ගමනක් යනකොට, වැඩට යනකොට පොඩියට මේකප් එකක් කරන්න ගෑණු ළමයි ආසයිනෙ. හැබැයි ඔයිලි ස්කින් එකක් නැත්නම් තෙල් සහිත හමක් තියෙන යුවතියකට නම් මේකප් කිරිල්ල එපා වෙන්නෙ මේකප් එකෙන් පස්සෙ මුහුණේ තෙල් ගතිය ඉස්මතු වෙන නිසා.
සාමාන්‍ය සමකට හරි වියළි සමකට හරි කරන විදියේ මේකප් එකක් තෙල් සහිත සමකට හරි යන්නෙ නෑ. එහෙම සමක් තියෙන යුවතියකට ලස්සනට මේකප් එක කරගන්න පහසු වෙන ටිප්ස් ටිකක් තමයි ලයිෆි බියුටි ටිප්ස් වෙතින් අපි මේ අරගෙන ආවෙ.
1. මුලින්ම පිරිසිදු වෙන්න
තෙල් සහිත සමක් ඇති යුවතියන් මද රස්නෙ වතුරෙන් මුහුණ සෝදන එක තමා සුදුසු. විශේෂයෙන් මේකප් එකකට කලින්. මද රස්නෙ වතුරෙන් මුහුණ සෝදගෙන තෙල් සහිත සමකට ගැලපෙන ක්ලෙන්සර් එකකින් සම පිරිසිදු කරගන්න. සාමාන්‍ය වතුරෙන් නැවත මුහුණ සෝදලා සම තෙත මාත්තු කරගන්න. හොඳින් සම වියළුණාම ඇල්කොහොල් වලින් තොර ටෝනර් එකක් ගාගෙන ඒක වියළෙන්න හරින්න.
2. සමේ තෙතමනයට මොයිස්චරයිසර්
ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියන් මූණට ක්‍රීම් ආලේප කරන්න කැමතිම නැහැ. ඒත් සමේ තෙතමනය කියන්නෙ සම වයසට යන එක වළක්වන ප්‍රධානම සාධකයක්. ඒ නිසා තෙල් සහිත සමකට ගැලපෙන ඔයිල් ෆ්‍රී මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. ටෝනර් එක වියළුණාම මොයිස්චරයිසර් ටිකක් අතට අරන් මුහුණේ හොඳින් පැතිරෙන්න තවරගන්න.
3. ප්‍රයිමර් එකක් අනිවාර්යයි
ගොඩක් අය ප්‍රයිමර් පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් ප්‍රයිමර් භාවිතා කරන්නම ඕන. ඔයිල් ෆ්‍රී ප්‍රයිමර් එකක් මිලදී ගන්න. මේකෙ වාසිය තමයි සමේ තෙල් ගතිය මතුවෙන්නෙ නැතුව වැඩි කාලයක් මේකප් එක රඳවගන්න පුළුවන්කම. ඇහිපිල්ලම් ඇතුළු සම්පූර්ණ මුහුණේම ප්‍රයිමර් තවරන්න.
4. ෆවුන්ඩේශන් සහ කන්සීලර්
ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියන්ට ගැලපෙන්නෙ මැට් ෆිනිශ් ෆවුන්ඩේශන් එකක්. කන්සීලර් එක ලික්විඩ් එක තෝරගන්න. මේ දෙකම තෝරනකොට ඔයිලි ස්කින් එකකට ගැළපෙන නිෂ්පාදන තෝරගන්න අමතක කරන්න එපා. සමේ තද පැල්ලම් සහිත තැන් කන්සීලර් එකෙන් වහගන්න. ප්‍රයිමර් එක ඇස්පිල්ලම් වලත් තවරගත්ත නිසා ඇස්පිල්ලම් වලට නැවත කන්සීලර් අවශ්‍ය නැහැ. ඊළඟට ෆවුන්ඩේශන් එක තවරගන්න එකෙන් ඊවන් ටෝන් ස්කින් එකක් ලබාගන්න පුළුවන්.
මුහුණේ ටී සෝන් එක නැත්නම් නළල සහ නහය මතත්, තෙල් ගතිය වැඩිපුරම මතුවෙන කම්මුල් දෙපසත් ෆවුන්ඩේශන් ගාන්න ඕන හුඟක් තුනියට. ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියක් මේ ක්‍රමය අනුගමනය කරන්නම ඕන. තුනියට ෆවුන්ඩේශන් ගාපු තැන් උඩින් පවුඩර් ආලේප කරාම තෙල් ගතිය ඉස්මතු වෙන එක අඩු වෙනව. ෆවුන්ඩේශන් ආලේප කරපු සම තමා අපේ මේකප් කැන්වස් එක.
5. පව්ඩර් සහ බ්ලශ්
ආයෙමත් මතක් කරනව. මේකප් එකට අවශ්‍ය සියළුම දේ ඔයිලි ස්කින් එකකට ගැළපෙන නිෂ්පාදන වෙන්න ඕන. පවුඩර් සහ බ්ලශ් එකත් එහෙමයි.
පවුඩර් තවරනකොට ඔයිලි ස්කින් එකක් තියෙන යුවතියන් කරන වරදක් තමයි ඝණකම පවුඩර් තට්ටුවක් ආලේප කරන එක. ඒකෙන් වෙන්නෙ සමේ සිදුරු අවහිර වෙලා පමණටත් වඩා වැඩිපුර තෙල් ගතිය ඉස්මතුවෙන එක. ඒ නිසා හැමවෙලේම තුනී පවුඩර් තට්ටුවක් ගාන්න.
සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ ශිමරින් බ්ලශ් එකක් උනාට ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ගැලපෙන්නෙ මැට් බ්ලශ් එකක්. ස්වභාවයෙන්ම මතුවෙන සමේ දිලිසීමට ශිමරින් බ්ලශ් ගැලපෙන්නෙ නැහැ.
6. අයි ලයිනර් සහ මස්කාරා
වෝටර් පෲෆ් අයි ලයිනර් සහ මස්කාරා මිලදී ගන්න. සමේ තෙල් ගතිය ස්වභාවයෙන්ම මතුවෙන කෙනෙක්ට වඩාත්ම ගැලපෙන්නෙ වෝටර් පෲෆ් මස්කාරා සහ අයිලයිනර්. ඒකෙන් තෙල් ගතිය නිසා මේකප් එක බොඳවෙලා යන එක වළක්වනව.
7. මේකප් එකෙන් පස්සෙ ඒක ලස්සනට තියාගන්න මේ දේවලුත් වැදගත්
පව්ඩර් එක ළඟම තියාගන්න. පැය දෙක තුනකට සැරයක් ටී සෝන් එක සහ කම්මුල් දෙපැත්ත යන්තමින් පවුඩර් කරගන්න. මුලදිම පවුඩර් ලොකු තට්ටුවක් ආලේප කරොත් මේකප් එක රීෆ්‍රෙශ් කරන කොට දාන පවුඩර් වැඩි වෙලා මේකප් එක ඉරිතලපු ස්වභාවයක් ගන්නව. මුලින්ම පවුඩර් ගොඩක් ගාන්න එපා කිව්ව එකට ඒකත් හේතුවක්.
ටිෂූ වෙනුවට බ්ලොටින් පේපර්ස් ටිකක් තියාගන්න. මුහුණ පිහදාන්නෙ නැතුව බ්ලොටින් පේපර් එකෙන් ටී සෝන් එක සහ කම්මුල් වගේ තෙල් මතුවෙන තැන් යන්තම් තද කරල තෙල් ගතිය අඩු කරගන්න. මේකප් නොකරන තෙල් සහිත සමක් තියෙන යුවතියකට උනත් ටිෂූ වෙනුවට බ්ලොටින් පේපර් ප්‍රයෝජනවත්.
Leave a Reply