අපි කාගේත් ජනප්‍රියම සුරතලෙක්, පවුලේ සාමාජිකයෙක් තමයි බලු සුරතලා කියන්නේ. ඒ අයගේ සෞඛ්‍යය ගැන හොඳින් විමසිල්ලෙන් ඉඳල හොයල බලන එක අපේ වගකීමක්. සමහර වෙලාවට බලු සුරතලාගේ එදිනෙදා ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් අපේ ඇහැට නොපෙනී මගහැරිල යනව. ඒ සමහරක් වෙනස්කම් ලොකු රෝගයක ලක්ෂණ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බලු සුරතලා ඒ වෙලාවේ අපහසුවකින් පෙළෙන බව පෙන්වන ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතුවා මේ ආදරණීය සත්වයාට ආදරය කරන Lifie.lk රසික රසිකාවියන්ව දැනුවත් කරන්න, බලු සුරතලාගේ සෞඛ්‍ය අයහපත් බව හඟවන ලක්ෂණ කීපයක් ගැන කියන්න.
1. කෑම ප්‍රතික්ෂේප කිරීම
අපි වගේම අපේ බලු සුරතලනුත් කටට රහට, වෙනසක් ඇතුව කෑම කන්න ආසයි. ඒ නිසා එකම විදිහේ කෑම වේලක් නිතර ලැබුණොත් සමහරවිට එයාලා වේලක් එහෙම මග හරින්න ඉඩ තියනවා. ඒ ගැන ලොකුවට බය වෙන්න දෙයක් නෑ. හැබැයි බලු සුරතලා දවසක් විතර කෑම නොකා ඉන්නවනම් අන්න ඒ වෙලාවට ටිකක් එයා ගැන විමසිල්ලෙන් ඉන්න එක අනිවාර්යයි. සාමාන්‍යයෙන් බලු සුරතලාට මොකක් හරි එන්නතක් ලබා දුන්නට පස්සේ එයා කෑම වේලක් දෙකක් මග අරින එක සාමාන්‍ය තත්ත්වයක්. එහෙම නැතුව හිටි ගමන් දවසක් විතර නොකා ඉන්නවානම් බලු සුරතලාව වෛද්‍යවරයෙක් ගාවට එක්කගෙන යන එක තමයි සුදුසු. මොකද වකුගඩු රෝග, අක්මා රෝග වගේම පිළිකා වගේ බරපතල තත්ත්වයන්වලදීත් මේ විදිහේ රෝග ලක්ෂණ පෙන්නන්න පුළුවන්.
2. ක්‍රියාශීලී බවේ අඩුවක්
නිතර සෙල්ලම් කරන, ඇඟට පනින සුරතලා ටික දවසක ඉඳලා කම්මැලිව ඔහේ වැතිරිලා ඉන්නවානම් ඒ ගැනත් අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න ඕන. එහෙම අවස්ථාවක සුරතලා ඉඳගනිද්දි, නැගිටිද්දි, එහේ මෙහේ යද්දි මොකක් හරි ශාරීරික අපහසුතාවයක් පෙන්වනවද කියලත් සැලකිල්ලෙන් ඉන්න ඕන. මොකද සමහරවිට සුරතලා එක පාරටම මේ වගේ කම්මැලි ස්වභාවයක් පෙන්නන්න උණ, ආතරයිටීස් තත්ත්ව වගේ දේවල් බලපාන්න ඉඩ තියනවා.
3. වමනය
බලු සුරතලා වමනය කරනවා කියන්නේ ලොකුවටම බය වෙන්න ඕන තත්ත්වයක් නෙමෙයි. සමහර කෑම වර්ග කෑවම බලු සුරතලා වමනය කරන අවස්ථා ඇති වෙන්න පුළුවන්. හැබැයි පැය 24ක් විතර තිස්සේ බලු සුරතලා දිගින් දිගටම වමනය දානවනම් ඒ ගැන හොයලා බලන්න ඕන. වමනයත් එක්ක ලේත් පිට වෙනවද කියලත් විමසිල්ලෙන් ඉන්න ඕන. ඒ වගේම මේ වගේ අවස්ථාවක බලු සුරතලා කෑම කෑමත් ප්‍රතික්ෂේප කරනවානම් ඒකත් යම්කිසි අයහපත් සෞඛ්‍ය තත්ත්වයක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න. මොකද අජීර්ණය, ආහාර විෂවීම් වගේ සාමාන්‍ය තත්ත්වයන්ගේ ඉඳන් අක්මා, වකුගඩු රෝග වැනි තරමක් බරපතල තත්ත්වයන් ගැන වුණත් මෙවැනි ලක්ෂණ මගින් අනතුරු ඇඟවෙන්න පුළුවන්.
4. කැස්ස
මෙතනදී කියන්නේ ඉඳහිට එන කැස්සකට වඩා නිතර පවතින් කැස්සක් ගැනයි. දවසක් තිස්සේ වගේ බලු සුරතලාට කැස්සක් පැවතුණොත් ඒ ගැන වහාම ක්‍රියාත්මක වෙලා වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි සුදුසු. කැස්සත් එක්කම බලු සුරතලාට හුස්ම ගැනීමේ අපහසුවක් තියනවද කියලත් ඔබ හොයා බලන්න ඕන. නොයෙකුත් දිලීර ආසාදන, ශ්වසන රෝග සහ හදවත් රෝග නිසා මේ විදිහේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් බලු සුරතලාට.
5. රෞද්‍ර හැසිරීම
වෙනදාට ඉතාම මිත්‍රශීලීව ඉන්න ගෙදර බලු සුරතලා එක පාරට නපුරු හැසිරීමක් පෙන්නුම් කරනවාද? එහෙනම් ඒ ගැනත් ටිකක් හොයලා බලන එක වැදගත්. මොකද සමහර වෙලාවට බලු සුරතලා මොකක් හරි අධික වේදනාවකින් පෙළෙනවනම් මේ විදිහේ ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. සමහර රෝග තත්ත්වයන් වලදීත් බලු සුරතලා මේ විදිහේ ලක්ෂණ පෙන්නුම් තරනවා. ඒ නිසා ඒ ගැනත් වෛද්‍ය උපදෙස් පතන්න.
6. නොනවතින මළපහ
බලු සුරතලා දිගින් දිගටම මළපහ පිටකරමින් පාචන තත්ත්වයක් පෙන්නුම් කරනවා කියන්නේ යම් රෝගයකට ඉඟි පළ කිරීමක් වෙන්න පුළුවන්. ආහාර විෂවීම්, උදරයේ රෝග, බැක්ටීරියා ආසාදන, වකුගඩු සහ අක්මා රෝග ආදිය නිසාත් බලු සුරතලාට මේ විදිහට දිගින් දිගට මළපහ පිට වෙන්න පුළුවන්. මේ තත්ත්වය දවසක් විතර එක දිගට පැවතුනොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඒ වගේම මළපහත් එක්ක බලු සුරතලාට වමනයත් යනවාද, සුරතලා උණ ගතියකිනුත් පෙළෙනවාද කියලත් විමසිල්ලෙන් ඉන්න ඕන.
7. ගොඩක් හති දානවද?
බලු සුරතලුන් කියන්නේ නිතර දුවල, පැනල ක්‍රියාශීලීව ඉන්න පිරිසක්. ඒ නිසා එහෙම අවස්ථාවලදී මේ අය අධිකව හති දැමීම සාමාන්‍යයයි. හැබැයි නිකන් විවේකෙන් ඉන්න අවස්ථාවලදීත් බලු සුරතලා අධිකව හති දානවනම් ඒ ගැන හොයලා බලන එක වැදගත්. මොකද අධික උණුසුමට නිරාවරණය වීම නිසා වගේම පෙනහළු සහ හදවත් රෝගී තත්ත්වයන් නිසාත් මේ විදිහේ හති දැමීම් සුරතල් සතුන් තුළින් පෙන්නුම් කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් පතන්න.
8. නිවසේ ඇතුළත මළ සහ මුත්‍ර පිට කිරීම
මේ කියන්නේ ‘පොටි ට්‍රේන්’ වෙලා නැති කුඩා සතුන් ගැන නම් නෙමෙයි, එළිපහළියේ මළපහ කරන්න, මුත්‍රා කරන්න පුරුදු වෙලා ඉන්න බලු සුරතලෙක් හිටිගමන් ගේ ඇතුළේ මළ මුත්‍රා කිරීම ගැනයි මේ කියන්නේ. බොහෝ විට මේ වගේ තත්ත්වයක් පෙන්නුම් කරන්නේ බලු සුරතලා තරමක බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙන නිසා වෙන්න පුළුවන්. වකුගඩු ආබාධ සහ දියවැඩියා තත්ත්වයන් ඒ අතරින් ප්‍රධානයි. ඒ නිසා වෙනදාට එළිපහළියේ මළ මුත්‍රා කරන බලු සුරතලා දැන් ගේ ඇතුළේම ඒවා පිටකරනවානම් ඒ ගැනත් නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන සුරතලාගේ සෞඛ්‍යය රැකගන්න.
Leave a Reply