් ඉන්නවා, පයිප්පයක් ලීක් වෙනකොට වෙන කරන්න දෙයක් දන්නෙ නැතුව අබ්ලික් වෙන අය. ඉතින් ඒ අය ඔන්න හොයනවා පයිප්ප බාස් කෙනෙක්. එතකොට පයිප්ප බාස් වැඩ කරන කෙනෙක්ගේ ෆේස්බුක් පේජ් එකක් හොයාගන්න පුළුවන් වුනොත් කොහොමද? අනිවාර්යයෙන්ම වැඩේ ලැබෙන්නෙ නැද්ද? 

 

7. ෆ්‍රී ලාන්ස් වැඩ

මේක ඇත්තටම එක්තරා විදියකට අපි උඩ කියපු හතරවෙනි කොටසටත් අදාළයි. හැබැයි අපි මේ කියන්නේ කම්පැණි එකකට හෝ කීපෙකට නිත්‍ය සේවය සපයන ෆ්‍රී ලාන්සර් කෙනෙක් වීම ගැන. මෙතනදී තමන් කලින් කරපු වැඩ ටිකක් තියෙන්න ඕන. ඒක අනිවාර්යයි. දැන් අන්න ඒ වැඩ එහෙම එක් තැන් කරලා හොඳ පෝට්ෆෝලියෝ එකක්, ෂෝ රීල් එකක්, සීවී එකක් එහෙම හදාගෙන, ලින්ක්ඩ්ඉන් එකවුන්ට් එකක් එහෙමත් හදාගෙන, හොයලා බලන්න පුළුවන් ෆ්‍රී ලාන්සර්ස්ලගේ සේවය ලබාගන්න කැමති ආයතන ගැන. සමහර වෙලාවට යම් කිසි ආයතනයක් ෆ්‍රී ලාන්සර්ස්ලා ඉල්ලලා ඇඩ් දාන්නෙ නැතත්, අපිට ඕන නම් ඒ අයට ඇප්‍රෝච් කරලා අපේ සේවය ඔෆර් කරන්න පුළුවන්. මේ සේවාවන් කන්ටෙන්ට් රයිටින්, ඩිජිටල් මාකටින්, වෙබ් ඩිවලොප්මන්ට්, ග්‍රැෆික් ඩිසයිනින් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. දැන් මෙහෙම නිත්‍ය වශයෙන් කන්ට්‍රැක්ට් එකක් යටතේ ෆ්‍රී ලාන්සර් කෙනෙක් විදියට වැඩ කරන්න පුළුවන් නම්, ඒක හොඳ අනාගතේට ආරක්ෂාවක් නෙවෙයිද? 

 

ඇත්තටම මේ කොවිඩ්-19 තත්වයත් එක්ක මිනිස්සු එලියට බහින එක ටිකක් සීමා වෙලා තියෙනවා. ආයතන පවා පුළුවන් තරම් ඔෆිස් වල මිනිස්සු පුරෝගන්නෙ නැතුව වැඩ කරන්න උත්සාහ කරනවා. ආන්න ඒ කාරණාව ඔලුවෙ තියාගෙන තමයි උඩ කියපු අවස්ථා ගැන අපි හිතුවේ. හැබැයි තවත් විකල්ප ආදායම් අවස්ථා ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් හිතලා, හොයලා බලන්න විතරයි තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *