අධික ඔසප් වේදනාව ඇතිවෙන්න බලපාන්න පුළුවන් හේතු

ඔසප්වීම කියල කියන්නෙ වැඩිහිටි කාන්තාවන් හැම කෙනෙකුගෙම ශරීරයේ මාසිකව සිදුවෙන සංසිද්ධියක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවනෙ. මේ ඔසප්වීම පවතින දින කිහිපය ඉතින් කාන්තාවන්ට වෙනදා තරම්ම පහසුවෙන් වැඩ රාජකාරි කරගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ දවස්වලට සිදුවෙන හෝර්මෝන වෙනස්වීම් සහ අපහසුතාවයන් නිසා ඒ දවස් ටිකක් කරදරකාරී. ටිකක් නුරුස්සනා ගතිය, මද වශයෙන් දැනෙන බඩේ කැක්කුම සහ ඔය පොඩි පොඩි අපහසුතා මේ දවස්වලට සාමාන්‍ය දේවල්. හැබැයි එදිනෙදා ජීවිතේ වැඩ රාජකාරි කරගන්න බැරි මට්ටමට බඩ, කොන්ද සහ කලවා ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවෙන දරුණු වේදනාව, අධික රුධිර වහනය, අධික තෙහෙට්ටු ගතිය හෝ කලන්තය වගේ දේවල්නම් කිසිසේත්ම සාමාන්‍ය නැහැ. ගැහැනුන්ට උරුම වේදනා කියල ඒ වගේ දරුණු මට්ටමේ ලක්ෂණ නොසලකා හරින්න බැහැ කොහොමටවත්ම. මොකද සාමාන්‍ය ඔසප්විමකදී එහෙම ටිකක් දරුණු මට්ටමේ ලක්ෂණ පෙන්වන්න ශරීරයේ, විශේෂයෙන්ම ගර්භාෂය ආශ්‍රිත වෙනත් සෞඛ්‍යමය තත්ත්වයක් හේතු වෙන්න පුළුවන්. 

අද මේ කතා කරන්න යන්නෙ එහෙම දරුණු මට්ටමේ ඔසප් වේදනාවන් ඇතිකරන්න හේතුවෙන්න පුළුවන් ලෙඩ රෝග කිහිපයක් ගැනයි. මේ දේවල් කියවල දැනුවත් වෙලා ඉන්න එක වගේම, හිතට පුංචිම හරි සැකයක් දැනෙන මට්ටමට ඔසප් වේදනාවන් හෝ රුධිර වහනය වැඩියි නම් සුදුසුකම්ලත් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ගන්න එකත් බොහොම වැදගත්.

 

1. Endometriosis

Endometriosis කියල කියන්නෙ ගර්භාෂය ආශ්‍රිතව ඇතිවෙන රෝග තත්ත්වයක්. සාමාන්‍යයෙන් ගර්භාෂය ඇතුළත තියෙන සියුම් හම වගේ හම් පටක ගර්භාෂ බිත්තියේ නැතුව ඊට පිටත, ඒ කියන්නෙ ඩිම්බකෝෂ, පැලෝපීය නාලය වගේ තැන්වල බැඳෙන එක තමයි මේ රෝගයේ ස්වභාවය. මේ තත්ත්වය නිසා ලේ පිරුණු ගෙඩි වගේ තත්ත්වයන් මේ ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් වගේම පසුකාලීනව දරුඵල සම්බන්ධ ගැටළු ඇතිවෙන්නත් පුළුවන්. කොහොම උනත් අපි අද මේ කතා කරන මාතෘකාවට අදාළව අධික ඔසප් වේදනා ඇතිවෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි මේ  Endometriosis කියන රෝග තත්ත්වය. සාමාන්‍යයෙන් ඔසප්විමේදී ගර්භාෂ බිත්තිය ඇතුළතින් බැඳෙන මේ සියුම් පටක කොටස් කැඩිලා ශරීරයෙන් ඉවත් වෙනවනේ. මේ Endometriosis කියන තත්ත්වය තියෙන කාන්තාවන්ගේ එහෙම පිටවීමේදී ගර්භාෂයේ වෙනත් ස්ථානවල පිටතින් බැඳුනු සම් කොටස් පවා කැඩිලා ඉවත් වෙන්න උත්සාහ කිරීමත්, හැබැයි ඒවා ලේසියෙන් ඉවත් වෙන්න බැරි තැන්වල පිහිටලා තිබීමත් නිසා මේ විදිහට අධික වේදනාවන් ඇතිවෙන බව තමයි වෛද්‍යවරු කියන්නෙ.

 

2. Polycystic Ovarian Syndrome (PCOS)

මේ Polycystic Ovarian Syndrome නැත්තම් PCOS ගැන අපි මීට කලින් සෑහෙන්න විස්තරාත්මකව කතා කළා මෙන්න මේ ලිපියෙන්. ගර්භාෂයේ හෝර්මෝන ආශ්‍රිතව ඇතිවෙන මේ රෝග තත්ත්වය නිසාත් ඔසප් වේදනා අධික වෙන්න පුළුවන්. මේ ඇතිවෙන හෝර්මෝන අසමතුලිතතාවය නිසාම තමයි ඔසප් වේදනාවන් අධිකව දැනෙන්නත් පුළුවන්.

 

3. ගර්භාෂයේ ඇතිවෙන Fibroids

Fibroids ගැනත් අපි මෙන්න මේ විදිහට කතා කළා කලින් අවස්ථාවක. එතනදිත් අපි කතා කළා මේ fibroids නිසා අධික ඔසප් වේදනාවන් සහ රුධිර වහනයන් වෙන්න පුළුවන් බව. ගර්භාෂයේ ඇතුළත මාංශ පේශී ස්වාභාවිකවම සංකෝචනය වෙමින් රුධිර නාල පාලනය කරන එක තමයි අපිට සාමාන්‍යයෙන් මද වශයෙන් බඩ රිදීමක් විදිහට දැනෙන්නෙ. හැබැයි මේ fibroids හෙවත් ගර්භාශයේ ඇතුළත ඇතිවෙන ගෙඩි නිසා මේ සංකෝචන හැකියාවට බාධා ඇතිවෙලා රුධිර වහනය වැඩිවෙන්න වගේම වේදනාවන් ඇතිවෙන්න පුළුවන්.

 

4. තඹ උපත් පාලන ලූප්

 

උපත් පාලන ලූප් කියන්නෙ තාවකාලික උපත්පාලන ක්‍රමයක්. ඒ වගේම හෝර්මෝන වලින් තොර උපත්පාලන ක්‍රමයක්. ඒ නිසාම හුඟක් දෙනෙක් මේ උපත්පාලන ක්‍රමය තෝරාගන්න හරිම කැමතියි. මේ අතරින් මේ තඹ උපත් පාලන ලූප් භාවිතයේදි සාමාන්‍යයෙන් මුල් මාස කිහිපයේදී සමහරක් කාන්තාවන්ට අධික රුධිර වහනයන් වගේම අධික ඔසප් වේදනා තත්ත්වයන් ඇතිවෙන්නත් පුළුවන්. හැබැයි මේ වෙනසට ශරීරය හුරු වෙනවත් එක්කම, ඒ කියන්නෙ මුල් මාස 6න් පස්සේ වගේ මේ ගැටළුව මඟ හැරිලා යන්න පුළුවන්.

 

5. හෝර්මෝන අසමතුලිතතා  

සාමාන්‍ය ඔසප් වීමකට ශරීරයේ ඒ කියන්නෙ ගර්භාෂය ආශ්‍රිතව ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝර්මෝන දෙවර්ගයේ සමතුලිතතවය බොහොම වැදගත්. හැබැයි PCOS, අධික ස්ථුලතාවය, ඉන්සියුලින් සම්බන්ධ ගැටළු හෝ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු නිසා මේ හෝර්මෝන වල අසමතුලිතාවයන් ඇතිවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ හෝර්මෝන සමතුලිතව වැඩකරලා තමයි ගර්භාෂය ඇතුලත බැඳෙන endometrium කියන සියුම් පටකය නිර්මාණය කෙරෙන්නේ. හැබැයි ඒ හෝර්මෝන අසමතුලිත උනහම මේ බැඳෙන හම අවශ්‍ය ප්‍රමාණයට වඩා ඝනකම් වීම නිසා ඔසප්විමේදී අධික රුධිර වහනය වගේම අධික වේදනා තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්.

 

6. Adenomyosis 

මේකත් Endometriosis වගේම තත්ත්වයක්. හැබැයි මෙතැනදී මේ සියුම් හම වර්ධනය වීම සිදුවෙන්නෙ මුළුමනින්ම ගර්භාෂයෙන් පිටත. මේ රෝග තත්‍ත්වය තියෙන කෙනෙකුගේ ගර්භාෂය ආශ්‍රිත මාංශපේශී හරියට තැලුණු මාංශපේශී වගේ කියල තමයි කියන්නෙ. ඒ නිසාම අධික ඔසප් වේදනා වගේම ලිංගික එකතුවීම් වලදීත් අධිකව වේදනා ඇතිවෙන්න පුළුවන්. 

 

7. ගර්භාෂය හෝ ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා තත්ත්වයන්

ඒ වගේම ගර්භාෂය හෝ ගැබ්ගෙල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් නිසාත් අධික ඔසප් වේදනාවන් ඇතිවෙන්න පුළුවන්. පිළිකා ගෙඩි නිසා රුධිර වාහනයට බාධා ඇතිවෙලා රුධිරය එකතුවීමෙන් මේ වේදනාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඔසප් කාලයේදී අධික රුධිර වහනය සහ ඔසප්වීම අතරතුර කාලයේදීත් මද වශයෙන් රුධිර පිටවීම් මේ පිළිකා තත්ත්වයන් නිසා ඇතිවෙන්න පුළුවන්. මුල් කාලයේදීම අවධානයෙන් හිටියොත් වෛද්‍ය උපදෙස් අරගෙන ඉක්මනින්ම අවශ්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න පුළුවන්.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *