වැසිකිළි, කැසිකිළි අවශ්‍යතාවය කියන්නේ මිනිසාට තියෙන පොදු අවශ්‍යතාවයක්. මේ පුද්ගලයාට නම් ඒ වගේ උවමනාවන් ඇතිවෙන්නේ නැහැය කියා මිනිස්සුන්ට කියන්නට පුළුවන් වෙන්නේ රොබෝවරු මිනිස් වාසයට පැමිණි කාලයකදී පමණයි. ඉතින් මේ වැසිකිළි, කැසිකිළි පුරුදු ලොව වටා වෙනස් වෙනවා. ඒත් පොදු සම්මතයක් විදිහට වැසිකිළි කැසිකිළි කටයුතු ඒ සඳහාම වෙන් කළ අවකාශයකදී සිදුකිරීමට මිනිසා සැදී පැහැදී ඉන්නවා. අපේ රටෙත් තැන තැන රෑට කළුවරේ මුත්‍රා කරන අය අඩුවක් නැතත්, දවල් කාලයේදී නම් වැසිකිළි කැසිකිළි නිසි පරිදි පාවිච්චි කරන්නට මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා.
1. මුස්ලිම් කැසිකිළි පුරුදු
ජලය රැඳෙන ස්ථාන වල, ගස් යට සහ පොදු ස්ථාන වල මුත්‍රා කිරීම, මළ පහ කිරීම ඉස්ලාම් ආගම අනුව අයුතු දෙයක් ලෙස නබිතුමා දක්වා තිබෙනවා. එම ස්ථානවල මළ මුත්‍රා පහ කිරීමෙන් ශාපයට ලක්වන බවත් කියා තියෙනවා. මුත්‍රා කළ පසු සිරුරේ ඒ ස්ථානය පිරිසිදු කිරීමේ චාරිත්‍රයක් මුස්ලිම්වරුන් අතර තියෙනවා. ඒ නිසා මුස්ලිම්වරුන්ගේ වැසිකිළි කැසිකිළි වල ඉන්ද්‍රිය පිරිසිදු කරගැනීමේ පහසුකම් තියෙනවා. මුස්ලිම්වරුන්ට අනුව මළමුත්‍ර කරන විට මක්කාව දෙසට හැරී මළ මුත්‍ර කිරීමත්, ඒ අවස්ථාවේදී දෙවියන් සිහි කිරීමත් සුදුසු නැති දෙයක් ලෙස දක්වා තිබෙනවා.
2. කොළඹ ඇති පොදු කැසිකිළි, වැසිකිළි
කොළඹ සහ තදාසන්න නගර වල වැසිකිළි කැසිකිළි පහසුව කලකට පෙර නම් බොහොම නරකට තිබුණා. එත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධනය භාරව සිටි සමයේදී පිරිසිදු වැසිකිළි පද්ධති කොළඹ තැන තැන ස්ථාපිත කෙරුණා. ඒ අනුව වැසිකිළි කැසිකිළි යෑම වඩාත් පහසු වී තිබෙනවා. ඒත් කැසිකිළි යෑමකට රුපියල් විස්සක්, පනහක් අයකරන එක නම් ඇතැම් පුද්ගලයින්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒනිසාම රාත්‍රී කාලයේ ඕනිම කළුවරක මුත්‍රා කරන්නත් මිනිස්සු පෙළඹිලා තියෙනවා. අප වැනි රටවලට පැමිණෙන විදේශිකයින් අතර තවමත් මේ පොදු වැසිකිළි, කැසිකිළි ගැන තිබෙන්නේ නරක අදහසක්. එම නිසාමදෝ දුම්රිය ස්ථාන සහ ඇතැම් පොදු තැන්වල විදේශිකයින්ට වෙනමම වැසිකිළි හදා දෙන්නට බලධාරීන් කටයුතු කරලා තියෙනවා.
3. පැරිස් සහ ලන්ඩන් වල කැසිකිළි
ඕනිම ගහක් යට, තාප්පයක් අයිනේ මුත්‍රා කරන එක මේ අපේ දුප්පත් ආසියාතික රටවල තිබෙන පුරුද්දක්ය, සුද්දාගේ රටවල නම් එහෙම නැහැය හරි හොඳය කියලා විවිධ පුද්ගලික මත රූපවාහිනී වල එහෙම අපිට දකින්නට, අහන්නට ලැබෙනවා. ඒත් ඇත්තටම සුද්දත් දාන්න තැනක් නැත්තන් ගස් යට, තාප්ප අයිනේ මේ කාර්යය කරන්නට පසුබට වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසාම ලන්ඩන් සහ පැරිස් නගර වල මුත්‍රා කරන්නට විවෘත ස්ථාන පිරිමින් වෙනුවෙන් සකසා තිබෙනවා. පැරිසියේ මේ මුත්‍රා පෙට්ටි නිසා ස්වාභාවික තැනකට මුත්‍රා කරනවා හා සමාන විවෘත අවකාශයක මුත්‍රා කරන හැඟීම ලැබෙන බව ඒවා පාවිච්චි කරන අය කියනවා. ඒත් තමුන්ගේ නිවාස කඩසාප්පු ඉස්සරහ උදේ පාන්දරම විවෘතව චූ දාන කෙනෙක් දකින්න ලැබෙන එක ගැන නම් ඇතැම් අය ඉන්නේ කනස්සල්ලෙන්.
4. අපේ ඓතිහාසික වැසිකිළි
අනුරාධපුර යුගයේ ආරාම වල මිහින්තලයේ සහ ස්ථාන කිහිපයකින්ම පෞරාණික වැසිකිළි කැසිකිළි නටබුන් හමු වෙලා තියෙනවා. ඒ අනුව එදා කැටයමින් අලංකාර වූ ස්ථාන කැසිකිළි කටයුතු සඳහා පාවිච්චි කළ බවට අදටත් සාධක තියෙනවා. මේ ආකාරයට කැසිකිළි පෙනුමෙන් වර්ධනය කළා වගේම ඒ කැසිකිළි හරහා ගලා යන අප ජලය පිරිසිදු කරගැනීමට ක්‍රමවේදයක් එදා තිබී ඇති බවත් පුරා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව නූතනයේ සුද්දා හඳුන්වා දුන් කැසිකිළි, වැසිකිළි පද්ධති අපි පාවිච්චි කළත් එදා අපේම වූ ගල් කැසිකිළි තිබූ ජාතියක් ලෙස අපිට ආඩම්බර වන්නට පුළුවන්කම තියෙනවා.
5. ලිංග වෙනස්කම් නැති වැසිකිළි, කැසිකිළි
අපේ පැරණි දුම්රිය ස්ථාන වල තවමත් මහතුන්ගේ වැසිකිළි, මහතුන්ගේ විවේකාගාර, කාන්තා වැසිකිළි ආදී ලෙස වෙන් කර තිබෙනවා. ඒ නිසා පවුලක් ගමනක් යන්නට හෝ ගමනක් ගිහින් ආ විට තැන් දෙකක වැසිකිළි, කැසිකිළි සහ විවේකාගාර වලට යන්නට සිදු වෙනවා. මෙලෙස ලිංග අනුව වැසිකිළි කැසිකිළි වෙන් කර තැබීම අනවශ්‍ය දෙයක් බව දැන් යුරෝපීය සහ ඕස්ට්‍රේලියා, නවසීලන්ත රටවල මතයක් නිර්මාණය වෙලා තියෙනවා. ලිංග දෙකටම පාවිච්චි කරන්න පුළුවන් කැසිකිළි වර්ගයක් හඳුන්වාදෙන්නට ජර්මානුවන්ට උවමනා වෙලා තිබෙනවා. වැසිකිළි කෙසේ වෙතත් පිරිමින්ට වගේ හුදෙක් සිප් එක පමණක් හැර මුත්‍රා කරන්නට හැකියාව ගැහැණු අයට නැති නිසා, විවෘත අවකාශයක ඇඳුම් ඔසවා හෝ පහත්කර කැසිකිළි යන ක්‍රමයක් කාන්තාවන් අතර නම් ජනප්‍රිය වන එකක් නැහැ.
6. වැසිකිළි කැසිකිළි යනවාට සල්ලි දෙන ඉන්දියාව
සුද්දාට රට එපා කරවන ක්‍රමයක් ලෙස එදා නිදහස් සටන කාලේ ඉන්දියානුවන් අපිරිසිදුව සිටි බවට මතයක් තියෙනවා. ඒ අනුව පාරේ මළපහ සහ මළ මුත්‍ර පහ කිරිම ඉතා මෑතක් වනතුරු ඉන්දියානු නගර වල දකින්නට ලැබුණු අප්‍රසන්න දර්ශනයක් වුණා. දැන්දැන් ඉන්දියානුවන් ඒ නරක පුරුද්දෙන් ගලවාගන්නට පොදු වැසිකිළි, කැසිකිළි වලට යන උදවියට ඒ සඳහා දිරි දීමනාවක් ලබා දෙන්න ඉන්දියාව කටයුතු කරලා තියෙනවා.
7. ප්‍රවාහනයේදී වැසිකිළි
ලංකාවේ නම් දුර ගමන් සේවා බස් රිය වල වැසිකිළි නැහැ. ඒ නිසා ඒ බස් රිය නවත්වන ඉතාම අපිරිසිදු තැනක කැසිකිළි පහසුව සලසාගන්නට සිදු වෙලා තියෙනවා. ඒත් බොහෝ රටවල දුර ගමන් යන සැප පහසු බස් වල වෙනමම වැසිකිළියක් තියෙනවා. ඉන්දියාවේ දුම්රිය වල වැසිකිළි, කැසිකිළි අපද්‍රව්‍ය කෙලින්ම දුම්රිය මගට වැටීම ජාතික ගැටළුවක් වුණා. ඒ ඉන්දියාවේ තිබෙන ලක්ෂ ගණනක වැසිකිළි වෙනස් කොට අපද්‍රව්‍ය කෙලින්ම පාරට නොවැටෙන විදිහට හදන්න අවුරුදු 4ක් වත් ගතවෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා. කොහොම වුණත් ලංකාවේ දුම්රිය නම් කැසිකිළි වැසිකිළි අපද්‍රව්‍ය කෙලින්ම පාරට දාන එක ගැනනම් තාම හිතලා නැහැ.
අප්‍රසන්න අත්දැකීම් ගැන කතාකිරීම එතරම් හොඳ නැති වුවත් වැසිකිළි, කැසිකිළි කියන්නේ අපේ අයවැය වාර්තා වල පවා සඳහන් වෙන දෙයක්. 2019 වර්ෂයේ අයවැයෙන් රුපියල් බිලියන 4ක් වැසිකිළි කැසිකිළි ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වෙන් කොට තිබෙනවා. මිනිස්සු බුරුතු පිටින් නාගරික අවකාශ වලට ගාල් වීමත් එක්ක කැසිකිළි කටයුත්ත තවදුරටත් ගමේ බැද්දක් ළඟ පහත් වීමෙන් එහාට ගිහින් තියෙනවා. ඒ එක්ක වැසිකිළි කැසිකිළි පද්ධති මනාව නඩත්තු කළොත් අපේ රටේ පිරිසිදුකම සංචාරකයින් අතරත් හොඳින් ජනප්‍රිය වෙලා රටට හොඳ නමක් අත් කර දේවි.
Leave a Reply