හරි විදිහට ඩියෝඩ්‍රන්ට් (Deodorant) එකක් භාවිතා කරන්නෙ මෙන්න මෙහෙමයි

Deodorant එහෙමත් නැත්තම් බරසාර සිංහල වචනයෙන් කිව්වොත් විගන්ධක ආලේපන කියන්නෙ අපි කවුරුත් අහල තියෙන, වැඩි දෙනෙක් භාවිතා කරන නිෂ්පාදනයක්. හරියටම කිව්වොත් Deodorant එකක් කියල කියන්නෙ දහඩිය දැමීම නිසා හම මත සිදුවෙන බැක්ටීරියා ක්‍රියාවලිය නිසා ඇතිවෙන අනවශ්‍ය දුර්ගන්ධය, ඒ කියන්නෙ සරලව කිව්වොත් දාඩිය ගඳ පාලනය කරන්න ආලේප කරන ද්‍රව්‍යයක්. මේ Deodorant කියන්නෙ සුවඳ ගහන්න යොදන perfume වර්ගයක් නම් නෙමෙයි. Deodorant ආලේප කරන්නෙ දුර්ගන්ධය ආවරණය කරන්නයි. Deodorant කිව්වම එක පාරටම අපේ ඔලුවට එන්නෙ අත් යට, ඒ කියන්නෙ කිහිලි ප්‍රදේශයේ ආලේප කරන Deodorant එකක් උනාට මේ Deodorant විවිධ වර්ග වලින් වෙළඳ පොලේ දකින්න පුළුවන්. ඉතින් මේ වර්ග වගේම නිවැරදි විදිහට Deodorant ආලේප කරන්න ඕන හැටි ගැනත් පොඩි උපදෙස් ටිකක් තමයි මේ.  

 

1. Deodorant Vs Antiperspirants

කලින් විස්තරේ කිව්ව වගේ Deodorant කියන්නෙ perfume එකක් නෙමෙයි. Deodorant වලින් වෙන්නෙ දුර්ගන්ධය පාලනය කරන එක. ඒ වගේම මේ Deodorant කියන්නෙ Antiperspirants වර්ගයකුත් නෙමෙයි. ඒ දෙක අතරෙත් ලොකු වෙනසක් තියෙනවා. Deodorant වලින් කෙරෙන්නෙ දාඩිය නිසා ඇතිවෙන අනවශ්‍ය දුගඳ පාලනය කරන එක. ඒ කියන්නෙ ඒ ගඳ පිටතට දැනෙන එක වළක්වන එක. හැබැයි Antiperspirants වලින් කෙරෙන්නෙ මීට වෙනස් කාර්යයක්. Antiperspirants වලින් දාඩිය දුගඳ පාලනය කිරීමට අමතරව දහඩිය පිටකෙරෙන ග්‍රන්ථි අවහිර කිරීම මඟින් දහඩිය පිටවීමත් පාලනය කෙරෙනවා. ඒ නිසා මුලින්ම තමන්ගේ දහඩිය දුගඳ සහ දහඩිය පිටවීම ගැන හිතලා අවශ්‍ය වෙන්නෙ Deodorant එකක්ද එහෙමත් නැත්තම් Antiperspirants එකක්ද කියලා තීරණය කරන්න ඕන.

 

2. හරිම Deodorant එක තෝරාගන්න

අපි හැමෝම දන්න අත්යට ආලේප කරන, නිතර වෙළඳ දැන්වීම් වල පෙන්වන Roll-On Deodorant වලට විතරක්ම නෙමෙයි Deodorant කියන්නෙ. Deodorant වර්ග කිහිපයක් තියෙනවා. ඒ අතරින් තමන්ට ගැළපෙන, පහසු එකක් තෝරාගන්න පුළුවන්.

  • Antiperspirant Deodorant –  කලින් විස්තර කරපු දහඩිය පිටවීම පාලනය කරන Deodorant.
  • Roll-On Deodorant – අපි නිතර දකින බෝතලයේ උඩ තියෙන බෝලයක් මඟින් ඇතුළේ තියෙන ද්‍රාවණය හම මත ආලේප කරන්න උදව්වෙන Deodorant වර්ගය. අත්යට ආලේපයට වඩාත්ම පහසු මේ වර්ගය.
  • Spray Deodorant – Perfume වගේම ශරීරයට spray කරන්න පුළුවන් Deodorant.
  • Stick Deodorant – Lipstick වගේ ආලේප කරන්න පුළුවන් stick එකක් විදිහට එන Deodorant.
  • Gel Deodorant – Gel එකක් ස්වභාවයෙන් තියෙන Deodorant.

 

3. ආලේප කරන ආකාරය සහ දිනපතා ආලේපය

Deodorant නිවැරදිව ආලේප කරන්න ඕන මෙන්න මෙහෙමයි.

  • දහඩිය දාන තැන්වල කලින් රැඳුණු දහඩිය තට්ටු, කුණු දුහුවිලි වගේම කලින් ආලේප කරපු Deodorant හොඳින් ඉවත්වෙන විදිහට සබන් හෝ වෙනත් පිරිසිඳුකාරකයක් යොදලා හොඳින් සෝදාගන්න.
  • සොදගත්ත හම හොඳින් වියලා ගන්න. වතුර රැඳුණු හම මතුපිට ආලේප කරන එකෙන් Deodorant එකේ හරිම ප්‍රතිඵලය ලැබෙන්නෙ නැහැ.
  • දාඩිය දාන තැන්වල Deodorant ආලේප කරන්න.
  • වේලෙන්න පොඩි වෙලාවක් දෙන්න.
  • මතක ඇතුව Deodorant එක යන හැම තැනකම අරගෙන යන්න.

ඒ වගේම Deodorant වර්ගයක් ආලේප කරනවානම් දිනපතාම ගමනක් යන්න කලින් ආලේප කරන්නම ඕන කියන එක වැරදි මතයක්. සමහර deodorant වර්ග තියෙනවා පැය 48ක් වගේ කාලයක් දක්වා ක්‍රියාත්මක වෙන. ඒ නිසා පාවිච්චි කරන deodorant වර්ගයේ ලේබලය හොඳින් කියවලා හැමදාම ගාන්න ඕනද කියන එක හරියටම දැනගෙන ඉන්න ඕන.

 

4. දාඩිය දාන ඕනම තැනක

අපි හැමෝම හිතන්නෙ Deodorant ආලේප කරන්න පුළුවන් අත්යට ඒ කියන්නෙ කිහිලි ප්‍රදේශයේ විතරයි කියලනෙ. එහෙම තමයි මාධ්‍ය වලින් වෙළඳ දැන්වීම් හරහා අපිට හුරු කරලා තියෙන්නෙ. හැබැයි Deodorant කියල කියන්නෙ දහඩිය පිටවෙන, දහඩිය රැඳෙන, දහඩිය දුඟද තියෙන ඕනම තැනක ආලේප කරන්න පුළුවන් ද්‍රව්‍යයක්. එහෙම ආලේප කළාට කිසිම වරදක් නැහැ වගේම හරිම ප්‍රතිඵලය ලබන්නම් දාඩිය දාන හැම තැනකම Deodorant ආලේප කරන්නම අවශ්‍යයි.

 

5. ඇඳුම් අඳින්න වෙලාව තියලා ආලේපය 

 

අපි හැමෝම කරන්නෙ උදේට වැඩට හෝ වෙනත් ගමනක් යන්න ඔන්න මෙන්න තියලා ඇඟ සෝදාගෙන, දුවගෙන ඇවිල්ලා Deodorant එක ගාලා, ඒ පිටින්ම ඉක්මනින් ඇඳුම් ඇඳගන්න එකනෙ. හැබැයි ඒක වැරදි පුරුද්දක්. කලිනුත් කිව්ව වගේ හොඳින් වියළුණු සම මත Deodorant ආලේප කරන්න ඕන වගේම ආලේප කරපු Deodorant වේලෙන්නත් ටිකක් වෙලා දෙන්න ඕන. එහෙම නැත්තම් Deodorant එක ඇඳුම් වල තැවරිලා හම මතුපිටින් ඉවත් වෙන්න පුළුවන් වගේම ඇඳපු ඇඳුම් වල සුදු පාට පැල්ලම් හිටලා කැතට පේන්නත් පුළුවන්.

 

6. නින්දට පෙර Deodorant

උදේ ගමනක් යන්න කලින් හැමෝම Deodorant ආලේප කළාට Deodorant ආලේපයේ හරිම ප්‍රතිඵල ලබන්න පුළුවන් රාත්‍රී නින්දට පෙර ආලේප කරන එකෙනුයි. මොකද Deodorant එකක් හොඳටම වැඩ කරන්නෙ දහඩිය දානවා අඩු, හමේ තෙත ගතිය අඩු වෙලාවල් වලටයි. ඒ නිසා දහඩිය අඩුවෙන් පිටවෙන රාත්‍රී කාලයට Deodorant ආලේප කිරීම මඟින් දහඩිය දුගඳ බොහෝ දුරට පාලනය කරන්න පුළුවන්. උදේ කළබලේට සුවඳ ගහගෙන යන්නනම් ආලේප කරන්න ඕන deodorant නෙමෙයි perfume.

 

7. Shave කරපු ගමන් ආලේපය

අනිත් එක තමයි අත්යට හෝ හම මතුපිට වෙනත් ඕනම ස්ථානයක් shave කරපු ගමන්ම Deodorant ආලේප කරන එක වැරදි පුරුද්දක්. Shave කරපු ගමන්ම හම මත ඇතිවෙන ඇසට නොපෙනෙන පුංචි හීරීම් තුවාල වියලෙන්න වගේම ඇරුණු රෝමකූප වැහෙන්නත් පුංචි වෙලාවක් අවශ්‍යයි. ඒ නිසා Shave කරපු සම මතුපිට හොඳින් තෙතමනය ඉවත් කරලා පුංචි වෙලාවකට පස්සෙ තමයි Deodorant ආලේප කරන්න ඕන. නැත්තම් කැසීම් වගේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *