නින්ද මිනිසාගේ පරම සම්පත වේය කියලා කවුරුහරි කියලා තියෙනවද? එහෙම කියලා තිබුණත් නැතත් ඇත්තටම නින්දේ වටිනාකම දන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු තමයි. නිකමට හිතන්න, දවස පුරාම කය වෙහෙසලා හරි මොළය වෙහෙසලා හරි වැඩ කරලා ඇවිත්, කාලා බීලා වොෂ් දාලා, අලුත් ඇඳ ඇතිරිලි දාපු සුවපහසු ඇඳක් උඩ වැතිරෙන කොට දැනෙන සනීපය ගැන. ආධ්‍යාත්මික සුවය නෙහ්? කොහොම හරි, ඕක වැඩි හොඳින් විඳින්න නම් තමන්ට හරියනම ඇඳක් සහ මෙට්ටයක්, කොට්ට එහෙම තියෙන්න ඕන. අන්න ඒවා මිලදී ගන්න යනකොට හිතන්න ඕන කරුණු ගැන පොඩි උපදෙස් ටිකක් තමයි මේ.
1. හව් ලෝන්ග්? හව් ලෝන්ග්??
හව් ලෝන්ග් කිව්වට ඇත්තටම ඇඳක් ගන්නකොට දිග වගේම පළල ගැනත් හිතන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඇඳන් හදන්නේ දිග ප්‍රමාණ කීපයකටනේ. එතකොට තමන්ගේ උසට (දිගට) ගාණටම සෙට් වෙන ඇඳක් ගන්න එක අප්සට්. ඊට අඩු දිගක ඇඳක් ගන්න එකත් අප්සට්. එතකොට එක්කෝ කකුල් එළියේ, නැත්තං කකුල් ඇඳ විට්ටමේ වදිනවා. අන්න ඒ නිසා තමන්ගේ උසට වඩා ටිකක් වැඩි දිගට ඇඳක් තමයි ගන්න ඕන. ඊලඟට පළල. දැන් ඇඳන් එන්නේ Single size, Twin size, Double size, Full size, Queen size, King size වගේ නම් වලින් එන සයිස් වලට. එතකොට හිතන්න ඕන තමන් නිදාගන්නේ කාත් එක්කද, දෙන්නගේ හරි එක්කෙනාගේ හරි නිදාගන්න පුරුදු එක්ක කොයි තරම් පළල ඇඳක් ඕනද සහ ඇඳ තියෙන කාමරේ සයිස් එක අනුව කොයි ප්‍රමාණෙක ඇඳක් හිරකරන්න පුළුවන්ද කියන එක. ඔය ඔක්කොම හිතලා ඇඳේ සයිස් එක තීරණේ කරන්න ඕන.
2. තනියම එපා
මේක වැදගත් වෙන්නේ දෙන්නා දෙමාල්ලෝ වෙච්ච අයට. එහෙම අය ඇඳක් මිලදී ගන්න බලන්න යනවා නම් එකටම යන එක තමයි හොඳ. ඇයි එහෙම කියන්නේ? සරලයි. ඇඳේ නිදාගන්නේ දෙන්නම නිසා. එතකොට දෙන්නටම ඇඳ සුවපහසු වෙන්න ඕන. දෙන්නටම හිතට අල්ලන්න ඕන. ඒ නිසා ඇඳ ගන්න නම් දෙන්නම යන්න ඕන.
3. ඇලවෙලත් බලන්න
දැන් ඇඳක් බලන්න ගිහිල්ලා ගන්නකොට නිකං ඇහේ සෝදිසියට බලලා හරියනවද? නෑ. මොකද ඇඳක් කියන්නේ ලස්සනට කාමරේ තියලා තියෙන එකක් නෙවෙයි, නිදාගන්න එකක්. ඒ නිසා ඇඳක් ගන්න ගියහම පොඩ්ඩක් ඇඳේ ඇලවෙලා බලන්න ඕන තමන්ට කොයි තරම් සුවපහසුවක් දැනෙනවද කියලා. ඇලවෙලා එහෙම්මම නිදාගන්න එපා. හැබැයි ඇඳේ මෙට්ටේ කොයි තරම් සුවපහසුද කියන එක දැනගන්න වෙන්නේ ඇලවෙලාම තමයි. ඒ වගේම අර උඩින් කියපු තමන්ට හරියන ඇඳේ පළල මොකද්ද කියන එකත් ප්‍රායෝගිකව තේරුම් ගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඒ කියන්නේ ඇඳේ වැතිරුණහම තමයි තමන්ට තේරෙන්නේ ඇඳේ පළල කොයි තරම් තමන්ට ප්‍රමාණවත්ද කියලා.
ඒ එක්කම මතක තියාගන්න, ඇඳට දාලා තියෙන මෙට්‍රස් එකමද ඇත්තටම ඇඳත් එක්ක ලැබෙන්නේ කියන එකත් අහලා දැනගන්න.
4. හොඳට උඩ පනින්න ඇහැකිද?
මේක මේ විහිළුවට කියපු දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඇඳක් ගන්නකොට ඒ ඇඳේ සවිශක්තිය ගැන හිතන්න ඕන. තමන්ගේ ස්කන්ධයට ඇඳ ඔරොත්තු දෙනවද? එතකොට වයිෆ් හරි හස්බන්ඩ් එක්ක හරි නිදාගන්න ඇඳ ඔරොත්තු දෙනවද? ඒ විතරක් නෙවෙයි, ඩිස්ටි ඩිඩිං වලට පවා ඇඳ ඔරොත්තු දෙනවද? මේවා ඇත්තටම හිතන්න ඕන ප්‍රායෝගික කරුණු. හැබැයි ඉතින් එව්වා බලන්න ෂොප් එකේ තියෙන ඇඳකට පැනලා උඩ පැනලා බලන්න යන්න එපා. ඇඳ හදලා තියෙන සැකිල්ල, අමුද්‍රව්‍ය ගැන බලන්න. ඒවා ෂෝරූම් එකේ අයට කිව්වහම කියයි, නැතිනම් පෙන්නයි.
සාමාන්‍යයෙන් මෙතනදී සලකලා බලන්න ඕන, ඇඳට බර දරන්න කොයි තරම් සපෝට් එකක් ෆ්‍රේම් එකෙන් තියෙනවද කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, ලී පටි ඈතින් තියෙන ඇඳකට වඩා ලඟ ලඟ ලී පටි ගහලා තියෙන ඇඳක් හොඳයි.
5. ඇඳේ හැඩේ
නෑ නෑ මේ කියන්නේ එක එක විදියේ හැඩතල වලට හදපු ඇඳන් ගැන නෙවෙයි. හැබැයි ඇඳක් ගන්න ගියහම හිතන්න ඕන තමන්ගේ අනෙකුත් අවශ්‍යතා වලට ගැලපෙන්නේ මොන වගේ ඇඳක්ද කියලා. හරි, උදාහරණ ගමු. සාමාන්‍යයෙන් ඇඳේ දඟලන, පෙරළෙන, ඇඳෙන් වැටෙන කෙනෙක්ට වඩා උස ඇඳක් සෙට් වෙන එකක් නෑ. එතකොට ඔය උඩින් එල්ලන මදුරු දැල් දාලා නිදාගන්න බැරි ඈයෝ ඉන්නවනේ. හැබැයි මදුරුවොත් කනවා නම්, එහෙම නැතිනම් වයිෆ්ට මදුරු දැල ඕනම නං වෙන මොකක් හරි ඔප්ෂන් එකකට යන්න වෙනවා. අර වියන් ඇඳ කියන්නේ එහෙම ඔප්ෂන් එකක්. එතකොට දැන් අලුත් පන්නේ ඇඳන් තියෙනවා, ඇඳ යට ලාච්චු, කබඩ් හයි කරපු. ඕන නම් ඒ වල බෙඩ්ෂීට්, කොට්ට උර එහෙම හෝදලා, මැදලා අඩුක් කරලා තියන්න පුළුවන්.
ඉතින් ඔන්න ඔය වගේ තමන්ගේ එක එක අවශ්‍යතාවයන්ට සෙට් වෙන තාලේ ඇඳන් ගැනත් හිතලා බලන්න.
6. මෙට්ටේ!
ඔව්, ඇඳක් අරගෙන නිකම්ම ඇඳේ නිදාගන්න බැහැනේ. එක්කෝ ඇඳත් එක්ක එන, එහෙම නැතිනම් අපි වෙනම සල්ලි දීලා ගන්න ඕන මෙට්ටේ ගැනත් හිතන්න වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් අඩුම ගාණට ගන්න තියෙන්නේ කොහු මෙට්ට වුණත්, මේ කොහු මෙට්ට ඒ තරම් සුවපහසු නෑ. එතනින් එහාට එක එක ගණන් වලට විවිධ සුවපහසු කම් යටතේ එන මෙට්ට තියෙනවා. සිංගල් ලේයර් ඩබල් ලේයර් වගේ විවිධත්වයන් තියෙනවා. ස්ප්‍රින්ග් ඇතුළේ හයි කරපු මෙට්ට තියෙනවා. මේවා ඕපන් කොයිල් මෙට්ට වගේම පොකට් ස්ප්‍රින්ග් මෙට්ට විදියටත් ගන්න තියෙනවා. පොකට් ස්ප්‍රින්ග් මෙට්ට වඩාත් පහසුයි. එතකොට වඩාත් සුවපහසු, හැබැයි ටිකක් ගාණෙන් වැඩි ෆෝම් මෙට්ට තියෙනවා. හැබැයි එකක්. ඔය නිතර කොන්දේ අමාරු එහෙම හැදෙන අය තමන්ට ගැලපෙනම මෙට්ට වර්ගේ මොකද්ද කියලා තමන්ගේ තෙරපිස්ට් ගෙන් අහලා ඇඳන් කඩේට යන එක හොඳයි.
7. කොට්ට එපාද?
හරි, ඇඳන් ගැනයි මෙට්ට ගැනයි කියපු එකේ කොට්ට අත අරින්න බැහැනේ. කොට්ටත් විවිධ මිල ගණන් යටතේ, විවිධ ප්‍රමාණයන්ගෙන්, විවිධ ආකාරයෙන් තියෙනවා. අපිට ඕන නම් සාමාන්‍ය පුළුන් පුරවපු කොට්ටයක් ගන්නත් පුළුවන්. වඩාත් සුවපහසු පිහාටු පුරවපු කොට්ට ගන්නත් පුලුවන්. එතකොට ඉතාම සුවපහසු ෆෝම් කොට්ට ගන්නත් පුළුවන්. පොලි ෆයිබර් කොට්ට ගන්නත් පුළුවන්. දැන් මේ කොට්ට ගන්නකොටත් මිල ගණන් වලට අමතරව ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ගැන හිතන්න වෙනවා. එකක් තමයි කොට්ටේ ඇතුළට පුරවලා තියෙන්නේ මොනවද නැතිනම් කොට්ටේ හදලා තියෙන්නේ මොනවැයින්ද කියන එක. දෙවෙනියට, කොට්ටේ සයිස් එක මොකද්ද කියන එක. ඔව්, විවිධ සයිස් වල කොට්ට තියෙනවා. එතකොට තමන්ට සුවපහසුවට නිදාගන්න නම් ප්‍රමාණෙන් වුවමනාවට වඩා පොඩි කොට්ටයක් හරියන්නෙ නෑ වගේම ප්‍රමාණයෙන් වුවමනාවට වඩා විශාල කොට්ටයක් හරියන්නෙත් නෑ. මේ කොට්ටේ ප්‍රමාණය නම් අතට ගත්තහම තේරෙනවා.
Leave a Reply