ඇස් කණ්ණාඩි පළඳින එකේ අතුරු වාසි

ඇස් කණ්ණාඩි කියන්නෙ ඉතින් අපි ඇහේ මොකක් හරි අබාධයක් නිසා, ඒ කියන්නෙ පෙනුමේ ගැටළුවක් නිසා පළඳින මෙවලමක්නෙ. අවශ්‍යතාවය නිසාම දානව මිසක් හුඟ දෙනෙක් කැමතිනම් නැහැ ඇස් කණ්ණාඩි පළඳින්න. ඒක අමතර හිසරදයක් විදිහට තමයි හුඟක් දෙනෙක් දකින්නෙ. හැබැයි ඉතින් කාලයක් ඇස් කණ්ණාඩි දාලා ඒකටම හුරුවුන අය හොඳින්ම දන්න, මේ ඇස් කණ්ණාඩි වලටම ආවේණික වාසි ලැයිස්තුවකුත් තියෙනවා. අද අපි මේ කතා කරන්න යන්නෙ ඇහේ පෙනුම සම්බන්ධ ගැටළු වලට දානවා උනත් මේ ඇස් කණ්ණාඩි පළඳින එකේ තියෙන අතුරු වාසි කීපයක් ගැනයි. කණ්ණාඩි දාන උදවියනම් මේ කතාව කියවල අපිත් එක්ක උඩින්ම එකඟ වෙයි.

හැබැයි ඔන්න මේ වාසි ගන්නම කණ්ණාඩි දාන අයත් සමාජේ නැතුවම නෙමෙයි. ඔන්න ඒ නිසා මේක කියවල ඉවර උනහම කණ්ණාඩි දාන්න හිතුනොත් ඒවටනම් ලයිෆි අපි වගකියන්නෙ නැහැ.

 

1. ඇහේ ආරක්ෂාව

කණ්ණාඩියකින් ඇත්තටම කිව්වොත් ඇහේ පෙනීමට අමතරව ඇහැට ආරක්ෂාවකුත් ලැබෙනවා ආකාර කිහිපයකින්ම. අපි අවට පරිසරයෙන් ඇහැට සිදුවෙන හානි වලට ලැබෙන ආරක්ෂාව ගැන තමයි මේ කියන්නෙ. ඒ කිව්වේ සූර්යයාගෙන් නිකුත් වෙන Ultra Violet Rays එහෙම නැත්තම් අහිතකර පාර ජම්බුල කිරණ ඇසේ කනීනිකාව එහෙමත් නැත්තම් සුදු ඉංගිරියාවට හානි කරන්න පුළුවන්. ඒ නිසාම තමයි අව් කණ්ණාඩි පළඳින එක වැදගත් වෙන්නෙ. ඒත් විවිධ හේතු මත හැමදෙනාම අව් කණ්ණාඩි පළඳින්නේ නැහැ. 

හැබැයි මේ සාමාන්‍ය ඇස් කණ්ණාඩි පළඳින අයට පෙනීමට අමතරව මේ කියපු ගැටළුවටත් අතිරේක ආරක්ෂාවක් ලැබෙනවා ඇස් කණ්ණාඩි මගින්. අව් කණ්ණාඩි නොවුනත් සාමාන්‍ය ඇස් කණ්ණාඩියක් උනත් දාගෙන ඉන්නකොට ඒකෙ හෙවනැල්ල නිසා ඇහැට මේ අහිතකර කිරණ සෘජුව වැටෙන්නෙ නැහැ. 

අනිත් දේ තමයි අවට පරිසරයෙන් ඇස් වලට ඇතුළුවෙන්න පුළුවන් දූවිලි වලින් එහෙමත් ආරක්ෂාවක් ලැබෙනවා මේ ඇස් කණ්ණාඩි නිසා.

 

2. Blue Light Protection

 

අපි එදිනෙදා භාවිතා කරන පරිගණක, ජංගම දුරකථන, ලැප්ටොප් සහ සාමාන්‍ය ආලෝකයන් හුඟක් මඟින් ඇහැට මේ blue light ඇතුළත් වෙන්න පුළුවන්. මේ නිල් ආලෝකය හෙවත් blue light අපේ ඇස් වලට ගොඩක්ම හිතකර නැහැ. මේ මඟින් ඇහැට හානි වෙනව වගේම නින්දටත් බාධා ඇතිවෙනවා. හැබැයි දැන් නිෂ්පාදනය කරන හුඟක් ඇස් කණ්ණාඩි මේ blue light protection කියන පහසුකමත් එක්කමයි නිෂ්පාදනය වෙන්නෙ. පොඩි මිලක් වැඩිපුර ගෙවල මේ වාසියත් ඇස් කණ්ණාඩි එක්කම ලබාගන්න පුළුවන්. ගෙවන මිලට වඩා උපරිම වාසියක් භුක්ති විඳින්න පුළුවන්.

 

3. බුද්ධිමත් පෙනුම 

ඔන්න මේ කියන්න යන කාරණාවනම් කණ්ණාඩි දාන උන්දැලාට සතුටු වෙන්න කාරණාවක්. ඇස් කණ්ණාඩි කියන්නෙ බුද්ධිමත්භාවයේ සලකුණක් කිව්වොත් වැරදි නැහැ. ඔය ලොකු ලොකු ආචාර්ය, මහාචාර්යවරු හැමදෙනෙක්ම වගේ ඇස් කණ්ණාඩි දාන අයනේ. ඉතින් කණ්ණාඩි දාන එකෙන් සාමාන්‍ය පෙනුමට වඩා බුද්ධිමත්, ඒ වගේම ටිකක් වෘත්තීයමය පෙනුමක් මුහුණට ලැබෙනවා කියල තමයි කියන්නෙ. නිකමට කල්පනා කරල බලන්නකෝ ඔයාගෙ ජිවිතේ එදිනෙදා හමුවෙන, ඇස් කණ්ණාඩි පළඳින අය ගැන මතක් කරලා මේ කතාව ඇත්තද බොරුද කියල. ඒ වගේම එහෙම අමතරව පෙනුමට එකතුවෙන අගය නිසාම කණ්ණාඩි දාන කෙනාගෙ ආත්ම විශ්වාසය ඉහළ යනවා කියලත් කියනවා. යන තැනක ගැම්මෙන් ඉන්න පුළුවන් ඇස් කණ්ණාඩි නිසාම.

 

4. ලස්සන විලාසිතාවක්

ඇස් කණ්ණාඩි කියන්නෙ අද කාලෙ වෙද්දී සෞඛ්‍යමය මෙවලමක් විතරක්ම නෙමෙයි. සමහර දෙනෙක් මේ ඇස් කණ්ණාඩි විලාසිතාවක් විදිහට පාවිච්චි කරන්නත් යොමුවෙලා තියෙනවා. අව් කණ්ණාඩි විතරක් නෙමෙයි, සාමාන්‍ය ඇස් කණ්ණාඩි උනත් දැන් style එකට දාන පිරිසකුත් ඉන්නවා. ඒ කිව්වේ පෙනුම සම්බන්ධ ගැටළුවක් නැතත් විලාසිතාවට විතරක්ම ඇස් කණ්ණාඩි දාන පිරිසකුත් ඉන්නවා. මේ නිසාම කාලෙන් කාලෙට විවිධ විලාසිතා වලින් මේ ඇස් කණ්ණාඩි වෙළඳපොලට එන්නත් පටන් අරගෙන. සාමන්‍ය මිල ගණන් වල ඉඳල ඉතාම ඉහළ මිල ගණන් වෙනකන්ම ඇස් කණ්ණාඩි දැන් වෙළඳපොලේ දකින්න පුළුවන්.

 

5. අනන්‍යතාවයක් 

කණ්ණාඩි දානවා කියන එක කාලයක් යද්දි කෙනෙකුගේ අනන්‍යතාවයක් බවට පත්වෙනවා. පිරිසක් අතරේ ඔයා ගැන කියනකොට හඳුන්වලා දෙන්න ලේසියි. “අන්න අහවල් පන්තියේ/ ඔෆිස් එකේ කණ්ණාඩි දාන කෙනා” කියලා. ඒ වගේම දාන කණ්ණාඩියේ හැඩය, විලාසිතාව කියල විශේෂයෙන්ම හඳුන්වන්නත් පුළුවන්. “අර රවුම් කණ්ණාඩි දාන කෙනා” වගේ. කොයි විදිහකින් උනත් කෙනෙකුට ඔයාව හඳුනාගන්න පහසුවෙන, ඔයාගෙ අනන්‍යතාවයක් විදිහටත් මේ ඇස් කණ්ණාඩි කියන මෙවලම පාවිච්චි කරන්න පුළුවන්.

 

6. ලේසියෙන් හොර වැඩ

ඔය කණ්ණාඩි දාන නංගිලානම් මේ ගැන හොඳටම දන්නවා ඇති. මේ මෙවලම ඇස් පෙනීම වැඩි කරන්න වගේම ඇහෙන් කරන හොර වැඩ වලටත් කියාපු මෙවලමක්. ඇස් කණ්ණාඩි දාගෙන ඉන්නකොට අපි එක එල්ලේම බලන්නෙ කොයි පැත්තද කියලා පිටින් බලන කෙනෙකුට කියන්න අමාරුයි. ඒ නිසා ඔය හොරෙන් බලන ඒව එහෙම හොඳටම කරන්න පුළුවන් මේ කණ්ණාඩි දාන අයට. හැංගි හොරා බලන්න දෙයක් නැහැ. කණ්ණාඩිය අස්සෙන් බලන්න විතරයි තියෙන්නෙ. 

 

7. සුව නින්දක්

ඒ වගේම කලින් කිව්ව වගේ නිල් ආලෝකය එහෙමත් නැත්තම් blue light වගේ බාහිර කාරණා නිසා නින්දට ඇතිවෙන බාධාවන් මඟහැර ගන්නත් ලොකු උදව්වක් මේ ඇස් කණ්ණාඩි පැළඳීම. ඇස් අනවශ්‍ය විදිහට වෙහෙස නොවීම, ඇසට බාහිරින් එන අනවශ්‍ය ආලෝක කිරණ ඇතුළත් නොවීම නිසා රාත්‍රියේදී සුව නින්දක් ලබාගන්න ඇස් කණ්ණාඩි උදව් වෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *