“අපි දූෂණ, වංචා නවත්වනවා” කියලා යටිගිරියෙන් බෙරිහන් දීලා කණ්ඩායමක් බලයට එනවා. ඒත් ඒ කණ්ඩායමත් පෙර කට්ටිය කරපු වැරදි උදාසීන විදිහට හොය හොය එයාලත් හෙමිහිට ඒ වැඩේට හුරු වෙනවා. ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල බොහෝවිට පාලකයින් මාරු වුනාට දූෂණය වෙනස් වෙන්නෙ නැහැ. ඒක දිගටම පවතිනවා. වංචාව දූෂණය වැඩි වෙන එක පාලකයින්ට ලොකු අවුලක් නැහැ. ඒත් පුරවැසියන්ට තමුන්ට ජීවත් වෙන්න තියෙන දේශය දිනෙන් දින ලෝකයේ දියුණු රටවලින් ඈත්වන දිහා දුකෙන් බලාගෙන ඉන්න සිද්ද වෙනවා.
1. දූෂණය වැඩි වුණාම තියෙන අවුල්
අද ලෝකයේ අපි වවලා, අපි කාලා, අපිම බඩු හදාගෙන ජීවත් වෙන්න බැහැ. එහෙම ඉන්න උතුරු කොරියාව වගේ රටවල මිනිස්සුත් මාර දුකක් විඳින්නේ ජීවිතය වෙනුවෙන්. එතකොට අනිවාර්යයෙන් අපිට ලෝකය එක්ක සම්බන්ධ වෙන්න සිද්ද වෙනවා. එතැනදී ලෝකයේ වැඩිපුර ලාභ ලබන ව්‍යාපාරික අංශ අපේ රටේත් ඇති වුණොත් ආන්න එදාට අපේ රටේ මිනිස්සුන්ටත් දියුණු වෙන්න පුළුවන්. ඒ විදිහට දියුණු සමාජයට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබාදෙන්නට සමත් වුණ සිංගප්පූරුව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් බොහෝ ඉක්මනින් දියුණු වුණා. අපේ රට වගේ රටවල බිස්නස් එකක් පටන් ගන්න ඉඩමක් වෙන් කරගැනීම, ජලය, විදුලිය, ටෙලිෆෝන් ගැනීම ආදී හැමදේම ඉක්මන් කරගන්න අනියම් ක්‍රම සහ විධි තියෙනවා. ඒ නිසා අපේ රට වැනි දූෂිත රටවලට ඉහළ මට්ටම්වල ව්‍යාපාර සහ අයෝජනයන් ඇදී එනවා අඩුයි. ඒ නිසාම අපිට ජාත්‍යන්තරය තුල හැමදාම කොන් වෙලා ඉන්න සිද්ධ වෙනවා.
2. දූෂිතයින් ලොකු වූ සමාජය
ආගමක බොහෝවිට මූලික තැන්වලට එන්නේ හොඳම ආගමික භක්තිකයින්. ඒ වගේම සමාජයකත් ඒ සමාජයේ වැඩිපුර බලයක්, ධනයක් එක්කාසු කරගන්නා පිරිස ඉස්සරහට එනවා. මේ පිරිස ඉන් පස්සේ ප්‍රබල වෙනවා. දියුණු රටවල් බොහොමයක දූෂිතයින්, වංචනික පුද්ගලයින්ගේ වංචා එලි වුණාට පස්සේ ඔවුන්ව ඒ ආදාළ තනතුරු වලින් නෙරපලා දඬුවම් දෙනවා. ඒත් නොදියුණු රටවල ඉදිරියට පැමිණ සිටින්නේත් බහුතරයක් දූෂිතයින් නිසා ඔවුන් අහුවෙන දූෂිතයින් තවදුරටත් ආරක්ෂා කරනවා. අවසානයේ සිස්ටම් වෙනස් කරන්නට යැයි කියමින් එන උදවිය අර දූෂිත යාන්ත්‍රණයේම කොටසක් වෙනවා.
3. විනිවිදභාවය දුර්වල වීම
විනිවිද භාවය කියන්නේ හැමදෙයක්ම අපිට බලාගන්න පුළුවන් වෙන එකම නෙමෙයි. අපි ආයතනයකට වැඩක් කරගන්න ගියාම ඒ අදාළ වැඩය කරගන්නා ආකාරය පැහැදිළිව තියෙනවා නම්, ඒ කියන වැඩය කලට වෙලාවට හරියටම කරගන්න පුළුවන් නම් එතැනදී වංචාකරුවන්ට, අල්ලස් ලබාගන්න අයට ලැබෙන්නේ අඩු ඉඩක්. මොකද පැහැදිලිවම වැඩේ හරි ගාණට යනවා. ඒත් ඔතැන අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම්, එකපාර අලුත් වන යම් යම් ක්‍රමවේද ආදිය එකතු වෙද්දි වැඩේ ටිකක් අමාරුයි. එහෙම අමාරු වෙලා, රස්තියාදුව වැඩි වුණාම මිනිස්සු වංචාවෙන් හරි වැඩේ කරගන්නට උත්සාහ කරනවා. විනිවිදභාවය හරියට තියෙනවා නම්, විශාල යන්ත්‍රයක් කවරය ඉවත්කළාම වැඩකරන ආකාරය පේනවා වගේ අපිට වැඩේ කෙරෙන ආකාරය පේනවා. එතකොට ඒකේ වැඩකරන ආකාරය අපිට පේන නිසා වැරැද්දක් වුණත් අඳුනගන්න ලේසි වෙනවා.
4. මූල්‍ය දත්ත හැසිරවීම දුර්වල වීම
දූෂිතයින් කිසිවෙකු අහුවෙන්නට දූෂණ වංචා කරන්නේ නැහැ. අපේ ගම රට දිහා බැලුවොත් ඇතැම් සුන්දර ජීවිත කතා ගෙන හැර පාන ඉසුරුමත් ව්‍යාපාරිකයින්ගේ සත්‍ය කතාවන් තුල සැඟවුණු, එකපාර පොහොසත් වුණු අවස්ථා තියෙනවා. ඒ තැන් වලදි ඔවුන් පොහොසත් වුණු ආකාරය කොහොමද කියන්න ඒ අය හැර වෙන කවුරුත් දන්නේ නැහැ. ඒ ආකාරයෙන් එක පාර හිතු හැටියේ පොහොසත් වෙලා බදු නොගෙවා ඉන්න දියුණු රටකදි අමාරුයි. ඒ රටවල වැඩිපුර උපයන අයගෙන් කොහොමත් වැඩිපුර බදු අය කරනවා. අපේ මේ මූල්‍ය ගනුදෙනු වල දත්ත හරිහැටි හැසිරවීමක් නැති නිසා නියමාකාරයෙන් මුදල් ඇති සහ එකවර වංචා වලින් පෝසත් වන උදවිය හඳුනාගන්නට ලේසි නැහැ.
5. ඔන්ලයින් ක්‍රමවේද
මීට මාස කිහිපයකට පෙර වර්තමාන ජනාධිපති තුමා මැතිවරණ ඇමතීම් වලදී ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය ඔන්ලයින් ක්‍රමයට වුණානම් ලේසි බවක් කිව්වා. ඇත්තටම ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු ආදිය කරනකොට ඒ දේවල් වලට වංචා කරන්න සාමාන්‍ය ක්‍රමයේදි තරම් ලේසි නැහැ. ඒ වගේම ඕනි කෙනෙක්ට අවශ්‍ය බලය තියෙනවා නම් ඒ දත්ත පරීක්ෂා කරන්නත් පුළුවන්. මේ විදිහට එස්තෝනියාව වැනි රටවල බොහෝ ක්‍රමවේද ඔන්ලයින් ක්‍රමයට නිමවා තියනවා. ඒ නිසා ඒ රටේ පුරවැසියන්ට සේවා ලබාගැනීම වඩාත් පහසුයි. ඔන්ලයින් ක්‍රමය හොඳින් ජනප්‍රිය වුණොත් සාම්ප්‍රදායිකව ඒ ඒ තැන්වල තිබෙන දූෂිත යාන්ත්‍රණ ඉක්මවා වැඩ කාර්යක්ෂමව කරගන්නත් පුළුවන් වෙනවා.
6. හොරු ඇල්ලීම යථාර්තයක් කිරීම
ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕනි බව කිව්වත් අපේ රටේ සිංගප්පූරු, මැලේසියා රටවල වගේ දූෂිතයින් හඳුනාගන්නට කාර්යක්ෂම යාන්ත්‍රණ හැදෙන්නේ ඉතාම හෙමින්. බිල්ඩින් වලින්, මාර්ග වලින් සංවර්ධනය මනිනවා විනා රාජ්‍ය අංශයේ සහ පුද්ගලික අංශයේ ක්‍රමවේදයන් වෙනස් කිරීමට අපේ අයගේ ලොකු උනන්දුවක් නැහැ. මුලින් කී පරිදි දැනට සිටින යාන්ත්‍රණයේ සිටින හොඳම දූෂිතයින් මදක් ඈත් කරන තෙක් නව ක්‍රමයකට විවෘත වෙන්නට අමාරුයි. සිංගප්පූරුව සහ අනෙක් මෑතක දියුණු වූ රටවල් දූෂණ වංචා හඳුනාගන්නට වේගවත් ක්‍රමවේද පාවිච්චි කළා. ඒ දේවල් අධ්‍යනය කරලා අපිත් වංචනිකයින් සොයාගන්නට වඩාත් කාර්යක්ෂම ක්‍රමවේද සොයාගත්තොත් හුදෙක් පොලිස් පුවත්, නඩු දින වලින් එහාට ගිය සැබෑ හොරු ඇල්ලීමක් දකින්නට පුළුවන් වේවි.
7. මහජනතාවගේ දැනුවත් බව
කාර්යාලයක හෝ යම් පද්ධතියක සිදුවන අල්ලස් ගැනීමකදි ඒකට අල්ලස් ගන්න අය වගේම දෙන අයත් යන දෙපාර්ශවයටම වගකීමක් තියෙනවා. අපි ඇතැම් වෙලාවට අපේ වැඩේ පහසු කරගන්නට පොඩි අල්ලසක් දෙන්නට අදිමදි කරන්නේ නැහැ. ඒත් ඒක පසුකාලීනව බොහෝම දියුණු වෙලා ව්‍යාපාරික මට්ටමට වැඩිදියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මහජනතාව විදිහට හැකිතාක් දූෂිත අවස්ථාවන් හඳුනාගෙන මීඩියා හරහා හෝ ඒවා ගැන පළ කිරීම් කරන්නට ඕනි. දූෂණ වංචා කියන්නේ රජය තුල පමණක් තියෙන අමුතු දෙයක් නෙමෙයි. පුද්ගලික අංශයේ ආයතනයක වුනත් දූෂණ වංචා වැඩි වුණොත් එම ආයතන ඉක්මනින්ම කඩාවැටෙන්නට ගන්නවා.
දකුණු ආසියාතික රටවලින් භූතානය වැනි කඳුකර හුදකලා රටකට හැර වංචා දූෂණ වලින් කිසිම දේශයකට ලේසියෙන් ගැලවීමක් නැහැ. ලෝකයේම ගතහොත් මේ දූෂණ, වංචා නිසා ලෝක ආර්ථිකයට අහිමි වෙන මුදල ඩොලර් ට්‍රිලියන 3කට වැඩියි කියලා සොයාගෙන තියෙනවා. අපි වගේ රටවල් සංවර්ධනය නොවන්නේ පාරවල් නැති නිසාය, බිල්ඩින් නැති නිසාය, පහසුකම් නැති නිසාය කියමින් නිතරම සිවිල් ඉදිකිරීම් ඉදිකරන්නට අපේ පාලකයින් උත්සාහ කරනවා. ඒත් ඒ භෞතික සංවර්ධනය කොයි තරම් කරත් අපේ පද්ධති දූෂිත සහ වංචා සහගත තත්ත්වයෙන් මිදුණේ නැති වුණොත් අපිට හයිවේ වලින් ගිහින් ලොකු බිල්ඩින් දැක්කා කියලා ඇත්ත සංවර්ධනය දකින්න නම් අමාරු වෙනවා.
Leave a Reply