සෝෂල් මීඩියාවල යමක් පෝස්ට් කරන්න, ෂෙයාර් කරන්න කලින් මේ ගැනත් හිතන්න

සෝෂල් මීඩියා කිවුවම ලංකාවේ වැඩිපුරම උදවිය භාවිතා කරන සමාජ මාධ්‍යය වෙන්නේ ෆේස්බුක් එක. හැබැයි අපි මේ කියන කාරණය ෆේස්බුක් එකට විතරක් අදාළ වෙන්නේ නැහැ. ඔයා භාවිතා කරන ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ් ඇතුළු ඕනෑම මාධ්‍යයක යමක් පළ කරන්න හරි බෙදාගන්න හරි කලින් මේ කාරණා ගැන හිතලා හිටියොත් ඒකෙන් ඔයාටමයි යහපත…

 

1. අතිශය පෞද්ගලික තොරතුරක්ද?

සමහරු ඉතාම සංවේදී දත්ත සහ තමන්ගේ අතිශය පෞද්ගලික තොරතුරු පවා ෆේස්බුක්වල පළ කරනවා අපි දකිනවා. තමන්ගේ පවුල් ජීවිතේ ප්‍රශ්න පවා ෆේස්බුක් දානවා, තමන්ගේ සැමියාට බිරිඳට කතා කරලා කියන්න ඕන ඒවා පවා ෆේස්බුක් එකේ ටැග් කරලයි දාන්නෙ. සමහර අවස්ථාවලදී මේවා විනෝදජනක සහ සරළ වැඩ වුණාට තවත් සමහර වෙලාවට ඒ වගේ තොරතුරු ඔබේ ජීවිතයට අවදානමක් වුණත් ගේන්න පුළුවන්. ඒ නිසා අනිත් අය දැනගැනීමෙන් ඔයාටත්, ඔයාගේ පවුලේ අයටත් හානි වෙන්න පුළුවන් තොරතුරු ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍යයන් ඔස්සේ බෙදා ගැනීමෙන් පුළුවන් තරම් වළකින්න.

 

2. බොරුවක්ද?

අපි එදිනෙදා ජීවිතේ විනෝදේ ලබන්න, දැනුම ලබන්න, නවතම පුවත් එක්ක යාවත්කාලීන වෙන්න කියලා නොයෙකුත් වෙබ් අඩවි වල සමාජ මාධ්‍ය පිටු වලට ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නවා. නමුත් අද කාලේ ගොඩක් වෙබ් අඩවි, ප්‍රවෘත්ති අඩවිවල පළවෙන පුවත් පවා ඉතාම අවිශ්වාසනීයයි කියන එක බොරුවක් නෙමෙයි. හරි හැටි සොයා බැලීමක් නැතුව පළ කරන ප්‍රවෘත්ති වගේම සමාජය මුලා කරලා තමන්ගේ මතවාද පතුරුවන්න උවමනාවෙන්ම පළ කරන බොරු ප්‍රවෘත්ති, ලිපි, වීඩියෝ ආදියත් වැහි වැහැලා. ඉතින් අපේ වගකීම තමයි ඒ විදිහට අපි කියවන යමක් අපිට නැවත ෂෙයාර් කරන්න හිතෙනවනම් අඩුම තරමේ විනාඩි කීපයක් හරි වැය කරලා අදාළ පෝස්ටුවේ ඇත්ත නැත්ත ගැන ටිකක් හොයලා බලලම ඉන්න එක. එහෙම නැත්නම් කාගේ හරි වාසියකට හදපු බොරුවක් සමාජගත කරන වැරැද්දට අපිත් දාය​ක වෙනවා.

 

3. ආරක්ෂාව ගැන හිතන්න

දැන් කාලේ ෆේස්බුක් නො​එන්නේ කවුද? හොරුත් ෆේස්බුක් එනවා, කාන්තාවන්ට දරුවන්ට හිංසා කරන පුද්ගලයොත් ෆේස්බුක් එනවා. අපිට ඒක වළක්වන්නත් බැහැ. නමුත් අඩුම තරමේ ඒ විදිහේ අයගේ ගොදුරක් නොවෙන තරමට සමාජ මාධ්‍ය ඇතුළේ අපේ ආරක්ෂාව සලසවගන්න අපි වගබලා ගන්න ඕන. “අද කවුරුත් ගෙදර නෑ. මම විතරක් තට්ට තනියම” කියලා ෆේස්බුක් දැම්මම තමන්ගේ යාළුවෝ විතරක් නෙමෙයි, ​ෆේක් අස්සේ හැංගිලා ඉන්න වැරදි පුද්ගලයෙක්ට වුණත් මේ තොරතුර යන්න පුළුවන්. තමන්ගේ දරුවන්ගේ විස්තර සහ සමහර ඡායාරූප පළ කිරීමත් සමහර විට අනාරක්ෂිත වෙන්න පුළුවන්. ඔයා ෆේස්බුක් දාන පොඩි තොරතුරක් හරහා ඔත්තුවක් අරගෙන, ගෙදර කවුරුත් නැති බව දැනගෙන හොරකමකට වුණත් කෙනෙක් එන්න පුළුවන්.

 

4. අනිත් අය ගැනත් හිතන්න

ජනප්‍රිය අය වගේම ජනප්‍රිය නොවන අය ගැනත් නොයෙකුත් ෆේස්බුක් පෝස්ට් ෂෙයාර් වෙනවා. මිනිස්සුන්ගේ පෞද්ගලික ජීවිතේ වැරදි ගැ​න, එයාලගෙ පෞද්ගලික සම්බන්ධතා ගැන, කරපු වංචා දූෂණ ගැන පවා පෝස්ට් ෂෙයාර් වෙනවා. ඒ සමහර විස්ත​ර කියෙවුවම ඒ පුද්ගලයො ගැන ඔබ​ට කේන්ති යන්නත් පුළුවන්. ඒත් එහෙම දෙයකට තමන්ගේ මතය පළ කරලා යමක් පෝස්ට් කරන්න කලින් හරි, කවුරුහරි ලියපු පෝස්ට් එකක් නැවත ෂෙයාර් කරන්න කලින් හරි දෙපාරක් හිතන්න. මොකද ඔබ සමහර විට වෙනත් කෙනෙක්ගේ මඩ ප්‍රචාරයක උගුලට අහුවෙන්න පුළුවන්. වැරැද්දක් නැති කෙනෙක්ට වැරැද්දක් පටවලා අසරණ කරන්න ඔබත් දායක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අනුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අදහස් දක්වද්දි හැකි තරම් පරිස්සම් වෙන්න.

ඒ ව​ගේම තමයි අනිත් අයගේ අවසරය නැතුව ඒ අය අපහසුතාවයට ලක්වෙන විදිහේ ඡායාරූප ආදිය ෂෙයාර් කිරීම. ඒ විදිහේ ඡායාරූපයක් බලන කෙනෙක්ට විනෝදයක් ගෙනාවත්, සමහර විට ඒ ඡායාරූපයට හසු වෙලා ඉන්න පුද්ගලයාට අපහසුවක්, ලැජ්ජාවක් සහ වේදනාවක් ගේන්න පුළුවන්. තමන්ගේ යාළුවෙක්ගේ වුණත් ඒ විදිහේ පින්තූරයක් ෂෙයාර් කරනවනම් යාළුවට ඒ ගැන කියලම දාන්න.

 

5. වෘත්තීයමය ජීවිතේ ගැනත් හිතන්න

‘මයි කාර් මයි පැට්‍රෝල්’ කියන්න වගේ තමන්ගේ අදහසුත් තමන්ගේ තමයි. ඒත් ඒවා සමාජගත කරන්න කොයි තරම් සුදුසුද? ඒවා සමාජගත කිරීමෙන් කොයි විදිහේ ප්‍රතිඵල අත්වෙයිද කියන එක දෙපාරක් හිතන්න වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි තමන් ෂෙයාර් කරන වැරදි දෙයක් නිසා තමන්ට වෘත්තීයමය වශයෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය. ඔයා ඔයාගේ ප්‍රොෆයිල් එක යටතේ ඔයාගේ රැකියා ආයතනයේ නමත් දාගෙන ඉන්නේ බොහෝ වෙලාවට. බොහෝ වෙලාවට ඔයාගේ බොසුත් ඔයාගේ සමාජ මාධ්‍ය ගිණුම දකිනවා ඇති. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දී ඔයා සමාජ විරෝධී, නීති විරෝධී දෙයක් ​ෂෙයාර් කළොත් ​හෝ අශීලාචාර ආකාරයෙන් සමාජ මාධ්‍යවල හැසිරෙනවානම් ඔබේ ආයතනය ඒ ගැන දැනුවත් වෙලා ඔයාට රැකියාව වුණත් අහිමි වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ ගැනත් හිතන්න.

 

6. කෙලින් කියන්න පුළුවන් එකක්ද?

දැන් සමහරු දානවා ‘වදින එකෙක්ට වැදියන්’ කියලා පෝස්ට්. ඒකට අපිට වරදක් කියන්නත් බැහැ. සමහරු මේවා දාන්නේ උපහාසෙට. හැබැයි හැමෝම ඒවා දාන්නේ උපහාසෙට නෙමෙයි, සමහරු කෙනෙක්ට යමක් කෙලින් කියන්න බැරි අවස්ථාවලදීත් මේවා දානවා. සමහර විට ‘වදින එකාට වැදියන්’ කියලා දැම්මට අන්තිමට ඒක වද්දගන්නේ වෙන කොහේවත් නැති උදවිය. එතකොට නැති ප්‍රශ්න. සමහරු තමන්ගේ සැමියාගේ, බිරිඳගේ, දෙමවුපියන්ගේ වැරදි පවා සමාජ මාධ්‍යවල දානවා. ඒත් ඇත්තටම අපිට බැරිද මේ වගේ දේවල් ෆේස්බුක්, ට්විටර් දාන්නේ නැතිව ඒ උදවියගෙ මූණටම කියන්න. සමහරවිට අපි ඒ අය ගැන ඉන්නේ වැරදි වැටහීමක වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ගෙන් කෙලින් ගිහින් අහන්න පුළුවන් දෙයක් වහෙන් ඔරෝ හෝ කෙලින්​ම සමාජ මාධ්‍ය හරහා අහන්න කලිනුත් දෙපාරක් හිතන එක හොඳයි.

 

7. හිරේ යන්න වෙයිද?

සමාජ මාධ්‍ය හරහා දැන් වැඩිපුරම සිදු වෙන දෙයක් තමයි බුද්ධිමය මංකොල්ලය. කෙනෙක් ලියන ලිපි, නිර්මාණාත්මක දේවල් පවා මහ දවල් ම​ංකොල්ලකනවා. වචනයක්, අකුරක් ගා​ණේ ඒවා කොපි කරගෙන තමන්ගේ වගේ දානවා. එහෙමත් නැත්නම් ‘අන්තර්ජාලය ඇසුරිණි’ වගේ ෂේප් වාක්‍යයක් දාලා ෂේප් වෙනවා. ඒවා ඇත්තටම ගත්තොත් හොරකම් සහ නීති විරෝධී සහ සවුත්තු වැඩ. මීට එහා ගිය පුද්ගලික මඩ ගැසීම්, නීති විරෝධී දේවල්වලට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණයන් ලබා දීම් වගේ දේවල් තියනවා තමන්ට නීතියෙනුත් දඬුවම් හිමි කරලා දෙන්න පුළුවන් විදිහේ ඒවා. අන්න ඒ විදිහේ දේවල් පළ කරන්න, ෂෙයාර් කරන්න කලිනුත් දෙපාරක් නෙමෙයි, සිය පාරක් හිතන්න!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *