මේ නපුරු covid වසංගතය ලෝකෙ පුරාම පැතිරිලා තියෙන කාලෙ ලංකාවේ අපිත් ගතකරමින් ඉන්නෙ හරිම අපහසු කාල සීමාවක්. Covid දෙවෙනි රැල්ලත් එක්ක ආපහු පරණ බයම අපේ හිත් ඇතුළට රිංගගෙන. කවදා ඉවරවෙයිද නොදන්න වෛරසයකට බයේ අපිට එදිනෙදා වැඩ කරගන්න, සමහර වැඩ නතර කරල දාන්නත් සිද්ධ වෙලා. රටට කවදත් ලොකු සේවයක් කරපු, රටේ අදායමට ලොකුම දායකත්වයක් දීපු පෞද්ගලික අංශයේ ව්‍යාපාර හුඟක් කඩාවැටෙන තත්ත්වයටම ඇවිල්ල. පෞද්ගලික අංශයේ සේවකයින්ට ගෙවල් වල ඉඳගෙන පුළු පුළුවන් විදිහට වැඩ කරන්න වෙලා.
ඔය අතරේ කවදත් බැනුම් අහන, වැඩ කරන්නෙ නැහැ කියල හංවඩු ගැහුණු රාජ්‍ය අංශයේ සේවකයින් තමයි මේ පාර රට බේරගන්න ඉදිරිපෙළ ඉඳලා සටන් වදින්නේ. ඉතින් අපි හිතුවා මේ අසීරු අවස්ථාවේ රට වෙනුවෙන් කැපවෙන ඒ රාජ්‍ය සේවකයින්ට උපහාරයක් විදිහට වගේම රාජ්‍ය සේවය ගැන හුඟක් දෙනෙක් දරණ දුර්මත වෙනස් කරන්නත් covid සටනේ ලොකුම කාර්යභාරයක් ඉටු කරන රාජ්‍ය සේවකයින් ගැන ටිකක් ලියල තියන්න.
1. රාජ්‍ය බුද්ධි අංශය
කවුරුත් නොදන්නව උනාට, කතාබහ නොකළට covid සටනේ ලොකුම game එක play කරන්නෙ මේ රාජ්‍ය බුද්ධි අංශයෙන්. Positive වෙන ලෙඩ්ඩුන්ගෙ තොරතුරු වාර්තා කරගෙන ඒ ඔස්සේ ඔවුන්ගේ ආශ්‍රිතයින් හොයාගෙන PHI මහත්තුරුන්ට අවශ්‍ය කාර්යයන් ඉටු කරන්න තොරතුරු ලබාදෙන්නෙ මේ බුද්ධි අංශයෙන්. ඒ වැඩේ අපි හිතන තරම් ලේසි එකක්නම් නෙමෙයි. විශේෂයෙන්ම මේ මරණීය වසංගතයක් අස්සෙ උනත් කට්ටි පනින්න බලන් ඉන්න අපේ අයියලා එක්ක. සතියකට දෙකකට කලින් ආපු ගියපු තැන්, කතාබහ කරපු මිනිස්සු අපිටම මතක නැති එකේ කොයිතරම්නම් අමාරුද කියල හිතන්නකෝ රෝගියෙකුගේ ඉතිහාසය හොයන එක.
අනිත් එක තමයි ඔය එහෙන් මෙහෙන් හොරාට පනින ලෙඩ්ඩු හොයන එක. ඒකත් කෙරෙන්නෙ මේ බුද්ධි අංශ තොරතුරු හරහා.
2. ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව
බුද්ධි අංශයෙන් ලබාදෙන තොරතුරු හරහා රෝගීන්ගේ ඉතිහාසය හොයල හැංගෙන ලෙඩ්ඩු හොයන්න, පිටරටවල් වලින් එන සෙනඟ නිරෝධායනය කරන්න, විෂබීජහරණය කරන්න වගේ එකී නොකී හැම ජාතියේම වැඩ මේ දවස්වල ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියෝ අතින් කෙරෙනවා. කවදත් රට බේරගන්න ඉස්සරහට ආපු ඔවුන් මේ පාරත් කොරෝනා ඉදිරිපෙළම ඉඳගෙන රට වෙනුවෙන් සටන් වදිනවා. කොටින්ම හාල් පරිප්පු තොග එකතු කරන්න, බෙදන්න වගේ වැඩත් දැන් කෙරෙන්නෙ හමුදාව හරහා.
ඊළඟ භාරදූරම වැඩේ කරන්නෙ පොලීසියෙන්. ඒ එහෙට මෙහෙට දුවන මේ මිනිස්සු එක තැනකට කොටු කරලා තියාගන්න එක. එලියට යන්න එපා, ගමන් සීමා කරන්න කියල කිව්වට අහන්නෙ නැති තැන ඇඳිරි නීතිය දාලත් ඇවිදින්න යන අයව මට්ටු කරන්න මේ පොලීසිය නැත්තම් කොහොමටවත්ම බැහැ.
3. රෝහල් කාර්යමණ්ඩලය
මේ තමයි ලොකුම අවදානම අරගෙන වැඩ කරන රාජ්‍ය නිළධාරීන් කොට්ඨාසය. එයාලට තමයි කොවිඩ් රෝගීන් එක්ක දිනපතාම ගැටිලා වැඩ කරන්න වෙලා තියෙන්නෙ. වෛද්‍යවරු, හෙදියන්, සාත්තු සේවකයින් ඇතුළු මුළු රෝහල් කාර්ය මණ්ඩලයම වෙන මහන්සිය මෙච්චරයි කියල ලඝු කරන්න බැරි තරම් මේ කාලෙදි. වෙනදා නැති බර ඇඳුම්, සපත්තු දාගෙන, මුළු ඇඟම වහගෙන උනත් වෙනදා රාජකාරිම, සමහරවිට ඊටත් එහා වැඩ ගොඩක් දැන් කරන්න වෙලා. ඒත් මැසිවිලි නොනඟාම ඔවුන් රට වෙනුවෙන් වෙහෙසෙනවා.
4. වෛද්‍ය පර්යේෂණ ආයතනය
හුඟක් දෙනෙක් නොදන්නවා උනාට ගේම් එකේ ඉහළින්ම සෙල්ලම් කරන තවත් එක කණ්ඩායමක් තමයි මේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සේවක පිරිස. බොරැල්ලේ පිහිටලා තියෙන මේ වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා තමයි PCR පර්යේෂණ සිදු කෙරෙන්නෙ. PCR පරීක්ෂණ වලට ලැබෙන සාම්පල් කියන්නෙ වෛරසය පැතිරෙන්න ලොකුම අවදානමක් තියෙන දෙයක්. ඉතින් ඒ අවදානමත් අරගෙන රෑ දවල් නැතුව කැපවීමෙන් පරීක්ෂණ කරන්න යොමුවෙලා ඉන්න පිරිසක් තමයි මේ ආයතනයේ වැඩ කරන සේවක පිරිස.
5. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI)
මේ ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. කවුරුත් දන්නවා කොරෝනා සටනේ PHI හෙවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කරන කාර්යභාරය කොයිතරම්ද කියන එක. කොරෝනා හැදුණු, හැදෙයි කියල සැක සියළු පවුල් නිරෝධායනයට යොමු කරමින්, අවදානම් පිරිස ගැන ලැබෙන පුවත් ගැන නිරන්තරයෙන් අවධානය යොමු කරමින්, ඔක්කොටමත් එහා නාහෙට අහන්නෙ නැති මිනිස්සු එක්ක ගැටෙමින් ඔවුන් මේ කරන්නෙත් සුළුපටු වැඩක් නම් නෙමෙයි.
6. ග්‍රාම සේවා නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන්
ග්‍රාම සේවා නිළධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් කියන්නෙ වැඩිය පිටට නොපෙනුනත් මේ සටනේ ලොකු කාර්යභාරයක් ඉටු කරන පිරිසක්. මේ දෙගොල්ලෝ හරහා තමයි මිනිස්සුන්ට සහනාධාර සැපයෙන කටයුතු කෙරෙන්නෙ. අර පහුගිය කොරෝනා පළමු රැල්ල දවස්වල බෙදපු 5000 සහනාධාරය වගේම බඩු මළු පස්සේ හිටපු මිනිස්සු මේ අය තමයි.
ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පොලීසිය එක්ක කොරෝනා සැක සහිත සහ නිරෝධායනයට ලක් කරන පවුල් ගැන කටයුතු කරන්නත් ග්‍රාම සේවා නිලධාරීන්ට සිදු වෙනවා.
7. සුවසැරිය (1990)
මේ සුවසැරියෙන් තමයි ලොකු අවදානමක් අරගෙන දිවා රෑ නැතුව සියලුම සැක සහිත පිරිස සහ තහවුරු උණ රෝගීන් රෝහල් වලට අරගෙන යන්නෙ. වෛරසය අසාදනය උණ ලෙඩෙක් එක්ක එකම වාහනේ යන අවදානම දරණ මේ පිරිසවත් මේ කතාවෙදි අමතක කරන්නම් බැහැ.
මේ කියපු පිරිසට අමතරව රෝහල් සායන වල ලියාපදිංචි වුණු රෝගීන්ගේ ගෙවල් වලටම බෙහෙත් බෙදා දීපු තැපැල් සේවය, ඇඳිරිනීතිය මැද උනත් විදුලි බිඳ වැටීම් ප්‍රතිස්ථාපානය කරපු විදුලිබල මණ්ඩලේ කාර්ය මණ්ඩලය සහ ලංකා සතොස කාර්ය මණ්ඩලයත් අමතක කරන්නම බැහැ.
Leave a Reply