කල් තියාගන්න පුළුවන් විදියට මස් මාළු හදමු

රට ඉන්න කෙනෙකුට කෑම යවන්න, ට්‍රිප් එකක් යනකොට වගේ අවස්ථාවලදි අපිට කෑම බීම හදාගන්න එක සමහර වෙලාවට ගැටළුවක් වෙනවා. ඔන්න අද අපි ඒකට විසඳුමක් විදියට මස් මාළු කල් තියාගන්න පුළුවන් ක්‍රම ගොඩක් කියලා දෙන්නයි ආවේ. මේක නම් ඔයාලට ගොඩක්ම ගොඩක් වැදගත් දෙයක් කියලා හිතනවා. මේ හදාගන්න හැමදේම බෙදාගන්න වියළි හැන්දක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. වතුර කලවම් උනොත් කල් තියාගන්න බෑ කියල දන්නවනෙ නේද? 

 

1. මාළු ජාඩි දැමීම

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කෙලවල්ලා හෝ බල මාළු කූරි 2 (කිලෝ 2)
  2. දිය ලුණු ග්‍රෑම් 500
  3. ගොරකා ග්‍රෑම් 175

 

  • මාළුවා හොඳින් ලුණු වතුරෙන් සෝදාගන්න. සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න එපා. ලුණු වතුරෙන්ම පිරිසිදු කරගන්න. වතුර බේරෙන්න කට පහලට හිටින සේ එල්ලා තබන්න.
  • දියලුණු කැට හොඳට කුඩු කරගන්න. මාළු අඟලක වගේ ඝණකම් පෙති කපලා ලුණු හොඳට තවරගන්න. 
  • තෙත නැතිවෙන්න අව්වේ හොඳට වේලාගත් මැටි මුට්ටියක අඩියට ලුණු ගොරකා තට්ටුවක් දාලා මාළු පෙති අසුරගන්න. ඊළඟට තව ලුණු හා ගොරකා තට්ටුවක් දාලා ආයෙ මාළු පෙති අතුරගන්න. 
  • මේ වගේ තට්ටු කිහිපයක් දාලා උඩින් ගොරකා හා ලුණු දාලා රෙදි කෑල්ලකින් හොඳට වහලා දර ලිප ආසන්නයේ එල්ලලා තියන්න. 

 

 

2. පෝර්ක් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. විනාකිරි දමා තම්බාගත් උෟරු මස් කිලෝ 1ක්
  2. අබ ග්‍රෑම් 50
  3. සුදුළූණු බික් 20
  4. වියළි මිරිස් කරල් 6ක් 7ක් පමණ
  5. අමුමිරිස් කරල් 20ක් සහ වෙනම අමුමිරිස් ග්‍රෑම් 100ක්
  6. විනාකිරි බෝතල් 1/4
  7. සීනි මේස හැඳි 1
  8. කහකුඩු ස්වල්පයක්
  9. ඉඟුරු පෙති කිහිපයක්
  10. කෙබාබ් ස්ටික්ස්

 

  • මස් ටික පෙති කපාගන්න. වියළි මිරිස් අරගෙන කහ, අබ එක්ක විනාකිරෙන් අඹරාගන්න. 
  • කෙබාබ් ස්ටික් වලට අමු මිරිස් කරල් 2, සුදුළූණු බික් 2, ඉඟුරු පෙති 2 බැඟින් ගසාගන්න. දැන් අඹරාගත් විනාකිරි මිශ්‍රණයට සීනි දාලා කලවම් කරලා මස් පෙති වලට දාලා හොඳට තවරගන්න. 
  • මස් පෙති කෙබාබ් ස්ටික් වල පිළිවෙලකට ගසාගන්න. දැන් මැටි භාජනයකට අමු මිරිස් තට්ටුවක් දාලා මස් දවටපු කෙබාබ් ස්ටික් තට්ටුවක් දාගන්න. නැවත අමු මිරිස් හා කෙබාබ් තට්ටුවක් දාගෙන උඩින් ඉතිරි අබ ඉස්ම වක්කරගෙන හොඳට වහලා දවස් 2කින් කෑමට ගන්න. 

 

3. මාළු අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මාළු ග්‍රෑම් 500
  2. මාළුමිරිස් ග්‍රෑම් 500
  3. වම්බටු ග්‍රෑම් 500
  4. රතුළූණු ග්‍රෑම් 250
  5. අබ ස්වල්පයක්
  6. අමු ඉඟුරු කෑලි 2
  7. විනාකිරි කෝප්ප 1
  8. ලුණු හා ගම්මිරිස්කුඩු
  9. කහකුඩු ස්වල්පයක්

 

  • මාළු සෝදා ලුණු හා ගම්මිරිස්කුඩු තවරා පැය 1/2ක් සීසන් කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න. වම්බටු ටිකත් දික් අතට කපලා කහ හා ලුණු අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • මාළුමිරිස් දික් අතට පලාගන්න. අබ, අමු ඉඟුරු, මිරිස්කුඩු හා විනාකිරි ස්වල්පයක් එක්ක අඹරාගන්න. 
  • මැටි භාජනයක් ලිපේ තියලා ඉතිරි විනාකිරි ටික දාලා රත්වෙනකොට රතුළූණු හා මාළුමිරිස් දාලා තම්බගන්න. දැන් මේකට අඹරාගත් පේස්ට් එක දාලා මාළු හා වම්බටු එකතු කරලා කලවම් කරන්න. හොඳට වහලා තියන්න. 

 

 

4. මාළු ඇඹුල් තියල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1
  2. ගොරකා ග්‍රෑම් 200
  3. ගම්මිරිස්කුඩු මේස හැඳි 5
  4. ලුණු 
  5. අමුමිරිස් කරල් 4-5
  6. බැදපු තුනපහකුඩු මේස හැඳි 3
  7. රම්පේ හා කරපිංචා
  8. කුරුඳු පොතු කෑල්ලක්

 

  • මාළු හෝදලා තරමක කෑලි කපාගන්න. ගොරකා තම්බලා අමුමිරිස්, ගම්මිරිස්කුඩු  තුනපහකුඩු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු එක්ක අඹරගන්න. 
  • මාළු වලට ගොරකා පේස්ට් එක දාලා වතුර චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. මැටි හට්ටියක අඩියට කරපිංචා ඉති ටිකක් අතුරාගෙන මාළු ටික දාල පියනකින් වහල තම්බගන්න.
  • ඉස්ම හොඳටම හිඳුනම පියන ඇරල නිවෙන්න තියන්න. ඇඹුල් තියල් ගන්න වියළි හැන්දක් පාවිච්චි කරන්න. 

 

5. ඉස්සන් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉස්සන් කිලෝ 1
  2. අබ මේස හැඳි 1
  3. සූදුරු මේස හැඳි 1
  4. සියඹලා ස්වල්පයක්
  5. විනාකිරි කෝප්ප 1/4
  6. ඉඟුරු කෑල්ලක්
  7. සුදුළූණු බික් 4
  8. අමුමිරිස් කරල් 5-6
  9. කහකුඩු ස්වල්පයක්
  10. ලුණු හා ගම්මිරිස්කුඩු
  11. තෙල් ස්වල්පයක්

 

  • සියඹලා ටික විනාකිරි දාලා දියකරගන්න. ඉස්සො ටික සෝදලා කහකුඩු හා ලුණු දාලා සීසන් කරගන්න. මේ ටික ගැඹුරු තෙලේ බැදගන්න.
  • සුදුළූණු හා ඉඟුරු හොඳට අඹරගන්න. වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා අබ ටික දාගන්න. ටිකකින් සූදුරු ටික දාලා අඹරාගත් ඉඟුරු, සුදුළූණු සහ සියඹලා ඉස්ම ටික දාලා අමුමිරිස් ටික එකතු කරන්න. අන්තිමට බැදගත් ඉස්සො ටික දාලා කලවම් කරලා ලිප නිවන්න. 

 

6. බේක්ඩ් චිකන් කරි

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කටු ඉවත්කළ චිකන් කිලෝ 1
  2. ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1
  3. කරපිංචා ස්වල්පයක්
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. කපාගත් අමුමිරිස් කරල් 4
  6. සියඹලා මේස හැඳි 1
  7. මිරිස්කුඩු තේ හැඳි 1 1/2
  8. කහකුඩු තේ හැඳි 1/2
  9. තුනපහකුඩු තේ හැඳි 1 1/2
  10. ලුණු හා ගම්මිරිස්කුඩු
  11. කරදමුංගු හා කරාබුනැටි 2
  12. කුරුඳු පොතු 2
  13. තෙල් ස්වල්පයක්

 

  • චිකන් පොඩියට කපලා ලුණු, ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩු දාලා මැරිනේට් වෙන්න තියන්න. 
  • භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඒකට කරදමුංගු, කරාබුනැටි දාලා කපාගත් ළූණු, අමුමිරිස් සහ කරපිංචා එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. 
  • තෙම්පරාදු වෙනකොට ඒකට කහ කුඩු, තුනපහකුඩු දාලා බැදෙන්න අරින්න. දැන් මේකට චිකන් ටික දාලා කලවම් කරගන්න. 
  • චිකන් තැම්බීගෙන එනකොට සියඹලා දාලා විනාඩි 20ක් වගේ පිසගන්න. රස අනුව ලුණු දාගන්න. අඩිය අල්ලන්න නොදී හැඳිගාලා හොඳටම ෆ්‍රයි උනාම ලිපෙන් බාගන්න. බේකින් ශීට් එකක් දාපු ට්‍රේ එකකට මේ චිකන් ටික දාලා සෙල්සියස් 180°ට විනාඩි 15ක් බේක් කරගන්න. 

 

7. චිකන් ඇඹුල් තියල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කපාගත් චිකන් කිලෝ 1
  2. මිරිස් කුඩු තේ හැඳි 1 ½
  3. විනාකිරි මේස හැඳි 2
  4. ගොරකා ග්‍රෑම් 200
  5. ගම්මිරිස්කුඩු මේස හැඳි 5
  6. ලුණු 
  7. අමුමිරිස් කරල් 4-5
  8. බැදපු තුනපහකුඩු මේස හැඳි 3
  9. රම්පේ හා කරපිංචා
  10. කුරුඳු පොතු කෑල්ලක්

 

  • චිකන් හොඳට සෝදල වතුර බේරෙන්න තියන්න. වතුර බේරුණාම මිරිස්කුඩු සහ විනාකිරි එක්ක ලුණු ටිකක් දාලා හොඳට කලවම් කරන් පැයක් මැරිනේට් කරගන්න. මැරිනේට් කරගත්ත චිකන් ටික ගැඹුරු තෙලේ බැදගන්න. 
  • ගොරකා තම්බලා අමුමිරිස්, ගම්මිරිස්කුඩු  තුනපහකුඩු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, ලුණු එක්ක අඹරගන්න. 
  • බැදගත් චිකන් වලට ගොරකා පේස්ට් එක දාලා වතුර චුට්ටක් දාලා හොඳට කලවම් කරගන්න. මැටි හට්ටියක අතුරාගෙන පියනකින් වහල අඩු ගින්දරේ පිසගන්න.
  • සැරින් සැරේ අඩිය අල්ලන්න නොදී කලවම් කරගන්න. ඉස්ම හොඳටම හිඳුනම පියන ඇරල නිවෙන්න තියන්න. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *