අපි අපේ රටේ ජාතික වීරයන් හිතාමතා අමතක කරන ජාතියක්. රට ජාතිය ආගම වෙනුවෙන් තමන්ගේ මුළු මහත් ජීවිතයම කැප කරපු වීරයන්ව හාස්‍යයට ලක් කරන ජාතියක්. ඇතැම් අවස්ථාවල අපිට නිදහස ලැබුණට වඩා සුද්දන්ටම යටත් වෙලා ඉන්න තිබ්බනම් කියලා හිතන හීන මානයෙන් යුක්ත ජාතියක්. අපි අද කතා කරන්න යන්නේ ඒ වගේ ජාතියකට තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න නායකත්වය දීපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව. එතුමා තමයි බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර උතුමාණන්. අවුරුදු 37ක් වගේ කෙටි ජීවිත කාලයක් තුළ එතුමා සදානුස්මරණීය මෙහෙයක් සිංහලයන් වෙනුවෙන් සිද්ධ කළා. හැබැයි තමන් සිංහල කියලා කියන්න පවා පැකිළෙන ජාතියකට කලින් සඳහන් කරපු විදිහටම එතුමාව මතක නැහැ.
1. උපත
එතුමා උපත ලබන්නේ සාමාන්‍යයෙන් ක්‍රිස්තියානි බලකොටුවක් විදිහට සැලකෙන මීගමුවේදි. එතුමන්ගෙ පියාණන් වන්නේ වලිසිංහගේ හෙන්ද්‍රික් ද සිල්වා මහ මුදලිතුමා. මැණියන් වන්නේ ප්‍රේන්ද්‍රි මර්තනා ද සිල්වා ගුණසේකර. 1876 ජූලි නමවෙනිදා උපත ලැබූ එතුමාට දෙමව්පියන් විසින් ලබාදෙන නම වන්නේ එඩ්වඩ් ද සිල්වා වලිසිංහ. වලිසිංහ පවුල එම ප්‍රදේශයේ ව්‍යාපාර ආරම්භ කරමින් සාර්ථකත්වයට පත්වූ අතළොස්සක් බෞද්ධ පවුල් අතර ප්‍රමුඛස්ථානයක් ගෙන තිබුණා. දැඩි අභියෝග මධ්‍යයේ වුවත් බෞද්ධ කටයුතු සඳහා ඔවුන් කැප වුණා. එවකට සිටි සමකාලීන බලවත් පවුල්වල අයත් විවිධ ලාභ ප්‍රයෝජන තකා බුද්ධාගම අත් හැරීමට කටයුතු කළත්, වලිසිංහ පවුලේ සාමාජිකයන් ඒ කිසිවක් වෙනුවෙන් තම පාරම්පරික ආගම පාවා දීමට පෙළඹුණේ නෑ.
2. අධ්‍යාපනය
ඒ දවස්වල සෑම බෞද්ධ දරුවෙක්ටම අයනු ආයනු කියවන්නෙ ගමේ පන්සලේ හාමුදුරුවෝ. වලිසිංහ පවුලේ පන්සල විදිහට සැලකුණු මහහුණුපිටිය සුගතාරාමයේ වැඩ වසපු ධම්මරතන ලොකු හාමුදුරුවෝ විසින් එඩ්වඩ් ද සිල්වා දරුවාට අත්පොත තියෙනවා. ඉන් අනතුරුව ඔහු මූලික අධ්‍යාපනයත් ඒ පන්සල ආශ්‍රයෙන් ම ලබා ගන්නවා. නමුත් ඒ කාලයේදී මිෂනාරි පාසල් අධ්‍යාපනය ලබා ගැනීම දරුවකුගේ අනාගතය යහපත් වීමට හේතුවක් බව සියළු දෙනාම විශ්වාස කළ නිසා, පසුව මීගමුව ශාන්ත මේරී විද්‍යාලයෙන් සහ ඉන් අනතුරුව කොළඹ වෙස්ලි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු විදිහට එඩ්වඩ් ද සිල්වා වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තා. ඔහුගේ අරමුණ වුණේ නීතිය හදාරා නීතීඥයකු බවට පත්වීමයි.
3. ධර්මපාලතුමාගේ ආභාෂය
නීති විභාගය සඳහා ඉගෙන ගනිමින් සිටියදී වලිසිංහ තරුණයා අනගාරික ධර්මපාලතුමාගේ දේශන අසා සිටීමට ප්‍රිය කළා. අවසානයේදී ධර්මපාලතුමාගේ කටයුතු සඳහා තමන් දායකත්වය දැක්වීමට කැමති බව ඔහු එතුමාට ප්‍රකාශ කළා. ධර්මපාලතුමා ඒ සඳහා දෙමව්පියන්ගේ කැමැත්ත ලබා ගත යුතු යැයි ප්‍රකාශ කිරීම නිසා ඊට අවසර ඉල්ලා සිටියත්, දෙමව්පියන්ගේ අවසරය ලැබුණේ නැහැ. කෙසේවෙතත් පසුව වලිසිංහ තරුණයාගේ උදාර අරමුණ වෙනුවෙන් දෙමව්පියන් එකඟ වුණු අතර විද්‍යෝදය පිරිවෙනට නිතර යමින් එමින් ධර්මපාලතුමාගේ කටයුතු වලට වලිසිංහ තරුණයා විශාල දායකත්වයක් ලබා දුන්නා. විශේෂයෙන්ම ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද දේශන මාලාවල දේශකයකු ලෙස ඔහු කටයුතු කළා.
4. නම වෙනස් කරගැනීම
ධර්මපාලතුමා සමඟ වැඩ කටයුතු කිරීමේදී විදේශීය නාමයක් භාවිතා කිරීම නුසුදුසු බව වලිසිංහ තරුණයා වටහා ගත්තා. ඒ සඳහා තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස හිමියන්ගේ අවවාද අනුශාසනා ද ඔහුට ලැබුණා. ඒ අනුව වලිසිංහ හරිශ්චන්ද්‍ර ලෙස තම නම වෙනස් කරගත් මෙම තරුණයාව මහාබෝධි සංගමයේ සාමාජිකයෙකු ලෙස ධර්මපාල තුමා විසින් පත් කර ගනු ලැබුවා. බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරගනිමින් සිය ජීවිතය ශාසනය වෙනුවෙන් කැප කළ මෙම තරුණයා උදෙසා බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර යන නාමය උචිත බව හික්කඩුවේ සුමංගල හිමියන් විසින් සම්මත කරනු ලැබුවා.
5. අනුරාධපුර සටන
සිංහල බෞද්ධයාගේ ශුද්ධ වූ නගරය ලෙස සැලකෙන අනුරාධපුරය දිගු කාලයක් මුළුල්ලේ වනාන්තරගතව තිබී, පසුව කෙමෙන් කෙමෙන් හෙළිවෙමින් වන්දනාකරුවන් ගෙන් පිරී යමින් පැවතුණා .නමුත් අවාසනාවකට මෙන් මෙම නගරය තුළ අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම අන්‍ය ආගමිකයන්ගේද බලය වැඩි වුණා. ඇතැම් අවස්ථාවල අටමස්ථානයේ කොටස්වල පවා අන්‍යාගමිකයන් පදිංචිව සිටියා. එහිදී අටමස්ථානයේ හිමිවරුන් සහ බෞද්ධ ප්‍රභූවරුන් සංවිධානය කරමින් අනුරාධපුර ශුද්ධ නගරයේ බලය යළි සිංහල බෞද්ධයාට ලබාගැනීමට බ්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා නව වැඩ පිළිවෙළක් දියත් කරනු ලැබුවා.
6. එතුමාගේ ලේඛන
සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රවීණයෙකු වූ එතුමා “Sacred City of Anuradhapura” නමින් කුඩා පුස්තිකාවක් ලියා එංගලන්තයේ පස්වැනි ජෝර්ජ් රජු වෙත යැවීමට කටයුතු කළ අතර ඒ මගිනුත් ශුද්ධ වූ නගරයේ අයිතිය සිංහලයන් වෙත ලබාදිය යුතු බව තර්ක කරනු ලැබුවා. “අනුරාධපුර චෛත්‍යය විස්තරය, අනුරාධපුර ශුද්ධ නුවර විස්තරය, අනුරාධපුර පළාතේ විස්තරය, සිතියම් සහිත පුරාවිද්‍යාව, රුවන්වැලි විස්තරය, ථූපාරාම දාගැබ් විස්තරය, ජය ශ්‍රී මහා මහා බෝධි වර්ණනාව, සිංහල ජාතිය පටන් ගැනීම, දෙවන පෑතිස් නරේන්ද්‍ර චරිතය” යනු එතුමා අතින් ලියැවුණු පොත් අතරින් කීපයක් පමණයි
7. අකල් මරණය
කොළඹ විද්‍යෝදය පිරිවෙන හා සම්බන්ධව වැඩ කටයුතු සිදුකරමින් යන අතරතුර ඇතිවුණු හදිසි අසනීප තත්ත්වයක් නිසා ප්‍රතිකාර කරනු ලැබුවත් නිසි සුවයක් නොලැබීම නිසා අනගාරික ධර්මපාල තුමාගේ මව පදිංචිව සිටි කොල්ලූපිටියේ නිවසක් වෙත හරිශ්චන්ද්‍ර තුමාව ගෙනගොස් වැඩිදුරටත් උපස්ථාන කරනු ලැබුවා. නමුත් අවසානයේ දී මේ සියළු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් 1913 සැප්තැම්බර් 13 වෙනිදා වලිසිංහ හරිශ්චන්ද්‍ර ජාතික වීරයා ජාතියෙන් සමුගත්තා. ඔහුගේ මරණය ධර්මපාලතුමාට කොතරම් කම්පනයක් ගෙන දුන්නා ද කියතොත් “මම මියගොස් හරිශ්චන්ද්‍ර ජීවත් වුණා නම් යහපත්” යැයි එතුමාගේ මුවින් පිට වුණු බව කියවෙනවා.
මේ ජාතික වීරයා පිළිබඳව ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. හැබැයි අපි නම් මේ ආටිකල් එකට ගොඩක් කමෙන්ට්ස්, ෂෙයාර්ස් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව මේ ආටිකල් එකේ ආරම්භයේම සඳහන් වෙලා ඇති.
Leave a Reply