කාන්තාවෝ හුඟ දෙනෙකුට කරදරයක් වෙන අක්‍රමවත් ඔසප් චක්‍රය

මේක කාන්තා ටොපික් එකක්. ඒ කිව්වේ පිරිමින්ට කියවන්න එපා කියලනම් නෙමෙයි. වැඩිපුර වැදගත් වෙන්නෙ කාන්තාවන්ට. 

මේ කතා කරන්න යන්නෙ අක්‍රමවත් ඔසප්වීම ගැනයි. අදකාලෙ හුඟක් කාන්තාවො මුහුණ දෙන ප්‍රශ්නයක් මේක. අපී හැමෝම දන්නවනෙ ඔසප් වීම කියන්නෙ වැඩිහිටි කාන්තාවො හැමදෙනෙක්ම මාසිකව මුහුණදෙන සංසිද්ධියක් කියල. පළමු ඔසප්වීම එහෙමත් නැත්තම් පොදු ව්‍යවහාරයේ අපි වැඩිවිය පත්වීම කියන කාරණය සිද්ධ උනාට පස්සෙ සාමාන්‍යයෙන් අවුරුදු දෙකක කාලයක් ගතවෙන්න පුළුවන් මාසික ඔසප්වීම හරියාකාරව සිද්ධ වෙන්න පටන් ගන්න. හැබැයි ඊට පස්සෙ මාසයකට වරක් ඒ කියන්නෙ දින 28කට වරක් මේ ඔසප්වීම සිදුවෙන්න ඕන. එහෙම නොවෙනව කියල කියන්නෙ ඒ ගර්භාෂය සහ ඔසප් චක්‍රය ආශ්‍රිත මොකක්හරි ගැටළුවක්. ඉතින් ඒ වගේ අවස්ථා ගැනයි මේ කතා කරන්න යන්නෙ.

 

1. ඔසප් චක්‍රය

කලිනුත් කිව්ව වගේ ගැහැණු දරුවෙක් වැඩිවිය පත්වීම එහෙමත් නැත්තම් පළමු ඔසප්වීම සාමාන්‍යයෙන් වයස අවුරුදු 12ත් 13ත් වගේ කාලයේදී සිද්ධ වෙන්න පුළුවන්. මේ වයස ටිකක් එහෙමෙහෙ වෙන්නත් පුළුවන්. කොහොම උනත් මේ ඔසප්වීම කියල කියන්නෙ ගර්භාෂය ආශ්‍රිතව සිදුවෙන දෙයක්. හැම මාසෙකම ඩිම්බයක් නිකුත් වෙන්න කලින් කළලයකට වර්ධනය වෙන්න සුදුසු පරිසරයක් හදන්න ගර්භාෂ බිත්තිය වටේට තියෙන හම ඝනකම බිත්තියක් සකස් කරනවා. හැබැයි කළලයක් සකස් කෙරෙන්න ඩිම්බයට අවශ්‍ය ශුක්‍රානුවක් හමුවුනේ නැති උනහම මේ බිත්තිය කැඩිල ශරීරයෙන් ඉවත් වෙනවා. ඒක තමයි රුධිරය විදිහට යෝනි මාර්ගය හරහා පිටවෙන්නෙ. මේ කාර්යය සිදුවෙන්නෙ මාසෙකට එහෙමත් නැත්තම් දින 28කට සැරයක්. හැබැයි සමහර කාන්තාවන්ට මේ ක්‍රියාව දින 21 – 35 අතර කාලය තුල සිදුවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය තත්ත්වයක්.

 

2. අසාමාන්‍ය ඔසප් චක්‍රයක ලක්ෂණ

තත්ත්වය අසාමාන්‍ය වෙන්නෙ දින 21කට කලින් හෝ දින 35කට පස්සෙ ඔසප්වීම සිදුවෙනවනම්. සාමාන්‍යයෙන් කාන්තාවකට වසරකට ඔසප්වීම් 11ත් 13ත් අතර ප්‍රමාණයක් සිදුවෙනවා. එහෙම නොවීම ගැටළුවක්. ඒ වගේම මේ කියන අනිත් කාරණා ලක්ෂණ විදිහට පෙන්නුම් කරනවානම් ඒවත් ගණන් ගැනෙන්නෙ අක්‍රමවත් ඔසප් චක්‍රයක ලක්ෂණ විදිහටයි.

  • එක දිගට මාස 3ක් හෝ වැඩි ගණනක් ඔසප් නොවීම.
  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතා වැඩියෙන් හෝ ඉතා අඩුවෙන් රුධිරය පිටවීම.
  • දින 7කට වඩා පවතින ඔසප් තත්ත්වය.
  • ඔසප්වීම සමඟ ඇතිවන අධික වේදනාව, ඔක්කාරය හෝ වමනය.
  • ඔසප් චක්‍රයන් දෙකක් අතරතුර සිදුවන සුළු රුධිර පිටවීම්.

 

3. ඔසප් ගැටළු ඇතිවෙන්න බලපාන මූලික හේතු

ඔසප් චක්‍රය සම්බන්ධ ගැටළු ඇතිවෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ හෝර්මෝන සම්බන්ධව පවතින ගැටළු. මේ ඔසප් චක්‍රය පාලනය කිරීම සිදුකරන්නෙ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝර්මෝන දෙවර්ගය. පිටතින් ලබාගන්න උපත් පාලන පෙති වගේ විවිධ හේතු නිසා ශරීරයේ මේ හෝර්මෝන තත්ත්වය වෙනස් වීම ඔසප් ගැටළු ඇතිවෙන්න හේතු වෙනවා. ඊට අමතරව මේ හේතු නිසාත් ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇතිවෙන්න පුළුවන්.

  • අධිකව බර වැඩිවීම.
  • අධිකව බර අඩුවීම.
  • මානසික ආතතිය.
  • ව්‍යායාම මදබව.

 

4. අක්‍රමවත් ඔසප් චක්‍රයක් සඳහා බලපාන වෙනත් ලෙඩරෝග 

අපි කලිනුත් කිව්වා වගේ මේ අක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතින්න ශරීරයේ වෙනත් සෞඛ්‍යමය ගැටළුවක් අනිවාර්යයෙන්ම බලපානවා. ඉතින් ඒ ගැටළු පසුකාලීනව දරුඵල සම්බන්ධ ගැටළු පවා ඇතිකරන සංකුලතා බවට පත්වෙන්න පුළුවන්.

  • PCOS – මේ Polycystic Ovarian Syndrome හෙවත් PCOS කියන්නෙ කාන්තාවන්ට මදසරුභාවය ඇතිකරන තත්ත්වයක්. මේ ගැන අපි කලින් දීර්ඝ වශයෙන් කතා කළා මෙන්න මේ ලිපියෙන්
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ආබාධ – ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට අවශ්‍ය හෝර්මෝන නිකුත් කිරීම සිදුවෙන්නෙ මේ තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින්. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ආබාධ තත්ත්වයන් නිසාත් අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇතිවෙන්න පුළුවන්.
  • ගැබ්ගෙල හෝ ගර්භාෂ පිළිකා – මේ තත්ත්වයන් නිසාත් ඔසප්වීම් අතරතුර කාලයේදී රුධිරය පිටවීම හෝ ලිංගික එක්වීමකදී රුධිරය පිටවෙන්න පුළුවන්.
  • Endometriosis – මේකත් ගර්භාෂය ආශ්‍රිතව ඇතිවෙන ටිකක් සුලභ රෝග තත්ත්වයක්. මේ නිසාත් අක්‍රමවත් ඔසප්වීම ඇතිවෙන්න පුළුවන්.
  • Pelvic inflammatory disease (PID) – කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන අසාදන තත්ත්වයක්. මේ හේතුවෙනුත් ඔසප් චක්‍රයට බාධා වෙන්න පුළුවන්.
  • Fibroids – මේ ගැනත් අපි මීට කලින් කතා කළා මෙන්න මේ විදිහට

 

5. ප්‍රතිකාර

ප්‍රතිකාර තීරණය වෙන්නෙ මේ තත්ත්වය ඇතිවෙන්න බලපාන හේතුව මතයි.

  • Puberty and menopause – ආර්ථවහරණය නිසා ඇතිවෙන අක්‍රමවත් ඔසප්වීම ප්‍රතිකාර අවශ්‍ය නොවන තත්ත්වයක්.
  • උපත් පාලන ක්‍රම – උපත් පාලන ක්‍රමයක් නිසා ඇතිවෙන අක්‍රමවත් ඔසප්වීමක් නම් වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරලා වෙනත් උපත් පාලන ක්‍රමයක් තෝරාගත යුතුයි.
  • PCOS සහ අධික ස්ථුලතාවය – මේ දෙකටම හොඳම ප්‍රතිකාරය අනවශ්‍ය ශරීර ස්කන්ධය අඩුකර ගැනීම.
  • තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු – මේ සඳහා නම් වෛද්‍යවරයෙක් ඖෂධ, හෝ සමහරවිට සැත්කමක් පවා නිර්දේශ කරන්න පුළුවන්.
  • Fibroids සහ Endometriosis – මේ සඳහාත් ඖෂධ සහ සැත්කම් ප්‍රතිකාර තමයි නිර්දේශ කරන්නෙ.

 

6. ගෙදරදී කළ හැකි ප්‍රතිකර්ම

සෞඛ්‍යසම්පන්න ජීවන රටාවකට හුරුවීම මඟින් මේ හුඟක් හේතු ප්‍රතිකාර වලින් තොරවට මඟහරවා ගන්න පුළුවන්. සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට හුරුවීම, අධික තෙල්, පිටි සහ සීනි අඩංගු ආහාර අවලින් වැළකී සිටීම සහ දිනපතා ව්‍යායාම කිරීම මේකට ඇතුළත් වෙනවා.

 

7. ගර්භණී තත්ත්වය හා අක්‍රමවත් ඔසප් චක්‍රය

කලින් කිව්ව වගේ අක්‍රමවත් ඔසප්වීම නිසා පසු කාලීනව දරුඵල ලැබීම පිළිබඳ ගැටළු ඇතිවෙන්න පුළුවන්. හැබැයි ඔසප් චක්‍රය අක්‍රමවත් උනත් හුඟක් වෙලාවට ඩිම්බ මේරීම සහ නිකුත් කිරීම සිදු වෙනවා. ඒ නිසා අක්‍රමවත් වුණත් පවතින ඔසප් චක්‍රය ගැන හරියාකාර අවබෝධයකින් ඉඳලා ඩිම්බ නිකුත්වීම සිදුවෙන දවස  ඒ කියන්නෙ සරු දවස් අනුමාන කරන්න පුළුවන්නම් ඒක ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට වුණත් පහසුවක්. 

  • පවතින ඔසප් චක්‍රය, ඒ කියන්නෙ දින 21ට අඩු හෝ 35ට වැඩි උනත් හැම මාසෙකම අදාළ දින සටහන් කරගෙන රටාව හඳුනාගන්න පුළුවන්. මේකට දැන් play store එකේ ඕන තරම් period tracking apps තියෙනවා.
  • ගැබ්ගෙල ආශ්‍රිත ශ්‍රාවයන් පිලිබඳ අවධානයෙන් සිටීම. ඩිම්බ නිකුත් වෙන්න අසන්න දින වලදී මේ පිටවන ශ්‍රාවය වැඩි වෙනව වගේම වඩා ලිස්සන සුළු පැහැදිළි ගතියක් පේන්න තියෙනවා.
  • දිනපතා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරලා උෂ්ණත්වය ඉහළ යන දින සටහන් කරගන්න. ඒ ඩිම්බ පිටවීමට ආසන්න දින.