වයසට ගියහම ඔලුවේ කරදරයක් නැතුව ජීවත් වෙන්න නම් දැන් තියාම මූල්‍ය කටයුතු සැලසුම් කරමු

සාමාන්‍යයෙන් ලංකාවේ වගේ රටක වයසට යනවා කියන එකත් හෙනම ගේමක්නේ. ළමයි උස්මහත් කරලා, උගන්නලා කරලා, දීග තලග දීලා ඉවර කරාට පස්සෙත් ඉතින් ලංකාවේ නං අම්මලා තාත්තලාගේ වගකීම් ඉවර නෑ. ළමයින්ගෙ ළමයි බලන්නත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔය යුතුකම් වගකීම් ඔක්කොමත් ඉවර කරලා බලනකොට වයස්ගත ජීවිතේ වුණත් හොඳ කාලේ ගිහිල්ලා. හැබැයි ඒක එහෙම වෙන්න ඕන නැහැනේ. දරුමල්ලොන්ගේ කටයුතු කරලා දීලා ඒ අයට ඒ ජීවිතේ කරගෙන යන්න ඇරලා, තමන්ගේ ජීවිතෙත් සැඳෑ සමය තමන්ගේ ෆන් එකේ, සුවපහසුවෙන් ගත කරන්න නම්, තමන්ගේ සැඳෑ සමය දැන්ම තියාම හරියට ප්ලෑන් කරගන්න වෙනවා. ආන්න ඒ ප්ලෑන් එක සඳහා වැදගත් වෙන ටිප්ස් කීපයක් තමයි මේ කියන්න යන්නේ.

 

1. දැන්ම තියාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්

දැන් බලන්න එපා ෆයිනෑන්ස් ගැන කියන්න ඇවිත් මොනවද සෞඛ්‍යය ගැන කියන්නේ කියලා. ඇත්තටම මේක බොහොම වැදගත්, බරපතළ පොයින්ට් එකක්. ඇයි එහෙම කියන්නේ? ජීවිතේ සැඳෑ සමය, ඒ කියන්නේ වයස්ගත කාලය කියන්නේ අර තරුණ කාලේ නෙවෙයි. වයස්ගත වුනත් කොල්ලා වගේ කෙල්ල වගේ ඉන්න එක වෙනම දෙයක්. ඒත් සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්ට වයසට ගියාට පස්සේ ශරීර සෞඛ්‍යය එක්ක ගැටළු එනවා. ශරීර සෞඛ්‍යය පිරිහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉතින් වැය තමයි. රජයේ රෝහලකට ගියත් අපිට වියදම් නං යනවා. හැබැයි අපි දැන්ම තියාම ශරීර සෞඛ්‍යය ගැන හිතුවොත්, ශාරීරික සුවතාවය ගැන අවධානය යොමු කරලා, සෞඛ්‍ය සම්පන්න ආහාර පාන වලට, හොඳ සෞඛ්‍ය පුරුදු වලට යොමු වෙලා ජීවත් වුනොත්, වයසට ගියත් හිතෙන් වගේම ගතින් වුනත් තරුණව ජීවත් වෙන්න පුළුවන්. ආන්න එතකොට වයස්ගත කාලේදි සෞඛ්‍යය පිරිහීම නිසා නිසා කරන්න සිද්ධ වෙන අනවශ්‍ය වියදම් අඩුකරගන්න පුළුවන්.

 

2. ණය ඉතුරු කරගන්න එපා

මේක නම් සෑහෙන්න අමාරු වැඩක්. හේතුව මේකයි. අද කාලේ මධ්‍යම පංතියේ අපි විතරක් නෙවෙයි, ව්‍යාපාරික පංතියේ අය පවා දුවන්නේ ලෝන්, ලීස් අරවා මේවා එක්ක තමයි. ඒ නිසා සම්පූර්ණයෙන්ම ණය තුරුස් ඉවර කරනවා කියන එක ටිකක් අමාරු වැඩක්. දැන් මෙහෙමයි, මේකේ පැති දෙකක් තියෙනවා.

 

ඔය ගොඩක් ඉහළ ව්‍යාපාරික ප්‍රජාව එහෙම බැංකු ණය අනං මනං ගන්නේ ඒකෙන් ලාභයක් උපද්දවන්න. අන්න ඒක නරක නෑ. තමන් ගන්න ණයෙන් තමන්ට ලාභ ලැබෙනවා නම්, අඩු තරමින් වැඩි වටිනකමක් ඉතුරු වෙනවා නම්, එතකොට ඒ ලැබෙන ලාභයෙන් ණය වාරික ගෙවලා දාන්න පුළුවන් නම්, කොටින්ම කියනවා නම් ණය ගෙවන එක තමන්ගෙ එදිනෙදා ෆයිනෑන්ස් වලට දැනෙන්නේ නැතිනම් අවුලක් නෑ. මේක ඔය මූල්‍යකරණය ගැන එක්ස්පර්ට් කෙනෙක් වඩාත් හොඳට පැහැදිලි කරයි.

 

හැබැයි එහෙම නැතුව ඔය යක්ස ගාණක වාහනයක් ගන්න ලක්ස ගාණක ණයක් ඇදගෙන යනවා නං, ණය ඉවර වෙනකොට වාහනේ හොඳ හරියත් ඉවර නං, එහෙම නැත්තං ලෝකෙට පරකාසේ මගුලක් එහෙම කන්න ලක්ස ගණන් ණය අරගෙන ගෙව ගෙවා යනවා නං, ඔක්කොමත් හරි ඔය ණය තුරුස් විශ්‍රාමික කාලේ වෙනකොටත් ඇදි ඇදී එනවා නං අන්න එව්වා ප්‍රශ්න. ඒ නිසා එහෙම වෙනවට වඩා හොඳයි ණය තුරුස් සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාන එක.

 

3. විශ්‍රාම වැටුපක්?

විශ්‍රාම වැටුපක් ඉතින් හැමෝටම හම්බුවෙන්නෙ නෑනේ. ආන්න ඒ නිසා එහෙම විශ්‍රාම වැටුපක් හරි නැත්තං, ඒකට විකල්පයක් හදාගන්න ඕන. එක්කෝ ඔය බැංකු වලින් තියෙන විශ්‍රාම වැටුප් සැලසුමකට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් බැංකුවට රක්ෂණයක් ගෙවනවා වගේ මාස්පතා ගාණක් ගෙවනවා. එතකොට මහළු වයසෙදී ඒක පොලියකුත් එක්ක ආපිට ලැබෙනවා. සමහරු ඉන්නවා කෙලින්ම ඔය ලක්ෂ බර ගාණක ග්‍රැටිවිටි එකක් එහෙම ලැබුණහම, ඒක බැංකුවේ දාලා පොලියෙන් ජීවත් වෙනවා. ඔය මොකක් හරි කමක් නෑ, සැඳෑ සමයට ජීවත් වෙන්න සොලිඩ් බේස් ආදායමක් තියෙන්න ඕන.

 

4. සේවින්ග්ස් ඇතිද?

මෙන්න මේක බොහොම ට්‍රිකි දෙයක්. සාමාන්‍යයෙන් අපිව බැංකුවලින් දිරිමත් කෙරෙන්නේ ඉතුරු කරන්නනේ. හැබැයි ඇත්ත කතාව මේකයි. ඉතුරුම් ගිණුමකින් ලොකු මාසික ආදායමක් ලබාගන්න නම්, අඩු ගාණේ ලක්ෂ බර ගාණක් බැංකුවේ දාන්න ඕන. හැබැයි ඉතින් මධ්‍යම පංතියේ මනුස්සයෙක්ට එහෙම ලොකු ගාණක් ලැබෙන්න නම් හොඳ රස්සාවක ඉහළ සර්විස් එකක්වත් තියෙන්න ඕන. ඉතින් එහෙම නැතිනම්, අර උඩින් කියපු විදියේ විශ්‍රාම ආදායම් ප්ලෑන් එකක් එක්ක, තව දෙයක් තියෙන එක වටිනවා. ඒක ඥාණවන්ත ආයෝජනයක් වෙන්න පුළුවන්. සැඳෑ සමයේදී චිල් එකේ ඉඳගෙන කරන්න පුළුවන් ඉපැයුම් මාර්ගයක් වෙන්න පුළුවන්. වැදගත්ම දේ ඒ විදියේ ප්ලෑන් එකක් තියෙන එක.

 

5. අනුන් වෙනුවෙන් උගුල් වල අහු නොවෙන්න

ඇත්තටම මෙව්වා ෆයිනෑන්ෂල් ප්ලෑනින් වලට අදාළ වෙන්නෙත් නෑ. දැන් සාමාන්‍යයෙන් වයසක ඉන්න තල්ස්තෑනි මනුස්සයෙක් කියන්නේ වෘත්තිමය පැත්‍තෙන් හොඳ සර්විස් එකක් සහ සීනියෝරිටි එකක් තියෙන මනුස්සයෙක්නේ. එතකොට ගොඩක් වෙලාවට ඔය ලෝන් වලට, ලීස් වලට එහෙම අත්සන් කරන්න තියෙන සුදුසුකම නිකම්ම එහෙම කෙනෙක්ට තියෙනවා. ඒ නිසාම ඔය අනං මනං වලට අත්සන් කරගන්නත් කට්ටිය එහෙම එස්ටැබ්ලිෂ් වුණු අපි වගේ උන්දැලා ගාවට එනවා. හැබැයි පුතෝ, ඔය ෂුවර්ම ෂුවර්ම ලෝන් එකකට ලීස් එකකට නෙවෙයි නං මළාට අත්සන් කරන්න යන්න එපා. එතකොට ඔය රාජ්‍ය සේවයේ ඉන්න උන්දැලා එහෙම අනුන්ට ලෝන් අරං දෙන්න යන්නත් එපා. එතනින් එහාට අනිකා පොල්ල තිබ්බොත් ජීවිතේ සැඳෑ සමයේ ප්ලෑන් ඉවරයි!

 

6. මූල්‍ය සාක්ෂරතාවය සහ උද්ධමනය සහ ඉකොනොමික් ට්‍රෙන්ඩ්ස්

මේක ඇත්තටම වයසට යන්න හිතාගෙන ඉන්න, මැද වයසක මනුස්සයෙක්ට වගේම සීනියර් සිටිසන්ස් කෙනෙක්ටත් ඉතාම වැදගත්. විශේෂයෙන්ම මේ කොරෝනා කාලේ එහෙම ගත්තත්, ලෝක ආර්ථිකය බොහොම වේගයෙන් වෙනස් වෙනවා. ඔය ඔෆිස් රස්සා කරන හාදයෝ විට්ස් එකේ පිටිපස්ස ඇරගෙන පාර අයිනේ කරෝල විකුණන්නේ හාඩප් නිසාද? ඇත්තටම හාඩප් නිසා කියනවට වඩා ආර්ථිකේ යන ට්‍රෙන්ඩ් එක පෙරදැකලා නිසා කිව්වොත් හරි. ඇත්තටම මේ කියන්නේ පොඩ්ඩක් පත්තර නිව්ස් වල බිස්නස් සෙක්ෂන් එහෙම කියවන්න, ලෝක ආර්ථිකය දිහා අවධානෙන් බලාගෙන ඉන්න. තමන් කරන රැකි රක්ෂාවලට පවා රෙඩ් ලයිට් පත්තුවෙනවා නම් ඒවා කලින්ම දැකලා, අනුවර්තනය වෙන්න. අන්න එතකොට ජීවිතේ සැඳෑ සමයෙත් හරකෙක් වගේ බර අදින්න වෙන්නෙ නෑ. 

 

7. යුතුකම් ඉටු කරමු

මේකත් ඉතින් මූල්‍ය කටයුතු වලට අදාළ නෑනේ? නෑ අදාළයි. දැන් අපි ළමා ළපටින්ව හදනවා නම්, සමහර වෙලාවට අපි දකිනවා ළමයින්ටත් ළමයි ඉන්න කාලෙටත් ළමයි එනවා අම්මා තාත්තා ගාවට සල්ලි ඉල්ලගෙන. කවදාවත් අන්න ඒ ලෙවල් එකට ළමයි බමයි හදන්න එපා කියන එක තමයි මේ කියන්නේ. අනෙක් අතට, ජීවිතේ අවසාන කාලෙදී ළමයින්ගෙන් යැපෙන්න බලාගෙන ළමයි හදන්නත් එපා. දරුවන්ට උපරිම අධ්‍යාපනය ලබාදීලා, ජීවත් වෙන සාස්තරේ කියලා දීලා, කසාදයක් එහෙම කරලා දීලා, උරුමයක් එහෙමත් දීලා වැඩ ඉවර කරන්න. කිසිදෙයක් අල්ලගෙන ඉන්න එපා. අන්න ඊට පස්සේ ළමයි තනියම තමන්ගේ ජීවිතේ වගකීමෙන් ගෙනියන්න ඕන කියන එකත් ඒ එක්කම කියලා දෙන්න. තමන්ගේ ජීවිතේ සැපවත්ව ඉවර කරගන්න තියෙන මූල්‍ය සැලසුම්, ළමයින්ට අතමාරු විදියට දෙන්න තියාගන්න එපා. මේක නෑදෑ හිතමිත්තරයෝ සම්බන්ධෙනුත් එහෙමම තමයි.

 

ඇත්තටම මේවා කෙලින්ම මූල්‍ය උපදෙස්ම කියන්නත් බෑ. හැබැයි, මේ දේවල් හරියට සැලසුම් කරගත්තොත්, අන්න ඊලඟට පුළුවන් වඩාත් ටෙක්නිකල් මූල්‍ය උපදෙස් ගැන හිතන්න. ඒවාත් අපි ඉස්සරහට බලමු!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *