ඉස්සර කාලෙ නම් කසාද බැඳල මනමාලිව කැන්දන් යන්නෙ මනමාලයගෙ මහ ගෙදරට. දැන් තත්ත්වය ඊට වෙනස්. අලුත් බඳින යුවතිපතීන් වෙනම ගෙදරක තනියම පදිංචි වෙන එක තමා බොහෝ වෙලාවට කෙරෙන්නෙ. ඒ කාලෙයි අද කාලෙයි වෙනස් උනාට සමහර සමහර සිරිත් විරිත් වෙනස් වෙවී උනත් පැවතගෙන එනව. බැන්දට පස්සෙ දෙපාර්ශවයෙ දෙමාපිය වැඩිහිටියන්ට කෑම වේලක් දෙන එක සිරිතක්. ඔය කඩෙන් ගෙනල්ලා මොනව හරි කන්න දෙනවට වඩා එදාට ගෙදරම උයල දෙන එක තමයි වටින්නෙ. අද මේ කියන්න යන දේවල් වැඩියම වැදගත් වෙන්නෙ අලුත බැඳල තනියම පදිංචියට ගිය ගෑණු ළමයින්ට. නෝනා උයන්න දන්නෙ නැත්නම් මහත්තයලත් මේක කියවන එකේ පාඩුවක් නෑ ඔන්න
අම්මා උයන පිහන දේකට උදව් කරන් ඔහේ ගෙදර ඉඳලා එක පාරට හත් අට දෙනෙක්ට තනියම උයන්න වෙනව කියන්නෙ ගෑණු ළමයින්ට ඇත්තටම පොඩි පහේ චැලේන්ජ් එකක් නෙමෙයිනෙ. බය නැතුව මේ චැලේන්ජ් එකට රෙඩි වෙන හැටි තමයි මේ කියන්න හදන්නෙ. ඔය ගොඩ දෙනෙක්ට උයාගන්න එක ප්‍රශ්නයක් වෙච්ච ඕනම කෙනෙක්ට මේ ලිපිය අනිවාර්යයෙන් වැදගත් වෙයි.
1. මුලින්ම මෙනූ එක හිතමු
පහසුවෙන් උයාගන්න වගේම සාරෙට මේසෙට තියන්න පුළුවන් මෙනූ එකක් වෙන්නත් එපැයි. සාමාන්‍යයෙන් එදිනෙදා උයන්න වගේම විශේෂ වෙලාවක උයන්නත් මෙනූ එකක් ගලපගන්නකොට ගලපන මූලික ක්‍රමයක් තියෙනව. හදන ව්‍යංජන තෙලට, මිරිසට, කිරට, අමුවට. ඔය විදියට ගලපගෙන ඔයාට හදන්න පහසු වගේම විශේෂ මෙනූ එකක් තෝරගන්න. මෙනූ එක තෝරගත්තට පස්සෙ එකින් එකට හදන ඒවට අවශ්‍ය දේවල් ලිස්ට් එකක් ලියාගන්න. ලිස්ට් එක හදාගෙන දවස් දෙකකට කලින්වත් ශොපින් යන්න.
2. ශොපින් යන්න කලින් ප්‍රමාණ ගැන දැනගන්න
මෙනූ එකෙන් පස්සෙ හිතන්න ඕන හදන ප්‍රමාණ ගැන. තනියම උයන්න අරන් ඒ හැටි කාලෙකුත් නැති එකේ ලොකු පිරිසකට කොච්චර හාල් ඕනද? පරිප්පු ඕනද? කියල තේරුමක් නෑනෙ. හැබැයි චුට්ට චුට්ට උයල ඔය දෙන්නට ඇති ප්‍රමාණෙ කොච්චරක්ද කියල පොඩ්ඩක් විතර තේරෙනවනෙ. අන්න ඒ ක්‍රමේට ප්‍රමාණ වැඩිකරගන්න. දහ දෙනෙක් ඉන්නව නම් ඔය දෙන්නට ඇති ප්‍රමාණ පහෙන් වැඩි කරල ගන්න. හරියටම ගාණටම උයන්න ගන්නත් එපා. තව දෙන්නෙක්ට තුන්දෙනෙක්ට විතර වැඩිපුර උයන්න. ඕක අහක යන්නෙ නෑ. මොකද උදේ ඉඳන් උයල මහන්සි වෙලා ඔයාට ආපහු රෑට උයන්නත් බෑ වගේම බොරුවට මහන්සි පාට් දාන හබියව කඩේ යවන්නත් බෑ. ඒ නිසා හදන දෙයක් පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක හදන්න ගන්න.
3. ටයිම් එක මැනේජ් කරගන්න
මේක තමා වැදගත්ම දේ. ගෙදරට කට්ටිය එනකනුත් තෙල් දුම් ගොඩේ දාඩිය පෙරාගෙන කුස්සියට වැදිලා උය උය ඉන්න බෑනෙ. ගෙදරට එන කට්ටිය එන්න කලින් උයල පිහල නාල කරල ඉන්න ඕන.
උයන්න ලොකු අත්දැකීම් නැති එකේ කලින් දවසෙ ඉඳන් මේකට සූදානම් වෙන එක තමා පහසුම. දවස් දෙකක් කලින් ශොපින් යන්න කිව්වෙත් ඒකයි.
කල් තියාගන්න පුළුවන් දේවල් දෙකක්වත් මෙනූ එකට දාගන්න. බටු මෝජුවක්, සීනි සම්බෝලයක්, මැලේ පිකල් එකක්, ළූණු බැදුමක්, මාළු ඇඹුල් තියල් එකක් වගේ කළබල නැතුව කලින්ම හදල තියන්න පුළුවන් දේවල් ගැන හොයල බලන්න. අපේ පහත ලිපිවලින් ඒ වගේ කෑම රැසකට රෙසිපි හොයාගන්න පුළුවන්.
කල් තියාගෙන බත් එක්ක රස බලන්න පුළුවන් කෑම රෙසිපි 5ක්
වෙනස්ම විදියක අච්චාරු (පිකල්) ජාති ටිකක් හදලම රස බලමුද?
ස්වයං රැකියාවක් හැටියට වුවත් නිෂ්පාදනය කළ හැකි කල්තබා ගත හැකි ආහාර 4ක් හදාගමු!
කට්ලට් කියන්නෙත් කලින් හදල ෆ්‍රීසර් එකට දාල තියන්න පුළුවන් දෙයක්. ෆ්‍රීසරෙන් ගත්තු ගමන් බදින්නත් පුළුවන්. කට්ලට් නම් දවස් දෙක තුනකට කලින් හරි හදල ෆ්‍රීස් කරගන්න.
හදන්න ගන්න මස් මාළු කලින් දවසෙ රෑට පහේ එහෙම අතගාලා සීසන් වෙන්න ෆ්‍රිජ් එකෙන් දාල තියන්න.
පොල් ටිකත් ගාලා කිරි මිරිකලම ෆ්‍රිජ් එකට දාගන්න. උදේට ගන්නකොට පොඩ්ඩක් මික්ස් කරල ගන්න. පොල් ගගා, කිරි මිරිකන් කාලෙ නාස්ති කරන්න ඕන නෑ උයන වෙලාවට.
ඩිසර්ට් එහෙම කලින්ම හදල තියන්න පුළුවන්නෙ. පුඩින් එකක් එක්ක අයිස්ක්‍රීම් තිබ්බ නම් හොඳටම ඇති.
සර්ව් කරන භාජන එහෙමත් සෝදල පිහිදල හොඳට කවර් කරල ලෑස්ති කරල තියන්න. උදේට භාජන හොය හොය ඉන්න ඕන නෑ.
4. උයන්න ලෑස්ති කරගමු
දෙන්නෙ ලන්ච් එක උනාට වෙනද වගේ දහයට උයන්න අරන් බෑනෙ. උදෙන්ම වැඩ පටන්ගමු. වෙනදට වඩා පැයක් හමාරක් කලින් කලින් නැඟිටින්න. ඒ පැය හමාර ඔයාල හිතනවට වඩා ගොඩාක් වටිනව.
උයන ව්‍යංජන සේරටම ඕන ළූණු, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, සුදුළූණු සේරම එක පාර සුද්ද කරල කපල වෙන වෙනම වෙන් කරල පිඟානකට දාල තියාගන්න. හදන එකින් එකට ළූණු කපන එක කාලෙ කන මෝඩ වැඩක්.
උයන ගමන්ම අස් කරගන්න. ඔය ළූණු පොතු, එළවළු රොඩු එහෙම සුද්ද කරපු ගමන්ම කුණු එකට දාන්න. පාවිච්චි කරල ඉවර උන භාජන එවෙලෙම සෝදල තියන්න. ඔයා උයල ඉවර වෙනකොට කුස්සියත් අස් වෙලා තියෙයි.
5. දැන් එහෙනම් උයමු!
වැඩි කාලයක් ගත නොකර උයන්න පුළුවන් දේවල් ටික මුලින්ම හදන්න. ගොඩක් වෙලා තැම්බෙන්න අවශ්‍ය නැති බෝංචි වගේ එළවළු ජාති මුලින්ම හදන්න. එතකොට ඒව ඉක්මණින්ම ලිපෙන් ඉවත් කරගන්න නිසා ඔයාට වෙලාව ඉතුරු වෙනව.
ඉක්මණට උයන ටික ලිපෙන් අයින් කරාට පස්සෙ වැඩි වෙලා ලිපේ තියන්න ඕන මස් වගේ දේවල් උයන්න ගන්න. ගින්දර අඩුවෙන් හුඟක් වෙලා උයන්න ඕන නිසා ඒක ලිපේ තියල ඔයාට ඉතිරි අස් කරන වැඩයි, හාල් ලිපේ තියන එක, පපඩම් කට්ලට් බදින එක වගේ සරල වැඩ ටික කරගන්න පුළුවන්.
අන්තිමටම සැලඩ් එකට ඕන දේවල් කපල වෙන වෙනම භාජනේකට දාල ෆ්‍රිජ් එකට දාගන්න. සැලඩ් එක කෑම පිළිගන්වන්න ටිකකට කලින් මික්ස් කරගන්න. නැත්නම් වතුර ගතියක් එනව.
හැමදේම කරි ඩිශස් වලට දාල, මේසෙන් වහල තියල, වලං ටිකත් සෝදලම කුස්සිය අතු ගාල ඔයාට වැඩ ඉවරකරගන්න පුළුවන්. කරන්න ඕන වැඩ වලින් භාගයක්ම කලින් දවසෙ කරගත්ත නිසා ඇත්තටම මේ වැඩ ටිකට ලොකු වෙලාවක් යන්නෙ නෑ.
Leave a Reply