ආදරණීයයෙකුගේ උපන්දිනය සමරන්න පුළුවන් විවිධ ක්‍රම

උපන්දින කියන්නෙ ඉතින් අවුරුද්දක් ගාණෙ හොඳ දඩයක් සෙට් වෙන වැඩක් තමයි. හැබැයි ඉතින් එහෙමයි කියල නෑදෑ හිතවත් අයගේ උපන්දින මගාරින්නත් බැහැනෙ. දුකට සැපට තමන්ගේ ලඟින් ඉන්න ආදරණීයයන්ගේ උපන්දින සමරන්න පුළුවන් විදිනම් කොයි තරම් නම් තියෙනවද? අද අපි මේ කතා කරන්න යන්නෙ එහෙම තමන්ට විශේෂ, හිතවත් අයගේ උපන්දින සමරන්න පුළුවන් හොඳම ක්‍රම කිහිපයක් ගැනයි. කොහොම කිව්වත්, කොච්චර වයසට ගියත් ඔය කොයි කවුරුත් ආසයි කවුරු හරි තමන්ගේ උපන්දිනේ වෙනුවෙන් විශේෂ දෙයක් කරනවානම්. ඉතින් එහෙම ආස අය වෙනුවෙන් කරන්න දේවල් ගැන අදහසක් ගන්නනම් මේක කියවලම බලන්න වෙනව. ඔන්න අනිත් අයගේ උපන්දින ලස්සන කළෝතින් ඔයාගේ උපන්දිනෙත් එයාල ලස්සන කරයි කියන එක ඔලුවේ තියාගෙනම කියවන්න පටන් ගමුකො එහෙනම්.

 

1. Surprise Party එකක්

මේ surprise parties කියන සංකල්පයනම් අද කාලෙ තරුණ තරුණියෝ අතරේ හරිම ජනප්‍රියයි. මෙතැනදී වෙන්නෙ උපන්දිනය හිමිකෙනා, ඒ කිව්වේ birthday boy/girl ව පුදුම කරවන එක. ඒ කියන්නෙ එයා නොහිතන වෙලාවක, තැනක, එයා නොහිතන විදිහට එයාගෙ උපන්දිනය සමරන එක. හුඟක් අය මේකට තෝරගන්නෙ උපන්දිනය ලබන රෑ 12 කියන වෙලාව. ඒ වෙලාවට ඉතින් ඔය මුකුත් මතක නැතුව තද නින්දේ ඉන්න නිසා ඇත්තටම පුදුම වෙනවා. රෑ 12ට එයා කැමති විදිහේ කේක් එකක්, තෑග්ගක්, බැලුන් ටිකක් අරගෙන ගෙදරට, එහෙම නැත්තම් ගෙදරම කෙනෙක්නම් නිදාගෙන ඉන්න ඇඳ ලඟට කඩාගෙන පැනලා පුදුම කරවන්න පුළුවන්.

එහෙමත් නැත්තම් එයාට හොරෙන් ගෙදරම හරි, පිට තැනක හරි පාර්ටි එකක් සූදානම් කරලා, ලස්සනට සරසලා, කට්ටියට invite කරලා අන්තිම මොහොතේ එයාව එතනට එක්කගෙන ගිහිල්ලා පුදුම කරවන්නත් පුළුවන්.

 

2. Planned Party එකක්

මේකනම් ටිකක් පරණ තාලේ වැඩක්. හැබැයි පුදුම කරවන කේස් එච්චර අල්ලන්නෙ නැති, ටිකක් නීති රෙගුලාසි වැඩි කෙනෙකුට හරියන එකම ක්‍රමය මේක තමයි. එයත් එක්කම ටික දවසකට කලින් එකතුවෙලා ලස්සන පාටියක් සූදානම් කරන්න. එයා කැමති තැනක, කැමති විදිහේ කේක්, කෑම, decorations සහ එයා කැමති අයටම ආරාධනා කරලා ලස්සන පොඩි පාටියක් දෙන්න පුළුවන්. පුදුම කරවීම් නැතත් තමන්ගේ උපන්දිනේ දවසට කට්ටිය එක්ක කාල, බීල, විනෝද වෙන්න ලැබෙන එකම කොයිතරම්නම් සතුටක්ද? 

 

3. Day Outing එකක් 

මේකනම් හුඟක්ම හොඳ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, දරුවෝ හෝ පෙම්වතා, පෙම්වතිය වගේ ලඟම කෙනෙකුගේ උපන්දිනයක් සමරන්න තමයි. යහළු යෙහෙළියන්ගේ උපන්දින සමරන්නත් නරකම නැහැ. කොහොමහරි මේ day outing කියන එකත් ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඒ කිව්වේ කලින් කිව්වා වගේ පුදුම කරවීමක් විදිහට, තැනක් ගැන එයාට නොකියා එදාට එක්කන් ගිහින් පුදුම කරවන්න පුළුවන්. එහෙමත් නැත්තම් උපන්දිනේ අයිති එයාටම කැමති තැනක් තෝරාගන්න නිදහස දීලා එදාට එක්කගෙන යන්නත් පුළුවන්. ඒක ඉතින් කෙනාගෙ හැටියට තමයි තීරණය කරන්න ඕන. කොයි විදිහට උනත් නිදහස් පරිසරයක පවුලේ අය එක්ක සතුටින් ගත කරන එක එදාට එයාට ලොකු සතුටක් වෙයි. එතැනදී පුංචියට කේක් එකක් කපලා උපන්දිනය සමරන්නත් පුළුවන්.

 

4. Family Meal එකක්

මේකත් හොඳටම හොඳ පවුලේම කෙනෙකුගේ උපන්දිනයකට තමයි. කට්ටියම එකතුවෙලා කැමති තැනක් කතාබහ කරගෙන දවල් කෑමකට හරි, රෑ කෑමකට හරි යන්න පුළුවන්. කාර්යබහුල ජීවිතේ හැමෝම එක්ක එකට වාඩිවෙලා කෑම වේලක් කන්න ලැබෙන එකත් සතුටක්නේ. ලොකු ලොකු දේවල් වලට වැය කරන්න කාලය එහෙම නැත්තම් එහෙමත් නැත්තම් මුදල් අවහිරයිනම් මේක හොඳම විසඳුමක්. 

එලියට යන්නත් අපහසුනම් විශේෂ කෑමක් ගෙදරට ගෙන්නගෙන සමරන්නත් පුළුවන්. විශේෂයෙන්ම අලුත බැඳපු ජෝඩුවකට එහෙමනම් එලියට ගිහින්, නැත්තම් ගෙදරම හරි candle light dinner එකක් වගේ ලස්සන මතක හිටින සැමරුමක් කරන්නත් පුළුවන්.

 

5. Shopping Day එකක් 

ඔන්න කාන්තා පාර්ශවය වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම හොඳ සැමරුමක් තමයි මේ. බිරිඳට හෝ පෙම්වතියට තමයි හොඳටම ගැලපෙන්නෙ. හැබැයි පොකට් එකටනම් ටිකක් තදින් දැනෙන වැඩක්. කොහොමහරි එයාගෙ උපන්දිනය දවසේ එයා කැමති ඕනම තැනක එක්කගෙන ගිහිල්ලා කැමති දේවල් අරන් දෙන්න. හැබැයි මතක ඇතුව බජට් එක ගැනත් කලින් කියලම එක්කගෙන යන්න හොඳේ.

 

6. පිරිතක් / දානයක්

ටිකක් වැඩිහිටි කෙනෙකුගේ ඒ කිව්වේ අම්මා, තාත්තා, ආච්චි, සීයගේ වගේ උපන්දින සමරන්න වැඩියම හොඳ උනත් පිනට දහමට ලැදි ඕනම කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් මේක. ගෙදර කෙනෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් ගෙදර පොඩියට වරු පිරිතක්, දානයක් වගේ දෙන්න පුළුවන්. හැබැයි ඉතින් පුංචි දරුවෙකුගේ උපන්දිනයකට වගේ මෙහෙම කරන්න හිතන් ඉන්නවනම් ඒ වැඩ ඉවරවෙලා කේක් එකක් කපලා සමරන්නත් අමතක කරන්න එපා. මොකද පුංචි පැටවුන්ට පින්දහම් වලට වඩා ලස්සන දේවල් වලට ආස හිතෙනවනෙ නොතේරුම් කම නිසාම.

 

7. අසරණ අයට කෑම

මේකත් පිනක් කරගන්න කැමති කෙනෙකුට හොඳම වැඩක්. පාර්ටි දාන්න අකමැති, ලොකු වෙහෙසක් වෙන්න අපහසු ඕනම අවස්ථාවක අසරණ අය කීප දෙනෙකුට කෑම පාර්සල් කිහිපයක් හදලා දීලා පුංචියට ඒ දවස සමරන්න පුළුවන්. අසරණ අය කිව්වේ පාරෙ ඉන්න යාචකයෝ වගේ අය. මිනිස්සුම වෙන්න ඕනත් නැහැ. පාරේ ඉන්න හරියට කෑමක් නොලැබෙන බල්ලො පූසො වගේ සත්තුන්ට කෑම වේලක් දුන්නත් ඒකත් ලොකු පිනක්. පොඩි වියදමකින්, පොඩි කාලයකින්, පොඩි මහන්සියකින් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *