ධවල මන්දිරය කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල නිවස කියන කතාව අපි හැමෝම දන්නවා. වෙන විදිහකට කියනවා නම් ලෝකයේ ලොක්කගෙ ගෙදර. ලංකාවේත් ඒ මොඩල් එකට හදපු ගොඩනැගිලි තියෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි කොළඹ නගර ශාලාව. ඇමරිකාවේ ජනාධිපතිවරණයත් ළඟ එන එකේ අපි හිතුවා ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මේ නිල නිවස ගැන තොරතුරු ඇතුළත් කෙටි ලිපි මාලාවක් ඔබ වෙත ගෙන එන්න. ආරම්භයක් විදිහට ධවල මන්දිරේ ඉතිහාසය ගැන අපි මේ ආටිකල් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනව.
1. අගනුවර මොකක්ද?
ඇමරිකා එක්සත් ජනපදය මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ප්‍රකාශයට පත් කිරීමත් එක්ක තමන්ගේ අගනුවර බවට පත් කර ගත යුත්තේ කුමන නගරයද යන්න පිළිබඳව විවිධ අදහස් පළ වුණා. එරට පළමු ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂින්ටන් තමන්ගේ නිල නිවස විදිහට භාවිතා කළේ නිව්යෝක් නගරයේ පිහිටි මන්දිර දෙකක්. ඒ අතරතුරදී ඇමරිකානු ජනාධිපතිවරයාට නිල නිවසක් නිව්යෝර්ක් නගරය තුළ නිර්මාණය කිරීමේ කටයුත්ත ආරම්භ වුණා. මේ අතරතුරදී වොෂින්ටන් ඩී.සී නගරය අගනුවර ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ වුණා. ඒ අතරතුර කාලයේ දී ෆිලඩෙල්ෆියා නගරය අගනුවර වශයෙන් තාවකාලිකව නම් කර තිබූ අතර එහි තවත් මන්දිරයක්ද ජනාධිපති නිල නිවස ලෙස භාවිතා වුණා.
2. තරඟය
ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන් මෙන්ම පසුව ජනාධිපති ධූරයට පත් වූ එවකට රාජ්‍ය ලේකම්වරයාව සිටි තෝමස් ජෙෆර්සන්ගේ ද අදහස වූයේ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන නව අගනුවර ජනාධිපති මන්දිරය ප්‍රධාන අංගයක් විය යුතු බවයි. මේ නිසා ඒ වෙනුවෙන් තරඟයක් පැවැත්වීමට ඔවුන් තීරණය කරනවා. එහිදී ජේම්ස් හෝබන් විසින් ඉදිරිපත් කරන ලද සැලසුම අවසානයේදී ජයග්‍රහණය කරනු ලැබුවා.
3. ඉදිකිරීම
1792 ඔක්තෝබර් මස 13 වැනිදා ධවල මන්දිරයේ ඉදිකිරීම් සඳහා මුල් ගල තැබීම සිදුවුණු අතර ඒ සඳහා වැඩිම දායකත්වයක් ලබාදී තිබුණේ කළු ජාතික වහලුන් විසින්. එසේම එතෙක් පුරවැසිභාවය ලබා ගෙන නොසිටි යුරෝපීයයන්ගේ ද ශ්‍රම ශක්තිය මේ සඳහා ලබා ගනු ලැබුවා. ධවල මන්දිරය නිර්මාණය කිරීමේ දී හෝබන් විසින් ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලබාගෙන තිබුණා. ජෝර්ජ් වොෂින්ටන් හට මෙම මන්දිරයේ පදිංචිවීම සඳහා අවස්ථාවක් හිමි නොවූ අතර එම අවස්ථාව හිමි වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ දෙවැනි ජනාධිපතිවරයා බවට පත්වූ ජෝන් ඇඩම්ස් හටයි.
4. ධවල මන්දිරයේ නම ලැබීම
ධවල මන්දිරය සඳහා එම නම භාවිතයට පටන් ගැනීම පිළිබඳව බොහෝ විද්වතුන් තුළ එකඟත්වයක් පවතින්නේ නැහැ. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ 1814 වසරේදී වොෂින්ටනයට පහර දුන් මහා බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් ධවල මන්දිරය ගිනිබත් කිරීමෙන් අනතුරුව සුදු පැහැති තීන්ත සමස්ත ගොඩනැගිල්ලටම භාවිතා කිරීම නිසා ඒ නම ලැබුණු බවයි. නමුත් එයට විරුද්ධත්වය දක්වන විද්වතුන් පවසන්නේ 1811 දී පවා මෙම ගොඩනැගිල්ල සඳහා ධවල මන්දිරය යන නම භාවිතා වූ බවයි.
5. ධවල මන්දිරය අත්හැරීමේ යෝජනාව
අතීතයේ දී ධවල මන්දිරය ආසන්නයේ වගුරුබිම් බහුලව පැවති අතර මේ නිසා මැලේරියා වසංගතයේ තර්ජනයට ධවල මන්දිරය ලක් වෙමින් තිබුණා. මේ පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් 1860 ගණන් වලදී පත්කෙරුණු අතර ඔවුන්ගේ නිර්දේශය වූයේ ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමත්, ඒ වෙනුවට ජනාධිපති නිල නිවස වොෂින්ටන් නගරයේ වෙනත් ස්ථානයක ස්ථානගත කිරීමත් යන්නයි. නමුත් මෙම යෝජනාවට ධවල මන්දිරයේ ඉහළ පෙළ නිලධාරීන් මෙන්ම ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ද එකඟත්වයක් දැක්වූයේ නැහැ .
6. ටෲමන් ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණ
දශක ගණනාවක් පුරාවට මහා පරිමාණයෙන් ප්‍රතිසංස්කරණයට ලක් නොවී පැවැති ධවල මන්දිරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට හැරී එස්. ටෲමන් ජනාධිපතිවරයා කටයුතු කළා. එකල පැවති තත්ත්වය අනුව ධවල මන්දිරය කඩා වැටෙනු ඇතැයි යනුවෙන් වාස්තු විද්‍යාඥ අනාවැකි පළ කිරීමත් මෙයට එක් හේතුවක්. ප්‍රතිසංස්කරණ වලදී ගොඩනැගිල්ලේ පෞරාණික ස්වභාවයට යම් කිසි හානියක් සිදු වූ බවටත් මත පළ වෙනවා.
7. ජැකලයින් කෙනඩිගේ ප්‍රතිසංස්කරණ
විලාසිතාවලට දැඩි ලෙස ප්‍රිය කළ තැනැත්තියක් වූ ජැකලයින් කෙනඩි අතිශයින්ම කලාකාමී තැනැත්තියක්. ධවල මන්දිරය තුළ සිදුවී ඇති ප්‍රතිසංස්කරණ කෙරෙහි එතරම් කැමැත්තක් නොදැක්වූ ඇය එහි ඓතිහාසික අගය සුරක්ෂිත වන ආකාරයට ප්‍රතිසංස්කරණ සිදු විය යුතු බවට විශ්වාස කරනු ලැබුවා. ඒ අනුව සුවිශාල කලාකෘති එකතුවක් ධවල මන්දිරයට එක් වුණු අතර එහි විවිධ කුටි ඉතා විශිෂ්ට අයුරින් අලංකාර කරනු ලැබුවා.
මේ ලිපි පෙළේ ඊළඟ කොටසෙන් මේ කුටි පිළිබඳව වගේම ධවල මන්දිරයේ අනෙකුත් කොටස් පිළිබඳව තොරතුරු ගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්න අමතක කරන්න එපා.
Leave a Reply