තල්මසුන් රංචු වශයෙන් ගොඩ ගහන්නේ ඇයි?

සති කීපයකට කලින් පානදුර මුහුදු වෙරළට තල්මසුන් සීයක් විතර ගොඩ ගහලා ඒ තල්මසුන් ආයෙත් මූදට හරවලා යවන්න අපේ අය කටයුතු කරලා තිබුණා. ඒක ජාත්‍යන්තර මාධ්‍ය වලත් ලංකාවට අවධානයක් ගෙන දීපු ප්‍රවෘත්තියක් වුණා. මූදු වෙරළට ආවම ඒ වතුරේ ඉන්න මහ විසාල තල්මසුන්ට, ඩොල්පින්ලට ඔවුන්ගේ පේශි හසුරුවන්න අමාරු වෙනවා. ඉන් පස්සෙ මිනිස්සු අල්ලලා කිති කවලා වගේ ඒ පේශි සක්‍රීය කරලා උන්ව මූදට දක්කන්න ඕනි. අපේ අය බොහොම සාර්ථක විදිහට කරලත් ඒ විදිහට ආපු තල්මසුන් 5ක් පමණ පානදුර වෙරළ තීරයේ ඉතුරු වෙලා මැරිලා තිබුණා. 

 

1. මේක අලුත් දෙයක්ද?

නැහැ, මේ විදිහට ලෝකයේ විවිධ තැන්වලට තල්මසුන් ගොඩ බැහැලා තියෙනවා. මීට මාස කිහිපයකට කලින් ඕස්ට්‍රේලියාවේ තස්මේනියානු වෙරළ තීරයකටත් තල්මසුන් දෙසීයක් විතර ගොඩ බැහැල තිබුණා. චිලී දේශය, දකුණු අප්‍රිකාව වගේ රටවලටත් මේ විදිහට තල්මසුන් ගොඩ බහිනවා. තල්මසුන් සමූහ වශයෙන් මියැදෙන්න තෝරාගන්න එක් තැනක් තමයි නවසීලන්තයේ ‍ෆෙයාවෙල් ස්පිට් වෙරළ තීරය. මේ වෙරළ තීරය ආසන්නයේ ඉන්න පැරණි ගැමියෝ කියන විදිහට බොහෝම කාලයක පටන් වසරකට එක වතාවක් හෝ තල්මසුන් කණ්ඩායම් ඇවිත් වෙරළට ගොඩ ගහනවා. මේ විදිහට එන තල්මසුන් අතර ලංකාවටත් ගොඩ ගහපු පයිලට් වේල් කියන ජාතිය සුලබයි. 

 

2. සෝනා (Sonar) නිසා 

තල්මසුන්, ඩොල්ෆින්ලා දිශාව හොයාගන්නෙ සෝනා වගේ සිග්නල් එකකින්. නැවු වලින් සහ යුධ යාත්‍රා වලින් මිනිස්සු ප්‍රබල සෝනා සංඥා මුහුද වෙත නිකුත් කරනවා. මේ සෝනා වලින් එක පැත්තකින් තල්මසුන්ගේ සහ ඩොල්ෆින්ගේ මෘදු පේශි වලට හානි කරනවා. අනෙක් අතින් තල්මසුන් ජලතරණය කරන ක්‍රියාවලිය අවුල් කරනවා. ඒ කියන්නේ තල්මසුන් දිශාව හොයාගන්න සිස්ටම් එක මේ සෝනා වලින් අවුල් කරනවා. ඒ නිසා තල්මසුන් මේ සෝනා සංඥා වලින් ඉවතට යන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තල්මසුන් ගොඩට එන බවට එක මතයක් තියෙනවා. 

 

3. සමාජශීලී සතුන් 

පයිලට් වේල් සහ ඩොල්ෆින් කියන්නේ කණ්ඩායම් වශයෙන් දුක සැප බෙදාගෙන ජීවත් වෙන සතුන් වර්ගයක්. ඔවුන් දඩයම් කිරීම, සංචරණය වගේ බොහෝ දේවල් සාමූහිකව තමයි කරන්නේ. ඉතින් මේ සතුන් අතරින් එක සතෙක්ට දෙන්නෙක්ට මොනාහරි අවුලක් වුනත් උන් ඌව දාල යන්නේ නැහැ. ඒ විපතට පත් සතුන් එක්කම උන් වෙනුවෙන් එකට පිහිනනවා. ඒ විදිහට අවුල් ගිය සතුන් කිහිප දෙනෙක් බේරාගැනීමට තියෙන උවමනාව නිසා අනෙක් තල්මසුනුත් සෙට් එක පිටින්ම ගොඩබිමට එන බවට මතයක් තියෙනවා. 

 

4. වෙරළ ස්වභාවය 

තස්මේනියානු වෙරළ තීරය සැලකුවත්, නවසීලන්තයේ ස්පිට් වෙරළ තීරය සැලකුවත් ඒ වෙරළ තීරවලට මුහුදට නෙරාගිය කොකු ස්වභාවයක් තියෙනවා. පානදුර වෙරළ ගත්තා වුනත් ධීවර වරාය ඉදිකිරීම් කටයුතු නිසා එතැනත් යම් කොකු ස්වභාවයක් දකින්නට තියෙනවා. මේ වෙරළට නෙරාගිය කොක්කක් වගේ තියෙන වෙරළ හැඩය නිසා තල්මසුන්ගේ දිශාව සොයාගැනීමේ පද්ධති වලට යම් සොයාගැනීමේ අපහසුවක් එන්න පුළුවන්. ඒ නිසාත් තල්මසුන් ගොඩගැසීම වැඩිවෙන්නට පුළුවන් කියලත් මතයක් තියෙනවා. කොහොම වුනත් නවසීලන්තයේ ෆෙයාවෙල් ස්පිට් වැනි තීරයකට වර්ෂයක් පාසා තල්මසුන් තොග වශයෙන් ගොඩ ගහන්න ඒ වෙරළ තීරය එක්කෝ තල්මසුන් සුසානයක් විදිහට හඳුනාගෙන ඇති. නැතිනම් එයටම විශේෂිත වෙනම හේතුවක් ඇති. 

 

5. පෘථිවියේ වෙනස් වීම 

සූර්ය දහරා පතිත වීම නිසා පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයට යම් යම් අවස්ථාවල අවුල් වෙනවා. මේ සතුන්ගේ පාර සොයාගැනීමේ රටාවන්ට පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේත් යම් බලපෑමක් තියෙනවා. ඉතින් ඒ විදිහට යම් යම් අවස්ථාවල පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ ඇතිවන වෙනස්කම් නිසා තල්මසුන්ට පාර සොයාගන්නට බැරිව වෙරළ සොයා එන බවට මතයකුත් තියෙනවා. 

 

6. දඩයම් සොයා ඒම සහ දඩයමට ලක් වීම

තල්මසුන් දඩයම් කරන්න තහනම්. ඒත් උන්ව දඩයම් කරන්න මිනිසුන් යාත්‍රා වලින් එන අවස්ථාත් තියෙනවා. ඒ වගේ වෙලාවට පණ බේරගන්න පීනන තල්මසුන් රෑන් පිටින් මූදු වෙරළ සොයා එන්නට පුළුවන්. ඒ වගේම තල්මසුනුත් මූද අයිනේ වැඩිවශයෙන් ඉන්න සීල් මසුන් දඩයමට එහෙම කැමතියි. ඒ විදිහට සීල් මසුන් රෑනක් පිටුපස්සේ එළවලා එන තල්මසුන් ටිකක් ආයේ මූදු වෙරළේම හිරවෙන්නත් පුළුවන් කියලා මතයක් තියෙනවා. 

 

7. එක් තල්මහෙක් ගොඩ ගහන්නේ ඇයි? 

වෙරළට ඇවිල්ලා මියැදෙන විශාල තල්මසුන් ඉන්නවා. මේ සුවිශාල තල්මසුන් නරඹන්න යෑමට සහ උන් එක්ක පොටෝ ගැහීමටත් මිනිස්සු පෙළඹෙනවා. ඒත් සුවිශාල තල්මහෙක් වෙරළට ගොඩ බැස්සාම ඒ ළඟට යන එක එච්චරම හොඳ දෙයක් නෙමෙයි. මොකද මැරුණට පස්සේ තල්මහගේ අභ්‍යන්තර සිරුරේ වායු පිරෙනවා. මේ වායු එක් වරම පුපුරා ගිහින් තල්මසාගේ ලේ සහ මස් වැදලි අවට පරිසරට බොහොම තදින් විදින්නට ඉඩ තියෙනවා. ඒ විදිහට ගොඩ බාන ගොඩක් තල්මසුන් ධීවර දැල්වලට පැටලිලා හෝ වෙනයම් හේතු නිසා ලෙඩ හෝ අනතුරු වලට භාජනය වූ සතුන්. ඒත් සමූහ වශයෙන් එන තල්මසුන් නම් හැම එකාම ලෙඩ හෝ අනතුරු වෙච්චි සතුන් නම් නෙමෙයි. 

 

තල්මසුන් ලෝකයේ තැනින් තැනට මේ විදිහට රංචු වශයෙන් එන බවත්, ඇවිත් මියැදෙන බවත් විටින් විට වාර්තා වෙනවා. ඒත් එහෙම එන්න තියෙන හේතුව මොකද්ද කියන එක තාමත් විද්‍යාවට අභිරහසක්. සමහර විට අප්‍රිකානු අලි ඇතුන් එකම තැනකට ගොස් මියැදෙන්න තීරණය කරනවා වගේ තල්මසුනුත් තමුන්ගේ සුසානය තීරණය කරනවා වැනි තත්ත්වයක් තියනවාද කියලාත් තාම හරිහැටි අනාවරණය වෙලා නැහැ. ඒ කෝක වුණත් ගොඩ ඉන්න බැරි සත්තු ගොඩට ආවම අමාරුවෙන් තල්ලු කරලා හරි ආයෙම මූදට දාන එක හොඳ පිනක්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *