වැඩ කළමනාකරණය පහසු කරගන්න වටින කැලැන්ඩර් ඇප්ස් කීපයක්

ඉස්සර අපි ඩිජිටල් නොවුණු කාලෙදී වැඩ කටයුතු කළමනාකරණය කරගන්න පාවිච්චි කළේ අර ලොකුවට කොටු වල මාසේ අංක දාලා තිබුණු කැලැන්ඩර්, දිනපොත්, ප්ලෑනර්ස් වගේ එව්වනේ. හැබැයි දැන් ඩිජිටල් වෙලා ඉන්න කාලේ ඕක කරගන්න පුළුවන් කැලැන්ඩර් ඇප් එකකින්. මේ ගොඩක් කැලැන්ඩර් ඇප්ස් වල තියෙන විශේෂත්වය වෙන්නේ, ඒවා අපි පාවිච්චි කරන ඩිවයිස් හැම එකක්ම හරහා sync වීම. වෙනත් විදියකට කිවුවොත්, ස්මාට්ෆෝන් එකේ තියෙන කැලැන්ඩරේත්, කම්පියුටරේ තියෙන කැලැන්ඩරේත් එකටම තමයි වැඩ කරන්නේ. කම්පියුටරේ කැලැන්ඩර් එකේ ඉවෙන්ට් එකක් ඇඩ් කළොත්, ඒක ස්මාට්ෆෝන් එකේ කැලැන්ඩර් එකේත් අප්ඩේට් වෙනවා. හැබැයි මේ නවීන කැලැන්ඩර් ඇප්ස් වලින් කරන්න පුළුවන් දේවල් එතනින් නතර වෙන්නෙ නෑ.

 

හරි. දැන් මේ කැලැන්ඩර් ඇප්ස් වල කොයි තරම් ෆීචර්ස් තියෙනවද කියන එක අපි දැනගත්තනේ. එහෙමනම් තියෙන්නේ පාවිච්චියට හොඳ කැලැන්ඩර් ඇප් එකක් තෝරගන්න එක. එහෙමනම් පටන් ගමු.

 

1. Google Calendar

සාමාන්‍යයෙන් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට්ෆෝන් වලට කොහොමත් එන කැලැන්ඩර් ඇප් එක තමයි ගූග්ල් කැලැන්ඩර්. හැබැයි නිකං දෙන ගූග්ල් කැලැන්ඩර් එකේ සම්පූර්ණ ෆීචර්ස් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ නැති තරම්. ඉවෙන්ට්ස්, රිමයින්ඩර්ස් වගේ දේවල් වගේම ගෝල්ස් පවා ඇඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත්, දිනපතාම ජිම් ගිහිල්ලා ඇඟ හදාගන්න ගෝල් එකක් ඇඩ් කළොත්, දවසේ එකම වෙලාවකට ඒ වැඩේට කාලය වෙන් කරන්න කියලා ගූග්ල් කැලැන්ඩර් එකෙන් අපිට මතක් කරනවා. ඔන්න ඔය වගේ. අනික් කාරණාව, ජීමේල්, ගූග්ල් ඩොක්ස් වගේ ගූග්ල් ප්‍රඩක්ට්ස් පාවිච්චි කරනවා නම්, ඒවා එක්කත් ගූග්ල් කැලැන්ඩර් එක සහයෝගයෙන් වැඩ කරනවා.

 

2. Any.do Calendar

Any.do කියන්නේ අර වැඩ ලැයිස්තු එහෙම හදන්න පුළුවන් ටු ඩූ ලිස්ට් ඇප් එකක් කියලා නේද අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ? ඒක හරි. ඒකේ කැලැන්ඩර් ඇප් එක තමයි මේ. එතකොට විශේෂත්වය වෙන්නේ, මේ Any.do Calendar ඇප් එකට පුළුවන් Any.Do To-Do List ඇප් එකත් එක්ක ඒකාබද්ධ වෙලා සේවාවන් ලබාදෙන්න. ඒ කියන්නේ වැඩ කළමනාකරණය තවත් පහසුයි. ඒ ඇරෙන්න මේ කැලන්ඩර් ඇප් එක භාවිතය බොහොම පහසුයි, පරිශීලක අතුරු මුහුණත සරලයි. අනික මේකත් පාවිච්චි කරන්න කීයක් වත් ගෙවන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

 

3. Calendar

ඔව්. මේකට වෙන නම් මොකුත් නෑ. නිකම්ම කැලැන්ඩරේ. සාමාන්‍යයෙන් ගත්තහම ලිස්ට් එකේ තියෙන අනික් කැලැන්ඩර් ඇප්ස් වලට වඩා මේක අලුත්. හැබැයි ඒ වුණාට මේ ඇප් එකෙන් බොහොම සුවිශේෂී සේවාවන් රැසක් පරිශීලකයාට ලබාදෙනවා කියලා තමයි මේක නිර්මාණය කරපු අය කියන්නේ. විශේෂයෙන්ම මේක ඉන්ටෙලිජන්ට්‍ ඇප් එකක් කියලා තමයි ඒ අය කියන්නේ. එහෙම කියන්නේ, මේ ඇප් එකට අපේ කන්ටැක්ට්ස්, ෂෙඩ්‍යුල්ස් සහ ටාස්ක්ස් ලබා ගත්තට පස්සේ ක්‍රමයෙන් අපි ගැන ඉගෙන ගන්න පුළුවන් වෙන නිසාලු. ඒ වගේම අපේ කැලැන්ඩර් එකේ නිදහස් වෙලා තියෙන කාලවෙලාවන් වලට මීටින්ග්ස්, වැඩ කටයුතු එහෙම ගාණට ෂෙඩ්‍යුල් කරගන්න මේ ඇප් එකෙන් උදවු කරනවලු. අනික, ගූග්ල් කැලැන්ඩර්, ඇප්ල් කැලැන්ඩර් වගේ අනික් කැලැන්ඩර් ඇප්ස් එක්ක sync up වෙන්නත් මේකට පුලුවන්. ඒ කියන්නේ මේ ඇප් එක හරහා අපිට අනික් කැලැන්ඩර් කළමනාකරණය කරගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මේ ඇප් එකෙන් අපේ මීටින්ස් ගැන එහෙම විශ්ලේෂණයකුත් ලබාදෙනවා. ඒකෙන් අපිට අපේ කාල කළමනාකරණය ගැන අදහසක් ගන්න වගේම කාල කළමනාකරණය වැඩි දියුණු කරගන්නත් පුළුවන් වෙනවා.

 

4. Business Calendar 2

විශේෂයෙන්ම කාර්යාලීය සහ වෘත්තිය කටයුතු වලටම ඩිසයින් කරපු කැලැන්ඩර් ඇප් එකක් හොයන කෙනෙක්ට මේ Business Calendar 2 එක ගැලපෙනවා කියලා තමයි මේකේ නිර්මාණකරුවෝ කියන්නේ. විශේෂයෙන්ම අනික් කැලැන්ඩර් ඇප්ස් වල වගේම මාසේ, සතිය සහ දින විදියට ඩිස්ප්ලේ මෝඩ් එක හදාගෙන තමන්ගේ වැඩ කළමනාකරණය කරගන්න පුළුවන් වගේම, මේ කැලැන්ඩර් එකට සම්බන්ධ විජට් 7 කින් එකක් හෝ කීපයක් අපේ ස්මාට්ෆෝන් එකේ හරි ටැබ් එකේ හරි හෝම්ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්නත් පුළුවන්. එතකොට අපි මේකට එකතු කරන ටාස්ක් වලට හරි ඉවෙන්ට්ස් වලට හරි ඩොකියුමන්ට්ස්, ෆොටෝස්, වොයිස් රෙකෝර්ඩින්ග්ස් එහෙම අමුණන්නත් පුළුවන්. එතකොට කාලගුණේ ගැන දැනගන්න, නිවාඩු දවස් අනං මනං සෙට් කරගන්න වගේ එව්වලටත් මේ කැලැන්ඩර් ඇප් එක ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. 

 

5. Outlook Calendar

දැන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහ වෙනත් මයික්‍රසොෆ්ට් නිෂ්පාදන පාවිච්චි කරන අතිවිශාල ජනතාවක් ඉන්නවා කියන එක අපිට අත අරින්න බැහැනේ. විශේෂයෙන්ම මුදල් ගෙවලා මයික්‍රසොෆ්ට් ඔෆිස් 365 ගන්න කෙනෙක්ට අවුට්ලුක් ඊමේල් සඳහා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම, මයික්‍රසොෆ්ට් ටීම්ස් සහ අවුට්ලුක් කැලැන්ඩර් එකේ සම්පූර්ණ හැකියාවන් පාවිච්චි කරන්නත් පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ඔෆිස් එකේ මයික්‍රසොෆ්ට් ඔෆිස් 365, අවුට්ලුක් සහ ටීම්ස් පාවිච්චි කරනවා නම්, තමන්ගේ වැඩ කළමනාකරණය කරගන්න අවුට්ලුක් කැලැන්ඩර් එක පාවිච්චි කරන එක වඩාත් සාර්ථකයි. මේ ඔස්සේ ඉවෙන්ට්ස් සහ රිමයින්ඩර්ස් ඇඩ් කරන්න වගේම, මීටින් රික්වෙස්ට්ස් කළමනාකරණය කරගන්න සහ තවත් බොහෝමයක් වැඩ කටයුතු කරගන්න ඉඩ ලැබෙනවා. ඕන නම් අපිට කැලැන්ඩර් එක අනෙක් ටීම් එකේ අයත් එක්ක ෂෙයාර් කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට මීටින් එකක් දාන්න ඕන නම්, අපිට ෆ්‍රී වෙලාවන් මොනවද කියලා අපේ කැලැන්ඩර් එකෙන් බලලා, ෆ්‍රී තියෙන ටයිම් ස්ලොට් එකකට මීටින් එක රික්වෙස්ට් කරන්න පුළුවන්. අපිට ඒක ඇක්සෙප්ට් කරන්න හෝ ඩික්ලයින් කරන්න පුළුවන්. හරිම ලේසියි.

 

6. Woven

කාර්ය බහුල වෘත්තිකයන්ට ගැලපෙනම ඇප් එක විදියට නිර්මාපකයෝ විසින් හඳුන්වලා දෙන මේ Woven ඇප් එක ඒ තරම් ගොඩක් දෙනෙක් දන්න කියන ඇප් එකක් නෙවෙයි. හැබැයි මේ ඇප් එක අපිට ලේසියෙන් හම්බුවෙන බේසික් කැලැන්ඩර් ඇප්ස් වලට වඩා සෑහෙන්න ෆීචර්ස් තියෙන සෑහෙන්න දියුණු ඇප් එකක් කියන එකනම් කියන්නම වෙනවා. මේකේ තියෙන ස්මාට් ටෙම්ප්ලේට්ස් විශේෂාංගය පාවිච්චි කරලා, අපිට වැඩ ෂෙඩ්‍යුල් කරගන්න එක වඩාත් පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට කියමු ලන්ච් මීටින්ග්ස් කියන්නේ අපේ වෘත්තිය ජීවිතයේ නිතර නිතර වෙන දෙයක් කියලා. එතකොට අපි පුරුද්දක් විදියට යන රෙස්ටුරන්ට් එකක් එහෙම තියෙනවා නම්, ඊලඟ ලන්ච් මීටින් එක ෂෙඩ්‍යුල් කරන්න යනකොට මේ ඇප් එකෙන් අර රෙස්ටුරන්ට් ලොකේෂන් එක සජෙස් කානවා. ඒ වගේම මේක සූම් ඇප් එකත් එක්කත් එකතු වෙලා වැඩ කරන්න හැකියාවෙන් යුක්ත නිසා, වර්චුවල් මීටින්ග්ස් එහෙමත් ලේසියෙන් ෂෙඩ්‍යුල් කරගන්න පුළුවන්. හැබැයි මේක ඇපල් වලට, වින්ඩෝස් වලට සහ මැක් වලට තිබ්බට, තාම ඇන්ඩ්‍රොයිඩ් වලට නම් ඇවිත් නෑ.

 

7. Meetingbird

සාමාන්‍යයෙන් මීටින් එකක් ගන්න ගියහම තියෙන අමාරුම දේ වෙන්නේ, හැමෝටම හරියට සෙට් වෙන වෙලාවක් වෙන් කරගන්න එකනේ. විශේෂයෙන්ම ඊමේල්ස් වලින් ඕක කරන්න ගියහම, හරියනම වෙලාව සෙට් කරගන්න ඊමේල්ස් කීයක් එහාට මෙහාට කරකවන්න ඕනද කියලා එක්ස්පීරියන්ස් ඇති. දැන් දැන් ගොඩක් කැලැන්ඩර් ඇප්ස් උත්සාහ කරනවා ස්මාට් ෂෙඩ්‍යුලින්, කැලැන්ඩර් ෂෙයාරින් වගේ පහසුකම් එක්ක ඔය ප්‍රශ්නේ මග හරවා ගන්න. එතකොට Meetingbird එකත් එක්ක වැඩ කරනකොටත් ඔය ප්‍රශ්නේ එන්නෙ නෑ. මේ Meetingbird ඔන්ලයින් කැලැන්ඩර් එකට පුළුවන් අවුට්ලුක් කැලැන්ඩර් එකත් එක්කයි ගූග්ල් කැලැන්ඩර් එකත් එක්කයි sync වෙලා අප්ඩේට් වෙන්න. එතකොට සූම් එක්ක වගේම Zapier, Slack, Trello වගේ අනික් මැනේජ්මන්ට් ඇප්ස් එක්කත් බොහොම පහසුවෙන් sync වෙලා වැඩ කරන්න පුළුවන් මේකට. හැබැයි මේක ඇප් එකක් නෙවෙයි. වෙබ් ප්ලැට්‍ෆෝම් එකක්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *