අකලට පිටියෙන් සමුගත්ත දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෝ

සමහර ක්‍රීඩකයින් ඉන්නවා කොච්චර අසාර්ථක වුණත් නැවත නැවතත් ක්‍රීඩා කරන්න අවස්ථා ලබන. තවත් සමහරු ඉන්නවා තමන්ගේ නියම වයස පහු වෙලත් කණ්ඩායමෙන් ඉවත් කරන තුරුම විශ්‍රාම නොගිහින් ක්‍රීඩා කරන. ඒ අතර තවත් ක්‍රීඩකයින් කොටසක් ඉන්නවා අවාසනාවට හෝ වාසනාව​ට ක්‍රීඩාවෙන් කලින්ම සමුගන්න සිද්ධ වෙන. අද අපේ ලිපියට පාදක වෙන්නේ දක්ෂතා අතර හිටියත්, අකලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත එවැනි ක්‍රීඩකයෝ 7 දෙනෙක් ගැන තොරතුරුයි…

 

1. ක්‍රේග් කීස්වෙටර් (Craig Kieswetter)

එංගලන්තයේ එක්දින සහ විස්සයි විස්ස තරඟ පිටියේ කැපී පෙනෙන තරුවක් හැටියට වැජඹුණු ක්‍රේග් කීස්වෙටර්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවාසනාවක​ට වසර දෙක තුනකට පමණක් සීමා වෙනවා. එයට හේතුව වෙන්නේ පළමු පෙළ තරඟයක් අතරතුර ඔහුට මුහුණ දෙන්නට වුණු අනතුරක් නිසා සිදුවුණු අක්ෂි ආබාධයක්. 2010 එංගලන්තය ජයග්‍රහණය කරපු විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේදී තම කණ්ඩාය​ම වෙනුවෙන් පිත්තෙන් ඉහළම දස්කම් දක්වන්න සමත් වෙච්ච කීස්වෙටර් අවසාන තරඟයේදී අර්ධ ශතකයක්ද වාර්තා කරමින් තරඟයේ වීරයා බවටත් පත් වෙනවා. නමුත් පිටියේදී සිදුවූ අනතුරින් ඇතිවූ අක්ෂි ආබාධය හේතුවෙන් 2015 දී වයස අවුරුදු 27ක්ව සිටියදී ක්‍රිකට් පිටියට සමු දෙන්න කීස්වෙටර්ට සිදු වෙනවා.

 

2. හෙන්රි ඔලොන්ගා (Henry Olonga)

අපේ පරණ ක්‍රිකට් ලෝලීන්ට නම් මේ සිම්බාබ්වේ වේග පන්දු යවන්නාව හොඳින් මත​ක ඇතුවාට සැකයක් නැහැ. අපූරු කොණ්ඩ විලාසිතාවකින් සැරසුණු ඔලොන්ගා හීත් ස්ට්‍රීක් සමග එක්වෙලා සිම්බාබ්වේ වේග පන්දු බලඇණිය සවිමත් කරන්න සමත් වුණු ක්‍රීඩකයෙක්.  සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ පළමු කළු ජාතික ක්‍රීඩකයා හැටියට 1995 වසරේදී ටෙස්ට් වරම් ලබන ඔලොන්ගා 2003 දී සමුගන්නා වි​ට ටෙස්ට් කඩුළු 68ක් සහ එක්දින කඩුළු 58ක් දවාගෙන තිබුණා. 2003 වසරේ ලෝ​ක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරද්දී ඔලොන්ගා සහ ඇන්ඩි ෆ්ලවර් කළු පටි පළඳිමින් එවකට පැවති රොබර්ට් මුගාබේගේ පාලන ක්‍රමයට විරෝධත්වය ප්‍රකාශ කරන්නට කටයුතු කළා. මේ හේතුවෙන් ඔලොන්ගාට මරණ තර්ජන පවා ගලා එන්නට පටන් ගෙන තිබුණා. ඒ ව​ගේම රාජ්‍යයට ද්‍රෝහි වීම නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමටත් නියෝග පැණවුනා. 2003 ලෝක කුසලානය අවසන් වීමෙන් පසු ක්‍රිකට් දිවියට සමු දුන්න ඔ​ලොන්ගා, තම ආරක්ෂාව උදෙසා එංගලන්තයට සංක්‍රමණය වුණා. ඒ වන විට ඔහුට වයස 26ක් පමණයි.

 

3. ග්‍රැහැම් පොලොක් (Graeme Pollock)

1960 දශකයේ දකුණු අප්‍රිකාණු කණ්ඩායමට ක්‍රීඩා කළ ග්‍රැහැම් පොලොක්ව අදටත් බොහෝ ක්‍රිකට් විචාරකයින් හඳුන්වන්නේ දකුණු අප්‍රිකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා වගේම ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දක්ෂතම පිතිකරුවන්ගෙන් කෙනෙක් හැටියටයි. නමුත් අවාසනාවකට වැරදි කාලයකදී දකුණු අප්‍රිකාණු කණ්ඩායමට ක්‍රීඩා කිරීම නිසා ග්‍රැහැම් පොලොක්ගේ ක්‍රිකට් දිවිය අතරමගදී නවතිනවා. ඒ වර්ගවාදී අර්බුද හේතුවෙන් දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තත්ත්වය අහිමි වීම නිසයි. ඒ වන විට ටෙස්ට් තරඟ 23කදී ශතක 7ක් සමගින් ලකුණු 2,256ක් රැස් කරගන්නට පොලොක් සමත් වී සිටි අතර ඔහුගේ ලකුණු සාමාන්‍යය සටහන් වුණේ ඉනිමකට ලකුණු 60ක් හැටියටයි. වයස අවුරුදු 26දී පොලොක්ගේ ක්‍රිකට් දිවිය නිමාවට පත් ​වනවා.

 

4. ජේම්ස් ටේලර් (James Taylor)

වයස අවුරුදු 26 දී ක්‍රිකට් පිටියෙන් සමු ගන්න සිදු වෙච්ච තවත් ක්‍රීඩකයෙක් ව​න ජේම්ස් ටේලර්, සමු ගන්නා විට තම ක්‍රිකට් දිවියේ උපරිම සාර්ථක අවදියකයි පසු වුණේ. ඒ වන විට ලෝක එක්දින ක්‍රිකට් පිටියේ සිටි කැපී පෙනෙන තරුණ ක්‍රීඩකයන් අතරත් ටේලර්ට හිමිවුණේ ප්‍රමුඛ ස්ථානයක්. 2011 වසරේදී එංගලන්තය වෙනුවෙන් එක්දින වරම් ලබන ටේලර්, තම ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි. 2015 ලෝක කුසලානයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 98ක් රැස් කළ ඉනිම ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂීම ඉනිම හැටියටයි වැඩි දෙනෙක් සලකන්නේ. කොහොම නමුත් තරඟ පුහුණුවීමක් අතරතුර සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ටේලර්ට වෛද්‍ය පරීක්ෂණ කීපයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණ වලින් හෙළි වෙනවා ටේලර් යම්කිසි හදවත් රෝගී තත්ත්වයකින් පෙළෙන බව. මේ හේතුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට තහංචි පැණවෙනවා. 2016 වසරේදී ටේලර් තම ක්‍රිකට් දිවියට සමු දෙනවා.

 

5. ටටේන්​ඩ ටයිබු (Tatenda Taibu)

සිම්බාබ්වේ කණ්ඩායමේ කඩුළු රකින පිතිකරුවෙක් වුණු මේ හුරුබුහුටි කුඩා ක්‍රීඩකයා ක්‍රිකට් ලොව කාගේත් ආදරයට ලක් වෙන්න සමත් වුණා. කඩිසර ක්‍රීඩකයෙක් වුණු ටයිබු වයස අවුරුදු 21 දී සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වෙන්නටද සමත් වනවා. ඒ වන විට ලෝකයේ අඩුම වයසකින් ටෙස්ට් නායකත්වයට පත් වූ ක්‍රීඩකයා හැටියට වාර්තා පොත් අතරටත් ටයිබුගේ නම් එක් වෙනවා. නමුත් වයස අවුරුදු 29 දී ක්‍රිකට් ලෝකයම පුදුමයට පත් කරමින් ටයිබු තමන්ගේ ක්‍රිකට් දිවියට සමු දෙනවා. එයට හේතුව දැඩි කිතුණු බැතිමතෙක් වුණු ටයිබු තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලය දෙවියන් වහන්සේට සේවය කරන්නට තෝරා ගැනීමයි. කෙසේ නමුත් 2018 වසරේදී ටයිබු නැවත පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසෙනවා. අපේ ර​ටේ බදුරළිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඔහු 2018-19 වසර පළමුපෙළ ක්‍රීඩා තරඟාවලියට ක්‍රීඩා කරනවා. මේ ගැන ටයිබු සඳහන් කර තිබුණේ ත​ම පුතා තමන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැක නැති නිසා පුතාව සතුටු කරන්නට එම තීරණය ගත් බවයි.

 

6. විජේ භරද්වාජ් (Vijay Bharadwaj)

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් බිහි වූ අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වුණු විජේ භරද්වාජ් 1999 වසරේදී ඉන්දියාව වෙනුවෙන් එක්දින වරම් ලබාගන්නට සමත් වෙනවා. දකුණු අප්‍රිකාව, කෙන්යාව, සිම්බාබ්වේ සහ ඉන්දියාව අතර පැවැත්වුණු සිව්කොන් ක්‍රිකට් තරඟාවලියක් සඳහායි විජේ මුලින්ම ක්‍රීඩා කරන්නේ. මේ තරඟාවලියේ පන්දුවෙන් වගේම පිතිකරණයෙනුත් සාර්ථක වෙන වි​ජේ භරද්වාජ් අවසානයේදී තරඟාවලියේ වීරයා වෙනවා. ඉන්දීය කණ්ඩායමේ අනාගත බලාපොරොත්තුවක් හැටියට බො​හෝ දෙනෙක් විජේ ගැන කතා කරන්න පටන් ගන්නවා. නමුත් විජේට අවාසනාව පළ දෙන්නේ නොසිතූ ආකාරයටයි. ඇස් කණ්ණාඩි පැළඳගෙන ක්‍රීඩා කළ විජේ, එම තත්ත්වයට පිළියම් ලෙස ලේසර් සැත්කම් මගින් ඇස් වල පෙනීම වර්ධනය කරගැනීමේ සැත්කමකට මුහුණ දෙනවා. නමුත් අවසානයේදී එම සැත්කම අසාර්ථක වෙනවා. විජේගේ පෙනීම තිබුණාටත් වඩා දුර්වල බවට පත්වෙනවා. මේ හේතුවෙන් වයස අවුරුදු 27 දී ක්‍රිකට් දිවියට සමු දෙන්න විජේට සිදු වෙනවා.

 

7. ප්‍රභාත් නිස්සංක (Prabhath Nissanka)

අපේ ලිපිය අවසන් කරන්නට අපි තෝරාගත්තේ හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන්නෙක්. ඔහු තමයි ප්‍රභාත් නිස්සංක. ප්‍රභාත්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ වසර 2ක් පමණයි. පැයට කිලෝ මීටර් 140කට ඉහළ වේගයකින් පන්දු යැවූ ප්‍රභාත්, තමන්ගේ මංගල එක්දින තරඟයේදීම පාකිස්ථානයට එරෙහිව ලකුණු 24කට කඩුළු 2ක් දවාගන්න සමත් වෙනවා. මුල් කාලයේදී තරමක් පාලනයකින් තොර පන්දු යැවීමක් පෙන්නුම් කළත්, ක්‍රම ක්‍රමයෙන් ප්‍රභාත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංයමයෙන් සහ නිසි පාලනයෙන් යුතුව පන්දු යැවීම ඇති හැකියාව පෙන්නුම් කරන්න​ට පටන් ගන්නවා. තමන් ක්‍රීඩා කරපු අවසාන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදි බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව කඩුළු 5ක් දවාගන්නටත් ප්‍රභාත් සමත්වෙනවා. නමුත් දණහිසේ ආබාධයක් හේතුවෙන් තමන්ගේ ක්‍රිකට් දිවිය නවතා දමන්නට ප්‍රභාත් නිස්සංකට සිදු වෙනවා. අවුරුදු 23ක් තරම් ලාබාල වියේදී ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන ප්‍රභාත්, පසුව ක්‍රිකට් පුහුණුකිරීමේ අංශයට යොමු වෙනවා.

 

මීට අමතරව අඩු වයසකින් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් වෙනත් දක්ෂ ක්‍රීඩකයින් ගැන මතකයට නැගෙනවානම් ඒ ගැන කමෙන්ටුවක් මගින් අපිට කියන්න කියලා අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *