රස නහර පිනා යන ඉටැලියන් ඩිශස් 5ක් ගෙදරදීම හදාගනිමු

එකම විදියෙ කෑමම කාලා එපා වෙලානේ… එහෙනම් අපි අද ඉතාලියට යමු. ඉතාලි ජාතිකයන්ගෙ ජනප්‍රිය හා රසවත් ආහාර රැසක් තමයි ලයිෆි ෆුඩ්ස් වලින් අපි අද අරන් ආවෙ. මේ කෑම ඔයාලා හදලා අපිත් එක්ක ෆොටෝස් ශෙයා කරන්නත් අමතක කරන්න එපා ඔන්න. එහෙනම් හදමු. 

 

1. ඉටැලියන් ප්‍රෝන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ඉස්සන් ග්‍රෑම් 250
  2. කපාගත් මාළුමිරිස් කරල් 4
  3. චොප්කරගත් ඉඟුරු හා සුදුළූණු ස්වල්පයක්
  4. චොප්කරගත් ළූණු ගෙඩි 1
  5. කපාගත් තක්කාලි ගෙඩි 2
  6. සෝයාසෝස් ස්වල්පයක්
  7. ලුණු හා ගම්මිරිස්කුඩු
  8. දෙහි යුෂ ස්වල්පයක්
  9. තක්කාලි සෝස් මේස හැඳි 2

 

  • ඉඟුරු සුදුළූණු පේස්ට් එකට දෙහි, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කළවම් කරගන්න. සුද්දකරගත් ඉස්සො මේකට දාලා පැයක් සීසන් කරගෙන සෙල්සියස් 180ට විනාඩි 20ක් බේක් කරගන්න. 
  • වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට කපාගත් මාළුමිරිස්,  සැල්දිරි හා තක්කාලි ටික දාන්න. හොඳට හැඳිගාන්න. 
  • මේකට සෝයාසෝස් සහ බේක් කරගත් ඉස්සො ටික දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න. ලිපෙන් බාන්න කිට්ටුව දෙහි යුෂ ටිකක් සහ තක්කාලි සෝස් ටික දාගන්න. පාස්ටා, ස්පැගටි එක්ක නියමයි. 

 

 

2. ඉතාලි වම්බටු පිකල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලොකු වම්බටු කරල් 4
  2. කපාගත් සුදුළූණු බික් 5
  3. ලුණු ස්වල්පයක්
  4. එළවළු තෙල් මේස හැඳි 2
  5. ඉදුණු මිරිස් කරල් 2
  6. විනාකිරි තේ හැඳි 2
  7. චොප්කරගත් පාස්ලි ස්වල්පයක්
  8. ඔලිව් ඔයිල්

 

  • බටු ටික දික් අතට කපලා ලුණු ටිකක් අතගාල පෑන් එකට ඔලිව් ඔයිල් ටිකක් දාලා ෆ්‍රයි කරගන්න. 
  • මේ ටික අයින් කරලා පෑන් එකට තව ඔලිව් ඔයිල් ටිකක් දාලා සුදුළූණු, මිරිස් හා විනාකිරි දාලා හැඳිගාන්න. රස අනුව ලුණු දාලා බැදගත් බටු ටික එකතු කරන්න. 
  • හොඳට කළවම් කරලා පාස්ලි ටික දාගන්න. බෝතලයකට මේ ටික දාලා කට මට්ටමට වෙනකල් ඔලිව්තෙල් දාගන්න. දවසකට පස්සෙ කාලා බලන්න. 

 

 

3. ලසාඤ්ඤා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. ලසාඤ්ඤා ශීට්ස්
  2. තෙල් මේස හැඳි 2
  3. චොප්කරගත් ළූණු ගෙඩි 2
  4. චොප්කරගත් සුදුළූණු බික් 4
  5. කටු ඉවත් කර පොඩියට කපාගත් චිකන් ග්‍රෑම් 500
  6. ටොමැටෝ පේස්ට් කෝප්ප 1/4
  7. ටොමැටෝ ​කෙචප් කෝප්ප 1/2
  8. කෑලිමිරිස් මේස හැඳි 1
  9. ගම්මිරිස්කුඩු මේස හැඳි 1
  10. ලුණු ස්වල්පයක්
  11. කපාගත් තක්කාලි ගෙඩි 2
  12. ඔරිගානෝ මේස හැඳි 1
  13. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස්
  14. ග්‍රේට්කරගත් චෙඩාර් චීස්

 

වයිට් සෝස් එකට

 

  1. බටර් මේස හැඳි 2
  2. පාන්පිටි මේස හැඳි 2
  3. කිරි මි.ලී. 500
  4. ලුණු හා ගම්මිරිස්කුඩු

 

  • පෑන් එකකට තෙල් ටිකක් දාලා ළූණු ටික ෆ්‍රයි කරගන්න. දැන් මේකට සුදුළූණු ටිකත් දාගන්න. ළූණු ටික හොඳට මැලවෙනකොට චිකන් ටික දාගන්න. විනාඩි 10ක් වහලා තම්බගන්න. චිකන් ටික තැම්බුනාට පස්සෙ ටොමැටෝ පේස්ට්, ​කෙචප්, කෑලිමිරිස්, ගම්මිරිස්කුඩු හා ලුණු එකතු කරන්න. කපාගත් තක්කාලි සහ ඔරිගානෝ එකතු කරන්න. වතුර මේස හැඳි දෙකක් විතර දාලා විනාඩි 15ක් වගේ තියලා ලිපෙන් බාගන්න. 
  • ලසාඤ්ඤා ශීට්ස් පැකට් එකේ උපදෙස් අනුව තම්බගන්න. 
  • වයිට් සෝස් එක හදාගන්න පෑන් එකකට බටර් ටික දාලා දියවෙනකොට පිටි ටික දාලා හැඳිගාන්න. ටිකකින් කිරි ටික එකතු කරන්න. තික් වෙනකල් හැඳිගාන්න. ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. අඩිය අල්ලන්න නොදී දිගටම හැඳිගාන්න. උකු ගතිය වැඩිවේගෙන එනකොට ලිපෙන් ඉවත් කරගන්න. 
  • බේකින් ට්‍රේ එකකට ඔයිල් බ්‍රශ් කරගන්න. දැන් මේකට වයිට් සෝස් ටිකක් දාලා වටේටම විහිදුවන්න. ඊළඟට ලසාඤ්ඤා ශීට්ස් ලේයර් එකක් අතුරගන්න. ඊළඟට හදාගත් චිකන් මිශ්‍රණයෙන් ලේයර් එකක් දාගන්න. ඊට උඩින් ග්‍රේට්කරගත් මොසරැල්ලා හා චෙඩාර් චීස් දාගන්න.
  • නැවත වයිස් සෝස් ලේයර් එකක් දාලා ලසාඤ්ඤා ශීට්ස් දාලා චිකන් මිශ්‍රණය දාගන්න. ඔය වගේ ලේයර් කිහිපයක් දාලා උඩින්ම මොසරැල්ලා හා චෙඩාර් චීස් දාගෙන සෙල්සියස් 180°ට විනාඩි 25ක් බේක් කරගන්න. 

 

4. ප්‍රෝන් බෝල්ස් ඉන් ස්පැගටි (Prawn Balls in Spaghetti) 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුද්දකරගත් ඉස්සන් ග්‍රෑම් 200
  2. චොප්කරගත් ළූණු ගෙඩි 1
  3. චොප්කරගත් අමුමිරිස් කරල් 2
  4. කහකුඩු තේ හැඳි 1/2
  5. මිරිස්කුඩු තේ හැඳි 1
  6. කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
  7. ලුණු
  8. කෝන්ෆ්ලා මේස හැඳි 2
  9. ගාලික් පව්ඩර් මේස හැඳි 1
  10. ටොමැටෝ සෝස් කෝප්ප 1

 

  • ඉස්සො ටික අඹරගන්න. ඒකට ළූණු, අමුමිරිස්, මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු, ලුණු හා කෝන්ෆ්ලා  දාලා කළවම් කරගන්න. දැන් අතින් බෝල හදලා රත්වුණු තෙලට දාලා රන්වන් පාටට බැදගන්න. 
  • ස්පැගති ටික පැකට් එකේ උපදෙස් අනුව තම්බගන්න. ස්පැගති තැම්බූ වතුර ටික වෙනම තියාගන්න.
  • වෙනම පෑන් එකකට ගාලික් පව්ඩර් ටික දාලා සෝස් ටික දාගන්න. කළවම් කරන ගමන් ස්පැගති තැම්බූ වතුර කෝප්පයක් එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න. ගම්මිරිස්කුඩු ටිකක් ඉසගන්න. මේකට හදාගත්තු බෝල ටික දාලා කළවම් කරන ගමන් ස්පැගති ටික එකතු කරන්න. හොඳට උකුවෙලා හිඳෙනකම් පිසගන්න. 

 

 

5. Melanzane Parmigiana

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. වම්බටු කරල් 4
  2. තක්කාලි සෝස් කෝප්ප 1
  3. ග්‍රේට්කරගත් මොසරැල්ලා චීස්
  4. පාමසාන් චීස් 
  5. චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
  6. ලුණු
  7. චොප්කරගත් සුදුළූණු බික් 4

 

  • වම්බටු දික් අතට හීනි පෙති කපාගන්න. මේ ටික විනාඩි 5ක් ග්‍රිල් හෝ පෑන් ෆ්‍රයි කරගන්න. 
  • සෝස් එක හදාගන්න පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සුදුළූණු ටික දාගන්න. ඊළඟට තක්කාලි සෝස් ටික එකතු කරන්න. විනාඩි 10ක් විතර හැඳිගාලා ලිප නිවාගන්න. 
  • බේකින් ට්‍රේ එකක් අරගෙන සෝස් ටිකක් ගාගන්න. ඒකට උඩින් වම්බටු ලේයර් එකක් අතුරගන්න. ආයෙ සෝස් ගාලා මොසරැල්ලා චීස් ලේයර් එකක් දාගන්න. ඊළඟට පාමසාන් චීස් ටිකක් ඉසගන්න. මේ විදියට ලේයර් කිහිපයක් දාලා උඩින් මොසරැල්ලා හා පාමසාන් චීස් දාගෙන 180ට විනාඩි 20ක් බේක් කරගන්න. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *