ඔබ දන්නවා ඇති දැන් අපි සති කීපයක ඉඳන් ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව ආටිකල් කිහිපයක් ඔබ වෙත ගෙන එනවා. අද ආටිකල් එකෙන් අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන විදිය ගැන සරල අවබෝධයක් ලබා දීමයි.
1. ජනාධිපතිකම ලෝකෙට ආපු විදිය
ඇමරිකානු විප්ලවයත් එක්ක ලෝකයේ පළමුවරට ජනාධිපතිවරයෙක් රාජ්‍ය නායකයා බවට පත්වෙන රටක් බිහි වුණා. එතකල් ලෝකයේ පැවතුණේ රාජාණ්ඩු ක්‍රමයේ පාලන ක්‍රම. ඒ දක්වා පැවති ප්‍රජාතන්ත්‍රවාදය ගරු කළ ඒ රටවල්, උදාහරණයක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය නිදහස ලබා ගත්ත මහා බ්‍රිතාන්‍ය තුළ ආණ්ඩුවේ ප්‍රධානියා තෝරාගනු ලැබුවේ මහජන ඡන්දයෙන් තේරී පත්වුණු නියෝජිතයන්ගේ බහුතර කැමැත්තෙන්. නමුත් කලින් සඳහන් කළා වගේම රාජ්‍ය නායකයා වුණේ රජ්ජුරුවෝ හෝ රැජින. නමුත් ඇමරිකානු එක්සත් ජනපද ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය නායකයා තේරීමෙන් පරම බලය හිමි වෙන්නේ ඇමරිකානු එක්සත් ජනපදයේ ඡන්දදායකයා විසින් පත් කරනු ලබන නියෝජිතයන්ටයි. ඒ සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ ප්‍රාන්ත විසින් නියෝජිතයන් තම ජනගහනයට සාපේක්ෂව තෝරා තෝරාපත්කර ගත යුතු අතර, එම නියෝජිතයන්ගේ බහුතර කැමැත්ත ලබා ගන්නා පුද්ගලයා රාජ්‍ය නායකයා බවට පත් වනවා. මෙම ක්‍රමය Electoral College ඡන්ද දායක මණ්ඩලය ලෙස හඳුන්වනු ලබනවා.
2. වැඩි ඡන්ද ලැබුණත් වැඩක් නෑ
ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙම ඡන්දදායක මණ්ඩල මොඩලය නිසා ඇතැම් අවස්ථාවල රටේ බහුතර ඡන්දය එක්තරා අපේක්ෂකයෙකුට ලැබුණත් ඡන්දදායක මණ්ඩල නියෝජිතයන් වැඩි ගණනක් තමන් සතු කර ගැනීමට නොහැකිවීම නිසා ජනාධිපතිවරණයෙන් පරාද වූ අවස්ථා දකින්නට ලැබෙනවා. මෙවැනි සිදුවීම් 1824, 1876, 1888, 2016 වසරවල සිදුවුණා. වඩාත්ම ආන්දෝලනාත්මක උදාහරණය වන්නේ 2000 ජනාධිපතිවරණයයි. ඇල් ගෝර් බහුතර ඡන්ද ප්‍රමාණයක් දිනා සිටියත් ජෝර්ජ් බුෂ් වැඩි ඡන්ද දායක මණ්ඩල නියෝජිතයන් පිරිසක් ලබා ගැනීමට සමත් වුණා. අවසානයේ දී මේ පිළිබඳව අවසන් තීරණය ලබා දෙනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින්
3. වාර්තා පිට වාර්තා තැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්
2016 වසරේ දී බොහෝ දේශපාලන විචාරකයන් වගේම ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය පවා විශ්වාස කළේ හිලරි ක්ලින්ටන් විසින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි කියායි. නමුත් ඒ සියළු සිහින බොඳ කරමින් ඇමරිකානු ජනාධිපති ධූරයට පත් වූ වැඩිමහල්ම තැනැත්තා බවට පත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව ලැබුණා. ව්‍යාපාරිකයකු වූ ඔහු මේ දක්වා පත් වූ ජනාධිපතිවරුන් අතරින් හමුදා හෝ රාජ්‍ය අංශයේ සේවයට එක් නොවූ එකම ජනාධිපතිවරයා ලෙස සැලකෙනවා.
4. ජනාධිපතිවරණයට කාන්තාවක්
ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ වික්ටෝරියා වුඩ්හලුයි (Victoria Woodhull). ඒ 1872 දී. නමුත් ප්‍රධාන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා අපේක්ෂකත්වය ලබා ගැනීමට සමත් වූ පළමු කාන්තාව විදිහට හිලරි ක්ලින්ටන් ඉතිහාසගත වෙනවා. කෙසේ නමුත් ඇයට පරාජය උරුම වුණා.
5. බිල් ක්ලින්ටන්ගේ උරුමය
බිල් ක්ලින්ටන් ලෙස ප්‍රකට වූ මෙම ජනාධිපතිවරයාගේ මුල් නම වන්නේ විලියම් ජෙෆර්සන් බ්ලයිත්. ඔහු ඉපදීමට මාස කීපයකට පෙර පියා මිය ගොස් තිබූ අතර පසුව හෙළිවූයේ ඔහු සහ බිල් ක්ලින්ටන්ගේ මව කර තිබූ විවාහය වලංගු විවාහයක් නොවන බවයි. වසර ගණනාවකට පසුව ක්ලින්ටන් නම් පුද්ගලයෙකු විලියම්ගේ මව විසින් විවාහ කර ගත් අතර ඔහුට ගරු කිරීමට එම වාසගම ක්ලින්ටන් ජනාධිපතිවරයා විසින් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් තම සුළු පියා අතිශයින් කලහකාරී පුද්ගලයකු බව ක්ලින්ටන් ජනාධිපතිවරයා පසුව පවසා තිබෙනවා.
6. දික්කසාද වුණු ජනාධිපතිවරු
ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය දිවුරුම් දීම සිදු කරනු ලබන්නේ බයිබලය මත වීම සම්ප්‍රදායක් නිසා එරට ජනාධිපති ධූරයට පත්වන පුද්ගලයන් ක්‍රිස්තියානි වටිනාකම් අනුව තම ජීවිතය හසුරුවා ගත් පුද්ගලයන් විය යුතු යැයි ඇතැම් ඇමරිකානුවන් විශ්වාස කරනවා. මෙම නිසා ඔවුන්ගේ පවුල් ජීවිතය පිළිබඳවත් යම් අවධානයක් ඇමෙරිකානුවන් විසින් යොමු කරනවා. මේ නිසාම මේ දක්වා ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීම සඳහා දික්කසාද වූවන්ට ලැබී ඇත්තේ අවස්ථා දෙකක් පමණයි. ඒ රොනල්ඩ් රේගන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් හට පමණයි.
7. පින් පළදුන් ජෙරල්ඩ් ෆෝඩ්
ඇමෙරිකානු උප ජනාධිපති ධුරයට සහ ජනාධිපති ධුරයට මැතිවරණයකට ඉදිරිපත් නොවී තේරී පත්වීමට සමත් වුණු එකම පුද්ගලයා වන්නේ ජෙරල්ඩ් ෆෝඩ්. උපජනාධිපති ස්පයිරෝ ඇග්නිව්ගේ ඉල්ලා අස්වීම සමඟ උප ජනාධිපති ධූරයට පත්වූ ජෙරල්ඩ් ෆෝඩ් ඉන් වසරක් ගත වීමටත් පෙර ජනාධිපති නික්සන්ගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ ජනාධිපති ධූරයේ වැඩ බාර ගත්තා. කෙසේ නමුත් ඊළඟ ජනාධිපතිවරණයෙන් ඔහු ජිමී කාටර් ඉදිරියේ පරාජයට පත්වුණා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply