කොස් ඇට වලින් රසට හදන රසම රස කෑම වර්ග 5ක්

කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇට වලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් එන්න මේ පැත්තට. අපි රස වගේම ගුණවත් කෑම ටිකක් හදන්නයි යන්නෙ. කොස් ඇට 25ක බිත්තරයක ගුණ තියනවා කියනවනේ. නිර්මාංශ අයට ප්‍රෝටීන් ගන්න හොඳ ක්‍රමයක් මේක. ඉතින් ඔය අනික් කෑම වගේ කොස් ඇටත් එදිනෙදා කෑමට එකතු කරගෙන බලන්නකෝ.

 

1. කොස් ඇට කළුපොල් මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොස් ඇට කෝප්ප 2
  2. බැදගත් කැකුළු හාල් කෝප්ප 1
  3. සියඹලා යුෂ ස්වල්පයක්
  4. තලාගත් සුදුළූණු බික් 4
  5. අබ ස්වල්පයක්
  6. කපාගත් අමුමිරිස් කරල් 2
  7. කරපිංචා ස්වල්පයක්
  8. වියළි මිරිස් කරල් 2
  9. ලුණු රස අනුව
  10. මිරිස්කුඩු තේ හැඳි 2
  11. කබලෙ බැදගත් මිරිස්කුඩු තේ හැඳි 1
  12. අමු තුනපහකුඩු තේ හැඳි 1
  13. කබලෙ බැදගත් පොල් මේස හැඳි 3
  14. කුරුඳු පොතු ස්වල්පයක්
  15. ගම්මිරිස්කුඩු

 

  • මුලින්ම වතුර වලට සියඹලා යුෂ එක්කර කොස් ඇට හොඳට තම්බගන්න. දැන් මේ ටික ලාවට තලාගන්න. 
  • කබලෙ බැදගත් පොල් හා හාල් වලට සුදුළූණු, ළූණු, ගම්මිරිස්කුඩු, ලුණු, කරපිංචා, කුරුඳු පොතු, අබ දාලා අඹරගන්න. 
  • භාජනයකට පොල්කිරි ටික දාලා මේ අඹරාගත් පොල් එකතු කරල කහකුඩු, මිරිස්කුඩු, තුනපහකුඩු එකතු කරන්න. දැන් කොස් ඇට ටික දාලා රස අනුව ලුණු, ගම්මිරිස්කුඩු හා කපාගත් වියළි මිරිස් එකතු කර ලිපේ තියලා මදගින්නෙ උතුරවගන්න. අන්තිමට බැදපු මිරිස්කුඩු ටික උඩින් ඉසගන්න. 

 

2. කොස් ඇට තෙලට

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොස් ඇට කෝප්ප  1
  2. ලියාගත් ළූණු ගෙඩි 1
  3. තෙල් ස්වල්පයක්
  4. අමුමිරිස් කරල් 2
  5. මිරිස්කුඩු තේ හැඳි 2
  6. කෑලිමිරිස් තේ හැඳි 1
  7. ලුණු ස්වල්පයක්
  • කොස් ඇට සෝදලා ලුණු දාලා තම්බගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා රත් වෙනකොට ළූණු ටික දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් කෑලිමිරිස් හා මිරිස්කුඩු එකතු කරගන්න. අමුමිරිස් ටිකත් පළලා දාගන්න. හොඳට තෙම්පරාදු උනාම කොස් ඇට එකතු කරලා රස අනුව ලුණු දාලා ලිපෙන් බාගන්න. 

 

3. කොස් ඇට අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොස් ඇට කෝප්ප 2
  2. පොල් කෝප්ප 1
  3. සීනි කෝප්ප 1/2
  4. හකුරු කෑල්ලක්
  5. ලුණු රස අනුව
  6. වතුර ස්වල්පයක්
  • මුලින්ම කොස් ඇට සෝදලා පොතු පිටින් කබලෙ බැදගන්න. දැන් පොතු අයින් කරලා මේ ටික වංගෙඩියට දාලා සීනි, හකුරු සහ පොල් එක්ක වතුර චුට්ටක් දාලා කොටාගන්න. 
  • තරමක කෑලි හිටින්න කොටාගෙන ගුලි හදාගන්න තරම් තෙත මදි නම් තව වතුර දාලා රස අනුව ලුණු දාලා බෝල හදාගන්න. 

 

4. කොස් ඇට බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොස් ඇට කෝප්ප 2
  2. ලුණු හා ගම්මිරිස්කුඩු
  3. මිරිස්කුඩු තේ හැඳි 2
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. බැදීමට තෙල්

 

  • කොස් ඇට සෝදලා ලුණු දාලා තම්බගන්න. දැන් මේක ටිකක් තලලා පොතු ඇරලා මිරිස්කුඩු, කහකුඩු, ගම්මිරිස්කුඩු දාලා කලවම් කරලා පැය 1/2ක් සීසන් වෙන්න තියන්න. සීසන් උනාම ගැඹුරු තෙලේ බැදගන්න. 

 

5. කොස් ඇට ටොෆී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. කොස් ඇට කෝප්ප  2
  2. සීනි කෝප්ප  1
  3. බටර් මේස හැඳි 1
  4. කරදමුංගු ඇට 2
  5. වැනිලා ස්වල්පයක්

 

  • කොස් ඇට වලට ලුණු  ටිකක් දාලා තම්බගන්න. පොතු අයින් කරලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. 
  • දැන් මේක භාජනයකට දාලා සීනි එක්ක ලිපේ තියල හැඳිගාන්න. සීනි දියවේගෙන ගිහින් නැවත එක ගුලියක් වගේ වෙනකොට බටර්, වැනිලා හා කරදමුංගු ටිකක් දාගන්න. 
  • හොඳට කලවම් කරලා ගින්දර අඩු කරලා හැඳිගාන්න. මිශ්‍රණය ඝන වේගෙන එනකොට ලිපෙන් බාලා බටර් ගාගත් ට්‍රේ එකකට දාලා කෑලි කපාගන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *