නොබෙල් ත්‍යාග හැර වෙනත් ත්‍යාග තිබේද?

භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව ආදී  ක්ෂේත්‍ර රැසක විශිෂ්ටයන්ගේ දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන උසස්ම සම්මානය සහ ත්‍යාගය ලෙස සැලකෙන්නේ නොබෙල් ත්‍යාගයයි. එහෙත් මේ වන විට නොබෙල් ත්‍යාගවලට විකල්ප ත්‍යාග ගණනාවක් පිළිබඳව අපිට අහන්න ලැබෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක්ට මේ ත්‍යාග පිළිබඳව නිසි අවබෝධයක් නැති නිසා ඒ පිළිබඳව කෙටි සටහනක් ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

 

1. සෛද්ධාන්තික භෞතික විද්‍යාව සඳහා වන බ්‍රේක්තෘ ත්‍යාගය (Breakthrough Prize in Fundamental Physics)

2012 වසරේදී රුසියානු භෞතික විද්‍යාඥයෙකු සහ ධනවතෙකු වන යුරී මිල්නර් විසින් මෙම ත්‍යාගය ලබාදීම ආරම්භ කළා. මේ වන විට මෙම ත්‍යාගය මගින් ලබා දෙන මූල්‍ය වටිනාකම නොබෙල් ත්‍යාග මෙන් දෙගුණයක් වන නමුත් තවමත් මෙය නොබෙල් ත්‍යාගවලට හිමි පිළිගැනීම ලබා ගැනීමට සමත්ව නැහැ. කෙසේ වෙතත් අනාගතයේදී එයද මෙම ත්‍යාගය විසින් හිමි කර ගනු ඇතැයි අනාවැකි පළ කරනු ලබනවා. නොබෙල් ත්‍යාගයට සාපේක්ෂව කැපී පෙනෙන වෙනස්කමක් වන්නේ මෙම ත්‍යාගය සුවිශේෂ සොයාගැනීමක් මත පදනම් කරගෙන වසරකට කිහිප වතාවක් වුවත් පිරිනැමීමට ඇති හැකියාවයි.

 

2. ක්‍රෑෆූර්ඩ් ත්‍යාගය (Crafoord Prize)

ස්වීඩන ජාතික ධන කුවේරයකු වන හොල්ගර් ක්‍රෑෆූර්ඩ් සහ ඔහුගේ බිරිඳගේ දායකත්වයෙන් ඇරඹෙන මෙම ත්‍යාගය ලබාදීමේ වගකීම පැවරී ඇත්තේ ස්වීඩන රාජකීය විද්‍යාත්මක ඇකඩමිය සහ ක්‍රෑෆූර්ඩ් පදනමටයි. තාරකා විද්‍යාව, ගණිතය, භූ විද්‍යාව සහ ජීව විද්‍යාව යන  ක්ෂේත්‍ර සඳහා මෙම ත්‍යාගය හිමි වනවා. නොබෙල් ත්‍යාගය මගින් ආවරණය නොවන ක්ෂේත්‍ර මෙම ත්‍යාගය මගින් ආවරණය කිරීම මෙහි එක් අරමුණක් ද වනවා.

 

3. කාර්ව්ලි ත්‍යාගය (Karvli Prize)

2005 වසරේ සිට පිරිනැමීම ඇරැඹුණු  මෙම ත්‍යාගය පිරිනැමීම සඳහා පාර්ශව තුනක් සිය දායකත්වය ලබා දෙනවා. විද්‍යාව පිළිබඳව නෝර්වීජියානු ඇකඩමිය, අධ්‍යාපනය සහ පර්යේෂණ පිළිබඳව නෝවීජියානු අමාත්‍යාංශය සහ කාර්ව්ලි පදනම එම පාර්ශව තුන වනවා. තාරකා භෞතික විද්‍යාව, නැනෝ විද්‍යාව, ස්නායු විද්‍යාව යන ක්ෂේත්‍ර වලට දායකත්වය ලබාදුන් පුද්ගලයන් අගය කිරීම මේ මගින් අපේක්ෂා කෙරෙනවා. අමෙරිකානු ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක්, රන් පදක්කමක් මේ සඳහා ඇතුළත් වනවා.

 

4. කියෝටො ත්‍යාගය (Kyoto Prize)

1985 වසරේ පටන් වාර්ෂිකව පැවැත්වෙන මෙම ජපන් සම්මාන උළෙල මගින් පිරිනමන ත්‍යාගය, කලා සහ විද්‍යාව යන අංශවල ප්‍රවීණයන්ට ජීවිත කාලයට එක් වරක් පමණක් පිරිනැමෙන උසස්තම ත්‍යාගය ලෙස සැලකෙනවා. විශේෂත්වයක් වන්නේ මෙම ක්‍රියාවලිය සඳහා නොබෙල් පදනමද සිය දායකත්වය ලබා දීමයි. අධි තාක්ෂණය, මූලික විද්‍යා, කලාව සහ දර්ශනය යන අංශ තුන සඳහා මූලිකව මෙම ත්‍යාග පිරිනැමෙන අතර  අදාළ එක් එක් අංශයේ උප ක්ෂේත්‍ර හතරක් දක්වා මෙම ත්‍යාග නැවතත් බෙදී යනවා.

 

5. ටෙම්පල්ටන් ත්‍යාගය (Templeton Prize) 

ලෝවැසියන්ගේ ආගමික විශ්වාස මගින් සහෝදරත්වය ගොඩ නැංවීම සඳහා  ක්‍රියාකරන විශිෂ්ටයන් අගය කිරීම සඳහා මෙම ත්‍යාගය පිරිනැමීම ආරම්භ කරනු ලැබුවා. පළමු ත්‍යාගය දිනා ගනු ලැබුවේ තෙරේසා මවුතුමිය විසිනුයි. කෙසේ වෙතත් මෑත කාලීනව විද්‍යාව සහ ආගම් යන ක්ෂේත්‍ර දෙක මගින් මනුෂ්‍යත්වය වෙනුවෙන් වටිනාකම් එකතු කරන ලද පුද්ගලයන් අගය කිරීම මෙම ත්‍යාගයේ අභිප්‍රාය බවට පත්ව තිබෙනවා. මේ සඳහා අනුග්‍රහය ලබාදීම ජෝන් ටෙම්පල්ටන් පදනම මගින් සිදුකරන අතර බකිංහැම් මාලිගයේදී එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයා විසින් මෙම ත්‍යාගය පිරිනමනු ලබනවා.

 

6. ලැස්කර් ත්‍යාගය (Lasker Award)

වෛද්‍ය විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාවට අදාළ ක්ෂේත්‍රයන් මගින් මනුෂ්‍ය වර්ගයාට සිදුකරනු ලැබූ සේවයක් වෙනුවෙන් මෙම ත්‍යාගය පිරිනැමෙන අතර මේ වන විට ක්ෂේත්‍ර හතරක් වෙනුවෙන් මෙම ත්‍යාගය ලබාදීම සිදු කරනවා. එසේම මෙම ත්‍යාගය ලබා ගන්නා පුද්ගලයින් නොබෙල් ත්‍යාග ලබාගැනීමට වැඩි හැකියාවක් සහිත පුද්ගලයන් බව ඉතිහාසය සාක්කි දරනවා. මේ වනවිට විද්‍යාඥයන් අසූහය දෙනෙක් ලැස්කර් ත්‍යාගය දිනාගැනීමෙන් අනතුරුව නොබෙල් ත්‍යාගයද දිනාගෙන තිබෙනවා.

 

7. ඒබල් ත්‍යාගය (Abel Prize)

ගණිතය සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන මෙම ත්‍යාගය වාර්ෂිකව ගණිතඥයෙක්ට හෝ ගණිතඥයන් කීපදෙනෙක්ට නෝර්වේ රජු අතින් පිරිනැමෙනවා. මෙවැනි ත්‍යාගයක් පිරිනැමීම සඳහා වන අදහස 1899 දක්වා දිව යන අතර එය යතාර්ථයක් බවට පත්වූයේ 2003 දීයි. ආරම්භයේදී ඒබල් පදනම මඟින් මෙම ත්‍යාගය සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දුන්නත්, අද වන විට අදාළ මුදල ලබා දීම සිදු කරන්නේ නෝවීජියානු රජය මගින් වනවා.

 

මේ ආටිකල් එක සඳහා ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මෙම එක් එක් ත්‍යාග සහ ත්‍යාග ලාභීන් පිළිබඳව පරිපූර්ණ විස්තරයක් ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *