සුන්දර ඉන්දියානු සාගරය ගැන වැදගත් තොරතුරු

ඉන්දියානු කලාපයේ පිහිටලා තියෙන නිසා ඉන්දියානු සාගරය කියලා හඳුන්වන්න ඇති වගේ සරල අදහසක් ඇරුනම  ඉන්දියානු සාගරය ගැන අපි වැඩිමනක් තොරතුරු දන්නේ නැහැ. අපි අයිති වෙන මේ ඉන්දියානු සාගර කලාපය ලෝක වෙළඳාම අතින් වැදගත් කලාපයක්. ලෝකයේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට වෙළඳාමට මේ ඉන්දියානු සාගරය හරහා ය්‍රාතාවන් යාත්‍රා කරලා තියෙනවා. ඉතින් මේ ඉන්දියානු සාගරය ගැන අපි ටිකක් විස්තර දැනගමු.

 

1. ඉන්දියන් සාගරය පිළිබඳ දත්ත

ලෝකේ තියෙන ඔක්කොම සාගර ජලය සැලකුවොත් එයින් පහෙන් එකක් ඉන්දියානු සාගරයට අයිති වෙනවා. ඉන්දියානු සාගරය ලංකාව මැද තියෙන්නේ. ඒ දෙපැත්තේ එක් පසෙකින් අප්‍රිකාවත්, අනෙක් පසින් ඔස්ට්‍රේලියාවත්, දකුණින් ඇන්ටාක්ටිකා මූදත් මායිම් වෙනවා. ඉන්දියානු සාගරයේ මධ්‍යන්‍ය ගැඹුර මීටර 3,960ක් වෙනවා. මේ මූදේ වපසරිය වර්ග කිලෝමීටර මිලියන 73ක්. ඉන්දියානු සාගරයේ ගැඹුරුම තැන මීටර 7450ක් ගැඹුරයි. ඒ ගැඹුරුම ජාවා ආගාධය තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවා දූපත කිට්ටුවෙන්. ඉන්දියානු සාගරය අත්ලාන්තික් සහ පැසිපික් සාගර වලට වඩා ටිකක් වෙනස්. මොකද අත්ලාන්තික් පැසිපික් සාගර දෙකටම ආක්ටික් සහ ඇන්ටාක්ටික් කියන ධ්‍රැව දෙකම හමු වෙනවා. ඒත් ඉන්දියානු සාගරය උතුරින් ලංකාවට ඉහළින් තියෙන ඉන්දියානු සහ ආසියානු ගොඩබිම් වලින් ලොක් වෙලා තියෙනවා.

 

2. ඉන්දියන් සාගරයේ මහා විපත

ලංකාවෙත් 31,000කට අධික පිරිසකට මරු කැඳවපු ආසියානු සුනාමිය ඇතිවුණේ මේ ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දිවයින් කිට්ටුවෙන්. එහි මුලින්ම ඇතිවුණු අති ප්‍රබල රිච්ටර් මාපකයේ 9.2ක් වූ භූමිකම්පාව නිසා අවට ඉන්දුනීසියානු දිවයින් වලට සහ උතුරු සුමාත්‍රා නගරවලට හානි වුණා. ඉන් පස්සේ දෙවනිවර ඇතිවූ සුවිසල් සුනාමි රළ වලින් ඉන්දුනීසියානු දිවයින්, තායිලන්තයේ පුකෙට් පළාත සහ සුමාත්‍රා ජාවා වෙරළ තීරයන් ඇතුළට මුහුදු වතුර ගලා ආවා. භූමිකම්පාව සිදුවූ ආසන්නයේ මීටර් විස්සකටත් වඩා උසට මුහුදු රළ ඇවිත් පළාත් පිටින් මූදට බිලි වුණා. භූමිකම්පාව සිදු වෙලා පැය දෙකකට පස්සේ පැයට කිලෝමීටර 500ක් විතර වේගෙන් ආපු සුනාමි රළ ලංකා සහ ඉන්දියානු වෙරළ තීරයන් වලට කඩා වැදුණා.

 

3. වැසි සපයන සාගරය

ලෝකයේ ජනගහණය සැලකුවාම මේ ඉන්දියානු සාගරය යාබද ආසියානු රටවල ලෝක ජනගහණයෙන් 40%කට එහා ජනගහණයක් ජීවත් වෙනවා. මේ සාගර කලාපයේ මෝසම් සුළං දහරා ඉන්දියානු උපමහද්වීපයේ ජනතාවට අවශ්‍ය වර්ෂාව සපයනවා. එල් නිනෝ සහ ලා නිනා කියන දේශගුණ විපර්යාස තත්ත්වයන් නිසා වැසි ලැබීම අක්‍රමවත් වෙලා එකවර විශාල ගංවතුර සහ නියං තත්ත්වයන් ඇතිවෙනවා. ලංකාවටත් ජලය සැපයෙන නිරත දිග සහ ඊසාන දිග මෝසම් සුළං දෙකම ලැබෙන්නේ ඉන්දියානු සාගරය හරහා හමා එන තෙත් සුළං දහරා වලින්.

 

4. මත්ස්‍ය සම්පත

ලංකාව ඒකපුද්ගල මස් පරිභෝජනය අතින් පහළම ඉන්න රටක්. ඒ වුණත් ලංකාවේ ජනතාව ප්‍රෝටීන වලින් අඩුවක් පාඩුවක් නැතිවෙන්න යහමින් මාළු  කනවා. ඒකට හේතුවක් තමයි රසවත් මාළුන්ගෙන් පිරුණ ඉන්දියානු සාගර භූමිය. ඉන්දියානු සාගරයේ ඉන්න ටූනා මසුන් අපි හඳුන්වන්නේ කෙලවල්ලා, බලයා, ඇටවල්ලා, හුරුල්ලා, ලින්නා ආදී නම් වලින්. මේ ටූනා මාළු ඇතැම් වර්ග යුරෝපීයයන්ගේද ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඒ නිසා ලංකාවටත්, ඉන්දියානු සාගරය යාබද රටවලටත් මේ ධීවර කර්මාන්තය මගින් ලොකු ආදායමක් එකතු වෙනවා.

 

5. නාවුක සහ ප්‍රවාහන පහසුව

ඉන්දියානු සාගරයට පැමිණි මුල්ම යුරෝපීයයන් ඒ කිව්වේ අපේ රටට පැමිණි ලොරන්සෝ ද අල්මේදාගේ කාලෙ ඉඳන් එක්දාස් නවසිය ගණන් වල මුලට එනකල් යුරෝපීයයන් පැමිණියේ අප්‍රිකාව වටා යාත්‍රා කිරීමෙන්. ඒත් පසුව අරාබිය හරහා සූවස් ඇල හැදුනාට පස්සේ යුරෝපයට නාවුක ගමන් ලේසි වුණා. මේ ඉන්දියානු සාගර නාවුක මාර්ගයෙන් තමයි චීනය, ජපානය, ඉන්දුනීසියාව, ඔස්ට්‍රේලියාව  වැනි රටවල නාවුක ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරාලන්නේ. එක් පසෙකින් මැදපෙරදිග කලාපෙන් එළියට බහින පෙට්‍රෝලියම් ඉන්ධන ලොව වටා බෙදාරින්නත් මේ ඉන්දියානු සාගර කලාපය වැදගත් වෙනවා. චීනය විසින් ඉන්දියානු සාගරය මගහැර බටහිර යුරෝපයට පිවිසිය හැකි  නව ගොඩබිම් සේද මාවත ප්‍රතිසංස්කරණය කළා. ඒත්  නාවුක ගමනාගමය හරහා ප්‍රවාහනය කරන්න පුළුවන් ධාරිතාව සහ අඩු ප්‍රවාහන පිරිවැය කිසි ලෙසකින්වත් ගොඩබිම් මාර්ගයෙන් ලබාගන්නට අමාරුයි.

 

6. සංචාරක කටයුතු

ඉන්දියානු සාගරයට අයිති අන්දමන්, නිකොබාර් දිවයින් ඉන්දියානු සංචාරකයින් අතර ජනප්‍රියයි. තායිලන්තයේ ෆුකෙට් දිවයින් කලාපයත් යුරෝපීය සංචාරකයින්ගේ සිත්ගත් කලාපයක්. ලංකාව වටේ තියෙන සුන්දර නොගැඹුරු මූදු කලාපය ලංකාවට සංචාරකයින් ඇදී එන්න එක හේතුවක් වෙනවා. මාලදිවයින, සීෂෙල්ස් ආදී දිවයින් කලාපය ඉන්දියානු සාගරයේ සුඛෝපභෝගී සංචාරක නවාතැන් විදිහට හඳුන්වනවා. ඉන්දියානු සාගරයේ වෙරළබඩ පරිසරයේ කඩොලාන, කොරල්පර සහ නොගැඹුරු මුහුදේ සුන්දර දසුන් සංචාරක ආකර්ෂණය දිනාගන්නවා.

 

7. වෙළඳ ආධිපත්‍යය 

මේ ඉන්දියානු සාගරයේ වෙළඳ ආධිපත්‍යය පුරාතනයේ පටන්ම ගැටුම් තිබුන තැනක්. කලකදී පෘතුගීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසින් සහ ප්‍රංශකාරයින් ලංකාවට, ඉන්දියානු වෙරළ තීරවලට වගේම ඉන්දියානු සාගරයේ වෙළඳ ආධිපත්‍යයටත් සටන් කළා. අද වනවිට සීතල යුධ තත්ත්වයක් විදිහට ඇමරිකාව චීනය සහ අනෙක් රටවල් මේ කලාපයේ යුධ සහ වෙළඳ කටයුතු වලට මැදිහත් වෙලා තියෙනවා. චීනය හම්බන්තොට වරාය සහ මියන්මාරයේ සහ පාකිස්ථානයේ වරායවල් ඉදිකිරීම් වලට අනුග්‍රහය දැක්වීම හරහා ඉන්දියානු සාගරයේ තමුන්ගේ සලකුණ තබන්නට උත්සාහ ගන්නවා. එසේම ඇමරිකාව ඉන්දියානු සාගරයේ යට කොටසේ දියාගෝ ගාර්ශියා වැනි දිවයින් වල මිලිටරි බලය වැඩි කරමින් ඒ පැත්තෙන් ශක්තිමත් වෙන්නට උත්සාහ ගන්නවා. කොහොම වුණත් ඉන්දියානු සාගරය මැද තිබෙන ලංකාවට මේ කඳවුරු දෙකේ වෙළඳ යුද්ධය යම්තාක් දුරකට බලපාල තියෙනවා.

 

දුපතක් නිසා අපිට කොහෙට ගියත් සාගරය මුණ ගැහෙනවා. ඒත්  මේ සාගරයේ වෙරළ තීර බැලුවොත් ගොඩක් තැන් ප්ලාස්ටික් සහ පොලිතීන් වලින් අපවිත්‍ර වෙලා තියෙනවා. අපි ජල මාර්ග වලට හෙලන කුණු ආයේම කැරකිලා ඇවිත් අපේ වෙරළ තීරයන් වලට ගොඩ ගැහෙනවා. මේ පොලිතීන් සහ ප්ලාස්ටික් වෙරළට වගේම නොගැඹුරු ජීවින්ගෙන් සාරවත් වෙරළ තීරයටත් දැඩි තර්ජන එල්ල කරනවා. ඉතින් මේ ඉන්දියානු සාගරයේ සිදුවන පොලිටිකල් මිලිටරි මෙහෙයුම් ගැන අවධානයෙන් ඉන්නවා වගේම සාගරය රැකගන්න අපිට හැකි පමණින් පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න පුළුවන් නම් එයත් වඩාත් හොඳයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *