මොන ජගතා හමුවේ බය නැති සුරුවිරුකම පාන වීරයෙක් වුණත් ලෙඩක් හැදුනාම අසරණයි. සල්ලි, මිලමුදල්, තත්ත්වය, ජීවන රටාව ඒ කිසි දෙයක් බෝවන රෝගයකට අදාළ නැහැ. කොවිඩ් රෝගය ලෝකයේ දියුණුම රටවල් පවා රෝගයෙන් අසරණ කරලා දැම්මා. ලක්ෂ ගණනක් මිය පරලොව ගිය කොවිඩ් අනතුර තවමත් පහව යන පාටක් නැහැ. අපිට ඉස්සරහට අපි කොපමණ අකමැති වුනත් කොවිඩ් සමග ජීවත් වෙන්න කාලයක් ඒවි කියලා තමයි වසංගතවේදීන් බොහොමයක් මත පළ කරන්නේ. ඉතින් කොවිඩ් වල දීර්ඝකාලීන බලපෑම් ගැන තියෙන කරුණු ටිකක් අපි සොයා බලමු.
1. කොවිඩ් 19 කොපමණ ප්‍රමාණයකට අමාරු වෙනවද?
කොවිඩ් 19 හැදෙන අයගෙන් බහුතරයකට අමාරු වෙන්නෙ නැහැ. සාමාන්‍ය රෝග තත්ත්වයක් තමයි වාර්තා වෙන්නේ. වැළඳෙන අයගෙන් 10%-15% අතර ප්‍රමාණයකට අමාරු වෙනවා. 5%කට ටිකක් අමාරු වෙලා දැඩි සත්කාර දෙන්න ඕනි වෙනවා. සාමාන්‍යයෙන් කොවිඩ් 19 හැදුනාම හොඳ වෙන්න සති 2 සිට 6 දක්වා කාලයක් ගන්නවා. තවත් සුළු පිරිසක් කොවිඩ් 19 වැළඳිලා සතියෙන් දෙකෙන් හොඳ වෙන්නෙැතුව සති ගණනාවක් පුරා විහිදෙන විවිධ රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවා. කොවිඩ් 19 වලින් අමාරු වීමත් මරණයට පත් වීමත් දේශයෙන් දේශය අනුව වෙනස් වෙනවා. ඉන්දියාවේ මිලියන ගණනක් රෝගීන් වාර්තා වුණත් ඔවුන්ගේ මරණ අනුපාතිකය සියයට එකකටත් වඩා අඩු මට්ටමක තියෙනවා.
2. හැදෙන රෝග ලක්ෂණ
තෙහෙට්ටුව – සාමාන්‍ය තරමට වඩා විඩාවක් සාමාන්‍ය වෛරස් උණකදි හැදෙනවා. ඒ විදිහේ දැඩි විඩාවක්, මහන්සියක්, ඇඟට අමාරු ගතියක් කොවිඩ් හැදුනාම ඇති වෙනවා.
කැස්ස සහ හුස්ම – හුස්ම ගැනීමේ දුබලතාවය කොවිඩ් වල මුලික රෝග ලක්ෂණයක්. ඒ එක්ක හුස්ම කෙටි වීම සහ කැස්සත් ඇතිවෙන්නට පුළුවන්.
හිස කැක්කුම සහ ඇඟපත වේදනාව – හිසේ කැක්කුම් තත්ත්වයක් සාමාන්‍ය උණකදී වගේම මේකෙදිත් එන්නට පුළුවන්. ඒ වගේම සිරුරේ හන්දි සහ ඇඟපත වේදනාවක්ද කොවිඩ් සමග රෝග ලක්ෂණ විදිහට එනවා.
පපුවේ අමාරුව – කොවිඩ් වලින් පෙනහළු වලට ආසාදන ඇතිවෙන නිසා කොවිඩ් වැළඳුනාම පපුවේ කැක්කුමක්, අමාරුවක් විදිහටත් එය මතුවෙන්නට ඉඩ කඩ තියෙනවා.
රස සුවඳ නොදැනීම – ස්නායු පද්ධතියේ යම් යම් දුබලතා නිසා රස සහ ගඳ සුවඳ දැනීමද කොවිඩ් වැළඳුණු පසු අඩුවෙන්නට පුළුවන්.
3. සම්පූර්ණයෙන් හොඳ වුණු බව සොයාගන්නේ කොහොමද?
මේක සංකීර්ණ ගැටළුවක්. කොවිඩ් 19 දීර්ඝ කාලයක් ආසාදනය වෙච්චි වගේම කිහිප අවස්ථාවක් ආසාදනය වුණු අයත් කලාතුරකින් හමු වෙනවා. කොවිඩ් 19 කියන්නේ අපි වගේ රටවලට විතරක් නෙමෙයි, ඇමරිකාව වගේ දියුණු රටවලටත් අලුත් ලෙඩක්. ඒ නිසා ඒ ගැන තියෙන සායනික පර්යේෂණ අඩුයි. කොවිඩ් වැළඳී සම්පූර්ණයෙන්ම හොඳ වුණා කියලා සහතික වෙන එක වෛද්‍යවරුන්ටත් ගැටළුවක් වෙලා තියෙනවා. මේ කොවිඩ් සෑදෙන 18-34 වයස් කාණ්ඩයේ අයගෙන් 20%කට පමණ දීර්ඝකාලීන අපහසුතා, රෝග ලක්ෂණ පවතින බව සොයාගෙන තියෙනවා. අධි රුධිර පීඩනය, මානසික දුබලතා සහ වෙනත් නිධන්ගත රෝග තියෙන අය කොවිඩ් හැදුනාටත් පස්සේ වඩාත් පරෙස්සම් වන එක නුවණට හුරුයි කියලා වෛද්‍යවරු කියනවා.
4. කොවිඩ් පසු බලපෑම් ගැන පර්යේෂණ
මීට කලින් ලෝකෙට ආපු කොරෝනා වෛරස දෙකයි. එකක් සාර්ස්, අනෙක මර්ස්. ඒ දෙකම මේ තරම් දැඩිව ලොව පුරා පැතිරුණේ නැහැ. මර්ස් පැතිරුණේ ඔටුවන්ගෙන් මිනිස්සුන්ට පමණයි. ඇරත් ඒ මර්ස් වලදී මිනිසුන් මැරෙන ප්‍රතිශතය සාපේක්ෂව බොහොම වැඩි වුණා. සාර්ස් වැළඳුන රෝගීන් සම්බන්ධ කරගෙන කරපු පර්යේෂණ වලින් වසර තුනකට පසුත් සාර්ස් වැළඳුන අයගෙන් 40%ක් පමණ යම් යම් දුබලතාවයන් පෙන්වන බව සොයාගෙන තිබුණා. කොවිඩ් හරහා ඇතිවන පසු බලපෑම් ගැන කොවිඩ් ඇතිවී මාස ගණනාවක් ගියත් තවමත් එතරම්ම පර්යේෂණ කටයුතු සිදුවෙලා නැහැ.
5. කොවිඩ් 19 දිගුකාලීනව බලපැම් කළ හැකි පද්ධති
හදවත – කොවිඩ් 19 මගින් හදවත් රෝගීන්ට තිබෙන බලපෑම් වැඩියි. මේ රෝගය මගින් හදවතේ පේශි වලට නරක බලපෑම් කරන නිසා පසුකාලීනව හදවත් රෝග වැළඳීමේ අවදානම තරමක් වැඩියි.
පෙනහළු – කොරෝනා වෛරසය කෙලින්ම පහර එල්ල කරන පෙනහළු වල දුබලතාවයන් නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්නට පුළුවන් දිගුකාලීනව.
මොළය සහ ස්නායු පද්ධතිය – කලින් කීවාක් මෙන් ගඳ, සුවඳ, රස නොදැනීමේ තත්ත්වය කොවිඩ් සනීප වුණු ඇතැම් රෝගීන්ටත් කලක් යනතෙක් තියෙනවා. ඒ වගේම මතකය ගිලිහෙන, මොළයේ වැඩකටයුතු දුර්වල වෙන ගතියකුත් යම් කොවිඩ් හොඳ වුණු රෝගීන් පිරිසකට වාර්තා වෙනවා.
පේශි පද්ධතිය – කොවිඩ් හැදී හොඳ වෙන තරුණ පිරිස් අතර පවා ඇතැම් අයට මුලින් තිබූ තත්ත්වයට සිරුර එන්නේ නැති ගතියක් තිබෙන බව ඔවුන් කියනවා. ඔවුන් කියන ආකාරයට කලින් හොඳට ක්‍රියාශීලී වෙලා තිබුණ සිරුර දැන් මලානික, කම්මැලි අපහසු ගතියකට ලක් වෙලා තියෙනවා. මේ තත්ත්වය බොහෝවිට පේශි දුබලතා සහ ඉන්ද්‍රිය වලට සිදුවූ හානි නිසා ඇතිවන්නට පුළුවන්.
6. ලෙඩුන්ට ඇතිවන දුබලතා
ඇතැම් කොරෝනා ලෙඩුන් ලෙඩ වූ කාලසීමාව ලොකු අවුලක් නැතුව ගත කළත් සති දෙක තුනකට පසුව යම් යම් දුබලතා වාර්තා වුණු අවස්ථා තියෙනවා. දියුණු රටවල හැම කොරෝනා රෝගියාම ඉස්පිරිතාල වලට ගියේ නැහැ. බොහෝ තරුණ පිරිස් ගෙවල් වලට වෙලා විවේක සුවයෙන් කොරෝනාවට මුහුණ දුන්නා. ඒත් ඔවුන්ට පසු බලපෑම් තිබෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න යොමුවන්න කියලා තමයි ඒ රටවල වෛද්‍ය අංශ කියලා තියෙන්නේ. අපේ රටේ දැනටත් කොවිඩ් වැළඳෙන සියළුම දෙනා පාහේ රෝහල් වෙත යොමු කරනවා. ඒ නිසා පසු බලපෑම් ගැන වුවත් වැඩි අවධානයක් ඔවුන් වෙත යොමු වෙනවා ඇති.
7. ඈත් වීමේ වැදගත් කම
කොරෝනා වෛරසය මරණීය වෛරසයක් වුවත් එයින් තරුණ සහ යොවුන් වියේ අයට මරණය හිමි වෙන අවස්ථා බොහෝම අඩුයි. ඒත් බාල තරුණ අයට පවා කොවිඩ් රෝගයේ බලපෑමෙන් වහන් වෙන්නට බැහැ. ඔවුන්ට මරණය තෙක්ම නොගියත්, විවිධ රෝග ලක්ෂණ, ආබාධ කලක් යනතුරු පෙන්නුම් කරන්නට පුළුවන්. කොවිඩ් 19 වලින් ඈත් වෙන එක එක ලේසි වැඩක් නෙමෙයි. නිතර අත් හෝදලා, මාස්ක් දාලා, දුරස්ථ බව පවත්වාගෙන හිටියා කියලා යමෙක්ට කොරෝනා නොවැළඳීමේ ඉන්ද්‍රජාලික බලයක් සිරුරට ලැබෙන්නේ නැහැ. ඒත් එහෙම හොඳ පුරුදු තියාගෙන හිටියොත් අපිට කොරෝනා වැළඳෙන්න තියෙන අවදානම සෑහෙන දුරකට අඩු වෙනවා. අපි රෝගයෙන් ආරක්ෂා වුණොත්, ඒ නිසා අපේ ළමයි, දෙමාපියන්, ගෙදර අයට රෝගය ගෙනියන්නේ නැතුව එයාලත් ආරක්ෂා කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා.
Leave a Reply