ආඩම්බරකාරයෙක් වෙන්නේ මෙහෙමයි!

දැන් ඔය ආඩම්බර කම ගැන විවිධ මතයන් තියෙනවනේ. හැබැයි ගොඩක් වෙලාවට ආඩම්බරකම කියන එක හොඳ දෙයක් විදියට කෙනෙක් දකින්නෙ නෑ. සාමාන්‍යයෙන් අනික් මිනිස්සු දිහා නහයට පල්ලෙහැයින් බලන, ඔළුව උදුම්මවාගෙන ඉන්න කෙනෙක් ගැන මිනිස්සුන්ට ඇතිවෙන්නේ ප්‍රසන්න හැඟීමක් නෙවෙයි. හැබැයි ඒ වගේම අමතක කරන්න බැහැ ඉස්සර ඉඳන්ම ගෑණු ළමයි ආඩම්බරේට ඉන්න ඕන කියලත් මතයක් තියෙන වග.

 

හරි, දැන් අපි මේක ලෙහාගමු. කොහොමත් ඔය ආඩම්බරේ කියන එකත් එක්ක එන උඩඟුකම, උද්දච්ච කම, මාන්නය, ගර්වය වගේ දේවල් කිසිසේත්ම හොඳයි කියන්න බැහැනේ. ඒ නිසා තමයි ඇත්තටම ආඩම්බර වෙන්න එපා කියලා කියන්නෙත්. හැබැයි අනික් අතට අභිමානය කියන්නේ වෙනස් දෙයක්. අභිමානය කියන එක ඇත්තටම බැඳිලා තියෙන්නේ ආත්ම විශ්වාසයත් එක්ක.

 

හරි. දැන් පැහැදිලියිනේ අපි මේ කියන ආඩම්බරකාරකම කියන්නේ ඇත්තටම අභිමානයට කියලා. ඇත්තටම එහෙම අභිමානයෙන් ඉන්න මනුස්සයෙක් දිහා ඕනම මනුස්සයෙක් ගෞරවයෙන් බලනවා. ආන්න ඒ වගේ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා තමයි මේ කියන්න යන්නේ.

 

 

1. තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන අභිමානයක්

 

ඔව්. මුලින්ම මනුස්සයෙක්ට තමන් ගැන අභිමානයක් ඇතිවෙන්න ඕන. ඒකට ඉතින් කරන්න තියෙන දේවල් සරලයි. හැබැයි ඒ දේවල් කරන්න කැපවීමකුත් අවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත්, මනුස්සයෙක් තමන්ගේ බාහිර පෙනුම, ශාරීරික යෝග්‍යතාවය, ශරීර සෞඛ්‍යය ඉතාම හොඳින් පවත්වාගන්නවා නම්, ඒ මනුස්සයාට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ අදම ජිම් එකකට යන්න, එක්සයිස් කරන්න පටන් ගන්න, සෞඛ්‍ය සම්පන්න විදියට ජීවත් වෙන්න පටන් ගන්න කියලා. මේක එක රැයකින් සිද්ධ වෙන්නේ නැති වුනත්, කැපවීම තියෙනවා නම් අවුරුද්දක් යනකොට වුනත් තමන්ව හිතාගන්න බැරි විදියට වෙනස් කරගන්න පුළුවන්.

 

 

2. තමන්ගේ වෘත්තිය සාර්ථකත්වය ගැන අභිමානයක්

 

මේ කියන්නේ ලොකු රස්සාවක් කරන කෙනෙක් වෙන එකද? නෑ. ඇත්තටම අපි ලොකු පොඩි රස්සා කියලා වෙන් කළාට, ලොකු පොඩි රස්සා කියලා දේවල් නැහැ. තියෙන්නේ තමන් නවතින තැන කොතනද කියන එක විතරයි. උදාහරණයක් විදියට අපි ගමු වඩු ශිල්පය ඉගෙන ගන්න කෙනෙක්ව. ඒ කෙනාට ඕන නම් සාමාන්‍ය වඩු බාසුන්නැහේ කෙනෙක් විදියට ඔය පොඩි වැඩක් කරගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ කර්මාන්තයේ ඉහළ දක්ෂතාවයක් අරගෙන, ඉහළ ආදායම් ලබන වඩු කාර්මිකයෙක් වෙන්නත් පුළුවන්. ඕන නම් වඩු කර්මාන්තයේත් විශේෂ කැටයම් ශිල්පය වගේ එකක ප්‍රවීණත්වයක් ලබාගෙන, ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ වුඩ්ක්‍රාෆ්ටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඕන නම් දියුණු වෙලා නවීන පන්නයේ ලී බඩු නිර්මාණය කරන මුදලාලි කෙනෙක් වෙන්නත් පුළුවන්. ආන්න එතකොට අපිට ඒ උදාහරණෙත් එක්ක තේරෙන්න ඕන, මේ වෘත්තිමය සාර්ථකත්වය කියන එක රඳා පවතින්නේ අපේ කැපවීම, අපි වෘත්තියේ කොයි තරම් ඉස්සරහට යන්න අවශ්‍යද කියන අපේ වුවමනාව සහ අපි ලඟා කරගන්න නිපුණත්වය සහ කුසලතාවයන් මත කියලා. ඉතින් තමන්ගේ වෘත්තියෙන් විශේෂඥයෙක් වෙන්න පුළුවන් නම්, ඊට වඩා අභිමානයක් තවත් කොයිද?

 

 

3. තමන්ගේ ජීවන අත්දැකීම් ගැන අභිමානයක්

 

ජීවන අත්දැකීම් කියන එක නිකම්ම ජීවත් වුනාට ලැබෙන්නෙ නෑ. ඒකට හරි හැටි ජීවත් වෙන්න ඕන. මිනිස්සුන්ට උදවු උපකාර කරන්න ඕන. මිනිස්සු එක්ක ගැවසෙන්න ඕන. තමන්ගේ ජීවිතය විඳින්න ඕන. හරි, අපි සරල උදාහරණ වලින් මේක පැහැදිලි කරගමු. දැන් ඔන්න අපි කොහේ හරි ගම්බද පැත්තකට යනවා. අපිට ඕන නම් අපි කළම්බු ඕයි කියලා ලොකු එකෙන් ඉන්න පුළුවන්. ඒ ගමේ මිනිස්සුත් එතකොට අපිට ගරුසරු නොදක්වා ඉන්නෙ නෑ. හැබැයි අපිට කවදාවත් ඒ පරිසරයේ, ඒ මිනිස්සුත් එක්ක අත්දැකීමක් ලබාගන්න බෑ. හැබැයි අපි බොහොම නිහතමානීව ඒ මිනිස්සුන්ව ආස්සරේ කරනවා නම්, කතාබහ කරනවා නම්, ආන්න අපිට ඒ පරිසරයේ අත්දැකීම ලබාගන්න පුළුවන්. ඇත්තටම අපි ගොඩවෙන ත්‍රීවිල් එකේ රියැදුරු මහත්තයා එක්ක කරන කතා බහක ඉඳලා, අපි පොඩි එකෙක් එක්ක පොඩි එකාගේ ලෙවල් එකෙන් කරන කතාබහක ඉඳන්, බබා වගේ ජීවත් වෙන්නෙ නැතුව සමාජ වගකීමකින් ජීවත් වෙන එකේ ඉඳන් අම්මට තාත්තට උදවු පදවු කරන එක දක්වා අපිට ලබාදෙන්නේ ජීවන අත්දැකීම්.

 

 

4. තමන්ගේ ගරුකටයුතු බව ගැන අභිමානයක්

 

මොකද්ද ඇත්තටම ගරුකටයුතු මනුස්සයෙක් වෙනවා කියන්නේ? දේවල් කීපයක්. එකක් තමයි අනික් ඕනෑම මනුස්සයෙක්ට තත්වය, තරාතිරම, අධ්‍යාපන මට්ටම, සමාජ මට්ටම වගේ කිසිම දෙයක් නොසලකා ගරුත්වයෙන් යුතුව සලකන්න පුළුවන් වීම. ඒ වගේම තමන්ට අනික් අය ගරු කරන විදියේ ගතිගුණ නිර්මාණය කරගන්න එක. හැබැයි එකක්, දැන් කාලේ ඔය සෝෂල් මීඩියා එහෙම ගත්තහම, සමහරු ඉන්නවා ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ මාර ගරු කටයුතු ලයින් එකක් මේන්ටේන් කළාට, ඉන්බොක්ස් එකේ අන්තිම චාටර්. එක්කෝ කෙල්ලන්ට බලහත්කාරකම් කරන්න යයි, ඕපාදූප කුණුකන්දල් වපුරමින් ඉඳී, එහෙම නැතිනම් අඩු ගාණේ කාට හරි පදයක් හරි හදයි. එහෙම ලෝකෙට පේන්න විතරක් ගරුකටයුතු වෙන්න බෑ. එහෙම වුනා කියලා ලැබෙන අභිමානයකුත් නෑ. ඒ අභිමානය ලැබෙන්න නම් තමන් අවංකවම ගරුකටයුතු වෙන්න ඕන.

 

 

5. තමන්ගේ විශ්වසනීයත්වය ගැන අභිමානයක්

 

මේක ගොඩක් වෙලාවට මිනිස්සු කරන වැරැද්දක්. ඒක හදාගත්තොත් තමන් විශ්වාසනීය මනුස්සයෙක් කියන අභිමානය ලඟාකරගන්න පුළුවන්. ගොඩක් අය විශ්වාසනීය වෙන්නේ කටින් තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක් අපිට රහසක් කිව්වොත් ඒක දිවිහිමියෙන් රකින්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒක කිසිම අවස්ථාවක් නිසා කැඩෙන්න බෑ. අන්න එහෙම මනුස්සයෙක් විශ්වසනීයයි කියලා එතකොට අනික් අයට හැඟීමක් ඇතිවෙනවා. ඒ වගේම තමන් වචනයක් දුන්නොත් ඒක රකින්න පුළුවන් වෙන්න ඕන. රකින්න බැරි වචනයක් නොදී ඉන්න ඕන. අන්න එතකොටත් ඒ මනුස්සයා විශ්වසනීයයි කියලා අනික් අය තේරුම් ගන්නවා. එතකොට තමන්ටත් තමන් විශ්වසනීයයි කියලා අභිමානයක් ඇති වෙනවා.

 

 

6. තමන්ගේ වගකීම් සහගත බව ගැන අභිමානයක්

 

අපිට ජීවිතේ යුතුකම් වගේම වගකීම් තියෙනවා. තමන් ගැන වගකීම, තමන්ගේ පවුලේ අය ගැන වගකීම, තමන්ගේ යාළුමිත්‍රයන් ගැන වගකීම, නෑසියන් ගැන වගකීම, වෘත්තිය ගැන වගකීම වගේ සෑහෙන වගකීම් රාශියක් අපි වටේ තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක් මේ වගකීම් කරට ගන්නෙ නෑ. ඇත්තටම තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්නත් මහා පුරුෂයෙක් හෝ මහා ස්ත්‍රියක් වෙන්න ඕන. මොකද, වගකීම් ඉෂ්ට කරන ගමන් ජීවිතේ අවුල් කරගන්නෙ නැතුව, තමන්ගේ ජීවිතේ සතුටත් තියාගෙන ජීවත් වෙන එක ගේමක්.

 

ඔය අතරේ තවත් වගකීමක් තියෙනවා. ඒ තමයි තමන් කියන කරන දේවල් වල වගකීම ගන්න පුළුවන් වීම. කොටින්ම කිවුවොත්, තමන්ට තැනකදී වැරදුනොත් වැරදුනා කියලා පිළිගන්න පුළුවන් වීම, ඒකට සමාව ඉල්ලන්න පුලුවන් වීමත් වගකීම් සහගත මනුස්සයෙක්ගේ ලක්ෂණයක්. ආන්න එහෙම මිනිහෙක් හෝ ගැහැණියක් අනිවාර්යයෙන්ම තමන් ගැන අභිමානවත් වෙන්න ඕන.

 

 

7. තමන්ගේ ආත්ම විශ්වාසය ගැන අභිමානයක්

Most Handsome Sportsmen

Source – sportgalleries.com

 

මනුස්සයෙක්ට ජීවිතේ ගැන බොහොම වීර්යයක් තියෙන්න ඕන. තමන්ගේ ආරක්ෂිත කලාපයේ හැමවෙලේම ජීවත් වෙන්නේ නැතුව, අවශ්‍ය මොහොතක අවදානම් කලාපයකට වුනත් අඩිය තියන්න ධෛර්යයක් තියෙන ඕන. එහෙම කරන්න තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. එතකොට, තමන් කොයි තරම් අසාර්ථක වුනත්, කොයි තරම් වැටුණත්, ආයෙ නැගිටලා ට්‍රයි කරන්නත් ධෛර්යයක් තියෙන්න ඕන. ඒ ධෛර්යය නිර්මාණය වෙන්න නම් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕන. ආන්න එහෙම ආත්ම විශ්වාසයක් තියෙන මනුස්සයෙක්ට ඒ ගැන අභිමානවත් වෙන්නත් පුළුවන් වෙන්න ඕන.

 

 

8. තමන් ගැන අභිමානයක්

 

අන්තිමට මේ ඔක්කොම එකතු වුණහම මොනවද වෙන්නේ කියලා පැහැදිලියිනේ. තමන් ගැන හොඳ හැඟීමක්, අභිමානයක් තමයි ඇතිවෙන්නේ. හැබැයි මේ අභිමානය කියන්නේ තමන් එක්ක, තමන්ගේ සාර්ථකත්වයන් එක්ක අනුන්ව සංසන්දනය කරන එකවත්, අනුන්ව පහළට දාන එකවත් නෙවෙයි. ඇත්තටම එතනදී වෙන්න ඕන තමන් ගැන තියෙන අභිමානයත් එක්ක, තමන් තවත් නිහතමානී වෙන එක. මෙහෙම අභිමානවත් මනුස්සයෙක් කවදාවත් කාටවත් කොන්ද නමන්නේ නෑ. කාටවත් පාච්චල් වෙන්නෙ නෑ. මොකද එහෙම මනුස්සයෙක් තමන්ගේ වටිනාකම දන්නවා. මෙහෙම මනුස්සයෙක්ට ඉතාම විශිෂ්ට ආත්ම-අභිමානයක් තියෙනවා. මැරෙන්න කලින් වත් ආන්න එහෙම අභිමානවත් මනුස්සයෙක් වෙන්න පුළුවන් නම්, ආන්න ඒක තමයි ජීවිතේ වටිනම දෙයක් වෙන්නේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *