මේ විදිහේ අමුතු සුවඳවලින් යුතු සුවඳ විලවුන් ලෝකේ තිය​න බව දැනන් හිටියද?

පර්ෆියුම්, එහෙමත් නැත්නම් සුවඳ විලවුන් කිවුවම අපේ මතකයට එන සුවඳවල් බොහොමයක් මල් සුවඳ, පළතුරු සුවඳ ආදී සුවඳවලින් හෝ ඒවායේ එකතුවෙන් සෑදුණු ඒවා. අපි නිතර දකින, භාවිතා කරන සුවඳ විලවුන් වල තත්ත්වේ එහෙම වුණාට ලෝකේ ගත්තහම අමුතු අමුතු සුවඳ ගෙනෙන සුවඳ විලවුන් අපිට දකින්න ලැබෙනවා. මේ කියන්නේ ඒ විදිහේ අමුතු සුවඳ තියන සුවඳ විලවුන් වර්ග 7ක් ගැන.

 

1. Demeter Pizza – පීට්සා සුවඳින්

පීට්සා කියන්නේ අපි හැමෝම වගේ කැමතිම කෑමක්. උණු උණු පීට්සා එකක තියෙන්නේ කටට කෙළ උනවන සුවඳක්. එහෙමයි කියලා පීසා සුවඳක් ඇඟේ තවරගන්නවද? තීරණය ඔබේ අතේ. මොකද ඇත්තටම එහෙම සුවඳ විලවුන් වර්ගයක් මේ වෙද්දී ජාත්‍යන්තර වෙළඳපොළේ තියනවා. නම තමයි අපි උඩිනුත් කිවුව Demeter Pizza. පීසා එකකත් ප්‍රධාන අමුද්‍රව්‍ය වන තක්කාලි, ඔරිගානෝ සහ චීස් සුවඳ කවපු මේ සුවඳ විලවුන් වර්ගය ගෑවහම ඔයාව කෙලින්ම පීසා කඩයක් වගේ දැනෙන්න පටන් ගනීවි.

 

2. Dead Writers Perfume – පරණ පොත්වල සුවඳින්

පරණ පොත්වල දූවිලි සුවඳට සමහරුන්ට නම් කිවිසුම් යනවා. හැබැයි තවත් සමහරුන්ව නොස්ටැල්ජික් මතකයන්ට ගෙනියන්න මේ සුවඳට පුළුවන් වේවි. මේ පර්ෆියුම් එක ගැහුවම ඔයා පරණ පුස්තකාල පුටුවකට වෙලා ෂේක්ස්පියර්, හෙමිං​වේ වගේ ලේඛකයන්ගේ සම්භාව්‍ය කෘති කියවද්දී දැනෙනවා වගේ හැඟීමක් දනවනවා කියලයි මේ සුවඳ විලවුන් වර්ගයේ නිෂ්පාදකයෝ කියන්නේ. තේ කොළ, කරාබු නැටි, වැනිලා, දුම්කො​ළ, කස්තුරි ආදී සුවඳ එකතුවෙන් තමයි මේ පර්ෆියුම් එක නිපදවලා තියෙන්නේ.

 

3. Nasomatto Hindu Grass – මේ දැන් කැපූ තණකො​ළ

අලුතින් කැපූ තණකොළවල සුවඳට බොහොමයක් උදවිය කැමතියි. ඉතින් මේ පර්ෆියුම් එකේ තියෙන්නෙත් ඒ විදිහේ හිතට සනීපදායක හැඟීමක් ගෙන දෙන විදිහේ තණකොළ සුවඳක් කියලයි කියන්නේ. කාන්තා සහ පිරිමි දෙපාර්ශවය වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙන මේ සුවඳ විලවුන් වර්ග​යේ සුවිශේෂී සුවඳ නිර්මාණය වෙන්​නේ තණකොළ, දැ​ව, ගංකොල්ලන් (Patchouli) සහ දුම්කො​ළ ආදී සුවඳ එකතුවකින්.

 

4. Demeter New Car – අලුත් කාර් සුව​ඳ

අපි මුලින්ම කියපු පීසා සුවඳ සෙන්ට් එක නිෂ්පාදනය කරන Demeter විලවුන් නිෂ්පාදකයන්ගේම තමයි මේ අමුතු සෙන්ට් එකත්. ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නැහැනෙ මේ ගැන. නමේම හැටියට අලුතින්ම ගත්ත කාර් එකකට ගොඩ වදිනකොට අපිට දැනෙන සුවඳ තමයි මේ සු​වඳ විලවුන් වර්ගයේ තියෙන්නේ. අලුත් ප්ලාස්ටික් සුවඳකට සමාන සුවඳක්. ඒ සුවඳ ගන්න ප්ලාස්ටික්, විනිල් සහ රෙදි වල එන සුවඳවල් මේකට එකතු කරලා තියනවලු.

 

5. Jasmin et Cigarette – ජැස්මින් මුසුවූ සිගරට් සුව​ඳ

මේක කාන්තාවන් සඳහා නිෂ්පාදනය වුණු සුවඳ විලවුන් වර්ගයක්. සියුම් ජැස්මින් සුවඳක් සහිත මේ විලවුන් වර්ගයට සිගරට් සුවඳකුත් මුසු කරලා තියනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ දුම් බොන පිරිමි සුවඳක් එක්ක සෞම්‍ය කාන්තා සුවඳක් එක්ක එන නොස්ටැල්ජික් මිහිරි මතකයක් මේ විලවුන් තවරගන්නා කාන්තාවන්ට දෙන්නයි. තව ටිකක් විස්තර කළොත් තමන්ගේ හිත ගත්ත (දුම්බොන) පුරුෂයෙක් එක්ක සිදුකරපු ආලිංගනයකින් පස්සේ කාන්තාවට දැනෙන සුවඳක් කියලා අපිට මේ ගැන කියන්න පුළුවන්. 

 

6. Fresh Cannabis Rose – තණමල්විල ‘මල්’ සුවඳ

බල්ගේරියානු රෝසමල් සුවඳට මර්ජුවානා සුවඳ මුසු කරලා තමයි මේ අපූරු සුවඳැති සුවඳ විලවුන් වර්ගය හදල තියෙන්නේ. කාන්තාවන් සඳහා තමයි මේ විලවුන් වර්ගය නිෂ්පාදනය කරන්​නේ. රෝසමල්, දෙළුම් පොහොට්ටු, ඩාර්ක් චොක්ලට්, මර්ජුවානා, කස්තුරි ආදී සංකීර්ණ සුවඳ රැසක එකතුවෙන් තමයි මේ සුවඳ විලවුන් වර්ගය නිර්මාණය කරල තියෙන්නේ.

 

7. Eau de Space – ලොවෙත් නැති සුව​ඳ 

අපි මේ සුවඳ විලවුන් වර්ගය ‘ලොවෙත් නැති සුවඳ’ කියලා හැඳින්වුවෙ හේතුවක් ඇතිව. මොකද මේ විලවුන් වර්ගය නිෂ්පාදනය කරන්න හිතන් ඉන්නේ ‘අභ්‍යවකාෂයේ පවතින සුවඳට’ සමාන වෙන්නටයි. සුප්‍රකට නාසා ආයතනයෙන් තමයි මේ සුවඳ විලවුන් වර්ගයේ නිර්මාණ ශිල්පියා වන ස්ටීව් පියර්ස් කියන සුවඳ නිර්මාණය කරන්නාට මේ වැඩේ පවරලා තියෙන්නේ. පස්සේ ස්ටීව් ගගනගාමීන් එක්ක කරන ලද සාකච්ඡා වලින් ලබාගත් තොරතුරු මත පදනම් වෙලා තමයි මේ සුවඳ නිර්මාණය කරලා තියෙන්නේ. ගගනගාමීන්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව අභ්‍යවකාශයේ තියෙන්නේ ඕසෝන්, රත් වූ යක​ඩ සහ බැදපු මස්වල සුවඳ සම්මිශ්‍රණයක් කියලයි ස්ටීව්ට දැනගන්න ලැබිල තියෙන්නේ. තවම Kickstarter ව්‍යාපෘතියක් හැටියට පවතින මේ සුවඳ විලවුන් නිෂ්පාදනයට අවශ්‍ය බරපැන සැපයුණු සැණින් මේ සුවඳ විලවුන් වර්ගය නිපදවා බෙදා හැරෙන්න පටන් ගනීවි.

 

මේ සුවඳ විලවුන් අතරින් එකක් තෝරා ගන්න කිවුවොත් ඔයා තෝරා ගන්නේ මොන විලවුන් වර්ගයද? අපිට ෆේස්බුක් කමෙන්ටුවක් මගින් ඒ ගැන කියන්න…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *