නැති වත්පොහොසත්කම් පෙන්වා මාට්ටු වූ ඉන්ස්ටා තරු

අපි සතුටින්, සැපෙන්, සනීපෙන් ඉන්නවා කියලා පෙන්වීමට අපි කොහොමත් ආසයි. ඒත් ඒකේ උපරිම ලෙවල් එකට ගිහින් තමුන් කන බොන, යන එන තැන් වල තියෙන ඉසුරුමත් ස්වභාවය ලෝකයට පෙන්වලා එයින් සතුටු වන පිරිසක් ඉන්නවා. ඉස්සර සෝෂල් මීඩියා නැති කාලේ ඒ අය තමුන්ගේ වත්පෝසත් කම් මාධ්‍ය හරහා ප්‍රචාරය කරගත්තා. දැන් එතන්ට සෝෂල් මීඩියා ඇවිල්ලා. ඉන්ස්ටග්‍රෑම් වල ටිකක් කැරකෙන කෙනෙක් නම්, බොහෝ උදවිය තමුන්ට තියෙන වත්පොහොසත්කම් වලට වඩා වැඩි යමක් ඉන්ස්ටා එකෙන් පෙන්වන්න ආස කරන එක අලුත් දෙයක් නෙමෙයි කියලා තේරෙනවා. ඒත් ඒක ගොඩක්ම ඕවර් ගියාම කැතයි. කැතයි වගේම වැඩේ මාට්ටු වුනාම සවුත්තුයි. ඉතින් අපි එහෙම චරිත කීපයක් ගැන බලමු.

 

1. ලිල් ටේ (Lil tay) 

ලිල් ටේ කියන්නේ 2018 දී අවුරුදු 9ක ගෑණු ළමයෙක්. ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වුන එයා තමන්ගෙ අඩ සොයුරා එක්ක එක්කහු වෙලා ඉන්ස්ටග්‍රෑම් වල බොහොම දක්ෂ රැප් ආටිස්ලා වගේ රැප් කරන්න ගත්තා. රැප් කරද්දි මේ ලිල් ටේ ආසියානු ආභාෂය සහිත කෙනෙක් වුනත් අප්‍රිකානු, අමරිකානු නියම රැපර්ස්ලා වගේම ඒ වැඩේ කරන්න උත්සාහ ගත්තා. ඒ වගේම ඒ රැප් හරහා ඇය වාසය කරන්නේ බොහොම හොඳ හෝටලවලය. යන්නේ එන්නේ සුපිරිම වාහනවලය. හොඳට සල්ලිය බාගෙ තියනවාය කියලා පෙන්වන්නත් ලිල් ටේ අමතක කළේ නැහැ. ඉතින් කලක් යද්දි මේ සිද්ධියේ ඇත්​ත අනාවරණය වුණා. ඇය අවුරුදු 9ක කුඩා ගැහැණු ළමයෙක් නිසා කවුරුත් සිද්ධිය ලොකුවට අරං ගියේ නැහැ. අවසානේ ලිල් ටේ ඇගේ ඇත්ත පියා සමග කැනඩාවේ වැන්කූවර් වලට වාසය කරන්න ගියා. එහේදිත් ලිල් ටේ ගේ බොරුව ගැන නිතර හතර අතින් ඇහෙන්නට වුන නිසා, ඇය පාසල් ගමන නවතා ගෙදර සිට පාසල් වැඩකටයුතු කරමින් දැනට බොහොම අප්‍රකට ජීවිතයක් ගත කරන බව තමයි ආරංචි වෙන්නේ.

 

2. සෑම් කුක් (Sam Cook) 

සෑම් කුක් බොහොම යෞවන කාලේදි තමයි ගේම් එක පටන් ගත්තේ. එයා අවසානේ වැරදිකාරයා වෙන්නේ ස්ටර්ලින් පවුම් ලක්ෂයකට වැඩි වංචාවකට. ඔහු ඒ වනවිටත් ෆෙරාරි කාර් එකේ යන, ප්ලයිමවුත් කියන ඉසුරුමත් ෆ්ලැට් එකේ ඉන්න, පවුම් දාස් ගණන් වියදම් කරලා නිවාඩු ගත කරන සැප ඩයල් එකක් විදිහට තමයි පෙන්නගෙන හිටියේ. සෑම් කුක් සහ පියා කොච්චර මානෙන් උදම් වෙලා හිටියද කියනවා නම් ඔහු විනිසුරුවරයෙක් විදිහට සැරසිලා ඒ විනිසුරු රාජකාරිය පවා අපහාසයට ලක් කරලා තිබුනා. ඔහුට එල්ල වූ චෝදනාව නම් නියමිත අංක තහඩුව නැතිව ඔහුගේ ෆෙරාරි රිය ධාවනය. ඒත් විනිසුරුවරුන්ට අපහාස කරපු නිසා ඔහුගේ දඬුවම් තවත් තද වුනා. ඔහු ධාවනය කරපු ෆෙරාරි රථය සැබෑ ෆෙරාරි රථයක් නොව, නවීකරණය කරන ලද ෆෝඩ් රථයක් බවටත් පසුව කරුණු හෙළි වුණා. 

 

3. බයිරන් ඩෙන්ටන් (Byron Denton) 

ඩෙන්ටන් නම් කළේ එක්ස්පෙරිමන්ට් එකක්. සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් විදිහට ලක්ෂරි ලයිෆ්ස්ටයිල් එක ඉන්ස්ටග්‍රෑම් රේටිංස් වැඩිවෙන්න කොච්චර හේතුවෙනවාද කියලා ඇත්තටම පෙන්වන්න ඩෙන්ටන්ට හැකිවුනා. ඩෙන්ටන් කළේ ඇත්තටම අනුකරණය. ඔහු ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට ඇඳුම් තියෙන ශෝරූම් වලට ගිහින් ඒ අලුත්ම ඇඳුම් මෝස්තර පොටෝ ගහගත්තා. ඉන් පස්සේ ඔහු ඒ විදිහට ඇඳලා පොටෝ ශූට් කළා. ඒ වගේම ඔහු ලක්ෂරි ජීවිතයක් ටිකෙන් ටික ඉන්ස්ටා හරහා පෙන්වන්න ගත්තා. ඔහුගේ ඇඳුම් විලාසිතා වලට ඉන්ස්ටා ලයික්ස් දසදහස් ගණනින් ලැබෙන්නට ගත්තා. ඒ එක්ක කොහොමත්  Vlogger කෙනෙක් වෙච්චි ඩෙන්ටන්, කොච්චර ලේසියෙන් ෆේක් එකක් රන් කරන්න පුළුවන්ද කියලා ලයිට්රූම් ආදී ඇප්ස් වලින් කරලාම පෙන්නුවා.

 

4. සඩෙල් යංග් (Sadelle Yeung)

 

සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සර්වරියක විදිහට සඩෙලුත් තමුන්ගේ ව්‍යායාම කරන පිංතූර සහ එදිනෙදා ජීවිතයේ සුන්දර පිංතූර ෂෙයාර් කළා. එයා වරක් ඉතාලියේ කියලා දමපු පොටෝවක් ඇයගේ නොවන වෙනත් විශාල පොටෝවකින් කපාගත් කොටසක් වුනා. ඉන් පස්සේ සඩෙල් දාන පොටෝ ගැන පිරිසක් විශේෂ අවධානයෙන් උන්නා. ඇය පළ කරන පොටෝ බොහොමයක් අන්තර්ජාලයෙන් සොයාගෙන නැවත ඉන්ස්ටාහි තමුන්ගේ වගේ පළ කරන ව්‍යාජ ඡායාරූප බව පිරිසක් සොයාගත්තා. මේක මාට්ටු වුනාට පස්සෙ සඩෙල් එයාගේ ඉන්ස්ටා එකේ තිබුන පොටෝ වලින් පොටෝ ගොඩක් ඩිලීට් කරා. ඒ ප්‍රමාණය සම්පූර්ණ දාපු පොටෝ වලින් 90%ක් පමණ වෙලා තිබුනා.

 

5. ජොනී මිචෙල් (Jonny Mitchell) 

ලව් අයිලන්ඩ් කියන ටීවි රියැලිටි ෂෝ එකක පෙනීසිටි ජොනී මිචෙල් ඒ හරහා වඩාත් ඉක්මනින් ජනප්‍රිය වුනා. ඉන් පස්සේ ඔහු ලක්ෂරි කාර් පදින, ෆස්ට් ක්ලාස් ගුවන් ගමන් යන, හොඳ තැන්වලින් කන බොන චරිතයක් බවට ඉන්ස්ටා හරහා ප්‍රසිද්ධ කරන්නට ගත්තා. ඒ වගේම ඔහු ටීවී වැඩසටහන් වලට පැමිණ ඔහුගේ ලක්ෂරි ජීවිතයේ පම්පෝරි කියවන්නත් ගත්තා. ජොනීගේ පිංතූර ගොඩක් ඔහුගේ කලින් පෙම්වතියගේ ට්‍රැවල් පොටෝ වුනා. ඒත් ඔහු ඒවා කදිමෙට එඩිට් කරලා ඉදිරිපත් කරන්න දක්ෂ වුනා. ඔහු ලොවට පෙන්වූ බෙන්ස් කාරය ඇත්තටම ඔහුගේ පියාගේ එකක් වුනා. පෙන්නපු ලක්ෂරි  අපාර්ට්මන්ට් Airbnb වල ඇඩ් එකට දාන පිංතූර වුනා. ඇතැම් ප්‍රේක්ෂකයින් මේ වැරදි හොයන්න කොච්චර උනන්දු වුනාද කියනවා නම් ජොනී පැළඳගෙන ආපු අත් ඔරලෝසුවත් ෆේක් එකක් බව ඔවුන් සොයාගෙන තිබුණා.

 

6. ෂෝන් කින්ග්ස්ටන් (Sean Kingston)

ෂෝන් පෙන්නුවේ රැපර් කෙනෙක් විදිහට ඇඩ් එකක්. ඔහු විශාල රත්තරන් මාල දාගෙන, රන් ඔරලෝසු බැඳගෙන පෙනී සිටින්නට ආසා කළා. ඒ වගේම ප්‍රකට රැපර්ස්ලා වගේ ඔහු ගෑණු ළමයි ගොඩක් වටකරගෙන ඉන්න පෙටෝත් ඔහුගේ සමාජ ජාල හරහා බෙදාහැරියා. සුඛෝපභෝගී යාන වාහන සහ රන් ආභරණ පැළඳගෙන ධනවත් විදිහට පෙනී හිටියත් ව්‍යාජ චෙක්පත්වලින් ගෙවීම් කිරීම, ගෙවීම් පැහැර හැරීම වගේ නොයෙකුත් චෝදනාවලට ෂෝන් කින්ග්ස්ටන් ලක්වුණා. කාලයක් අතිශය ජනප්‍රිය සංගීත තරුවක්ව හිටි ඔහුගේ ජනප්‍රියත්වයත් කාලයත් එක්ක නැත්තටම නැති වෙලා ගියා.

 

7. ඒස් පවුල (The Ace Family) 

2018 මේ ජෝඩුව අලංකාර පඩිපෙළ, අලංකාර භූමි දර්ශන සහ සුන්දර නිමාවෙන් යුතු දැවැන්ත නිවසක් ඔවුන්ගේ බව පෙන්වමින් පෝස්ට් දැම්මා. ඒ නිවසට ස්විමින් පූල් එකක් වගේම විශාල ක්‍රීඩාංගනයකුත් ඇතුළත් වුනා. ඒත් ඒවා බලපු රසිකයෝ මේ තැන මොකද්ද, මේ නිවසේ ඇත්තම අයිතිකාරයෝ කවුද කියලා හොයාබලන්න ගත්තා. ඒ එක්ක ඒස් ෆැමිලි එකේ පොටෝ, වීඩියෝ කෙරුවාව බොරුවක් කියලා ලෝකයට අනාවරණය වුනා.

 

මිනිස්සු මෙහෙම බොරු වත් පෝසත්කම් පෙන්වීම ඇමරිකාවේත් දකින්න තියෙන බොහොම සුලබ දෙයක්. මේ කොරෝනා උවදුරත් එක්ක ෆේක් අයගේ විතරක් නෙමෙයි, ඇත්තම සෙලිබ්ස්ලගෙත් තිබෙන ඔපය අඩු වුන බව ජාත්‍යන්තර පුවත් වලින් වාර්තා කරලා තියනවා. මිලියනපතියෙක් වීම දියුණු රටවල පවා දැන් අමාරු වැඩක්. ඒත් මොනාහරි බොරුවක් කරලා, පොටෝ ඇප් කීපයක පිහිටෙන් ධනවත් බව පෙන්වන එක ලොකු අමාරු වැඩක් නෙමෙයි. ඉතින් ඒ කොහොම වුනත් බොරු කාරයින්ගේ බොරු වලට ලෝකයේ හැමදාම වැඩි ආයුෂ නැහැ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *