පුස්තකාල කියන්නේ මානව ශිෂ්ටාචාරයේ ඥාන ගබඩා. පරිගණකය හරහා මුළු ලෝකයම සමීප වෙන්න කලින් පරම්පරාවෙන් පරම්පරාවට සියවස් ගණනාවක් දැනුම සංසරණය වුණේ පොත් හරහා. මේ නිසා බොහෝ රටවල මහා පුස්තකාල ගොඩනැගීම සිද්ධ වුණා. නමුත් අවාසනාවකට ස්වභාවික හේතු නිසා වගේම මිනිසුන් විසින් කරන දුර්දාන්ත ක්‍රියා නිසා මානව වර්ගයාට බොහෝ ඥාන ගබඩා අහිමි වීම සිද්ධ වුණා. ඒ අතරින් මිනිසාගේ දුර්දාන්ත ක්‍රියා ගණන වැඩි බව කණගාටුවෙන් වුණත් කියන්න ඕන.
1. ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලය
පුරාණ ලෝකයේ බිහිවුණු අති දැවැන්තම සහ වැදගත්ම පුස්තකාලය විදිහට ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පිහිටා තිබුණු මෙම පුස්තකාලය හඳුන්වන්න පුළුවන්. ග්‍රීක විශ්වාසයන්ට අනුව සකල කලාවන්ට අධිපති දෙවඟනන් නම දෙනාට කැප ව තිබූ මෙම පුස්තකාලය තුළ පුරාණ ලෝකයේ පළව තිබූ සෑම පොතක් ම වාගේ තැන්පත්ව තිබුණා. ඒ සඳහා වැඩි වශයෙන් භාවිතා කර තිබුණේ පැපිරස් පත්‍රයි. ටොලමි රාජ වංශය යටතේ අතිශයින් සමෘද්ධියට පත්ව තිබූ මෙම පුස්තකාලයට කණ කොකා හැඬීමට පටන් ගත්තේ ජුලියස් සීසර්ගේ ඊජිප්තු ආක්‍රමණය සමගයි. ඔහු විසින් ඇලෙක්සැන්ඩ්‍රියාවේ වරායේ නවතා තිබූ ඊජිප්තු නෞකා වලට ගිනි තැබීමත් සමග ඇති වුණු ගින්න පුස්තකාලය දක්වා පැතිර ගියා. ඊළඟ වතාවේදී ක්‍රිස්තියානි ආගමේ නැඟීමත් සමඟ මිත්‍යාදෘෂ්ටික ඉගැන්වීම් ඇතුළත් යැයි පවසමින් පුස්තකාලය යළිත් වතාවක් විනාශ කරනු ලැබුණා.
2. සෙරපියම් පුස්තකාලය
සෙරපිස් නම් දෙවියා වෙනුවෙන් කැපකළ පූජ්‍යස්ථානය ආශ්‍රිතව ඇලෙක්සැන්ඩ්‍රියාව තුළ තවත් විශිෂ්ට ගණයේ පුස්තකාලයක් පැවතුණා. එය සැලකුණේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ප්‍රධාන පුස්තකාලයේ දරුවකු ලෙසයි. නමුත් අපි කලින් සඳහන් කළ ආකාරයටම ක්‍රිස්තියානි ආගමේ නැගීමත් සමගම මිථ්‍යාදෘෂ්ටික දේවස්ථාන විනාශ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබුවා. එවකට ඇලෙක්සැන්ඩ්‍රියාව පාලනය කළ රෝම අධිරාජයා විසින් එම නියෝගය නිකුත් කළ වහාම ක්‍රිස්තියානි භක්තිකයන් සෙරපියම් ගොඩනැගිල්ල සහ පුස්තකාලය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කළා
3. නාලන්දා පුස්තකාලය
පුරාණ භාරතයේ පැවති සුවිශේෂ පුස්තකාලය වන මෙම පුස්තකාලය තනි පුස්තකාලයක් නොව පුස්තකාල තුනක එකතුවක් ලෙස පවත්වා ගෙන යනු ලැබුවා. මහායාන දහම උගන්වන කේන්ද්‍රස්ථානයක්ව පැවති නාලන්දාව තුළ ථේරවාද දර්ශනය පිළිබඳව මෙන්ම විවිධ ලෞකික ශාස්ත්‍ර පිළිබඳවත් ඉගැන්වීම සිදු කරා. බොහෝ දුර බැහැර රටවල්වල පිරිස් මෙම පුස්තකාලයේ තිබෙන පොත් පිටපත් කර ගැනීමට පැමිණීම සුලභ දර්ශනයක් බවට පත්වෙලා තිබුණා. නමුත් අවසානයේ දී පුස්තකාලය සමගින් සම්පූර්ණ නාලන්දා විශ්වවිද්‍යාලයම මුස්ලිම් අන්තවාදයේ තවත් එක් ගොදුරක් බවට පත් වුණා. මාස ගණනාවක් තිස්සේ නාලන්දා පුස්තකාලයෙන් දුම් දැමූ බව සඳහන් වෙනවා.
4. කොන්ස්තන්තිනෝපලයේ රාජකීය පුස්තකාලය
කොන්ස්තන්තිනෝපලයේ ආරම්භක අධිරාජයා වූ පළවෙනි කොන්ස්ටන්ටයින් විසින් නගරය තුළ රාජකීය පුස්තකාලයක් ආරම්භ කරනු ලැබුවා. ඇලෙක්සැන්ඩ්‍රියාවේ මහා පුස්තකාලය විනාශ වීමෙන් පසුව පුරාණ යුරෝපා ලෝකය තුළ පැවති සම්භාවනීය පුස්තකාලය බවට එය පත්වුණා. හතරවැනි කුරුස යුද්ධයේදී කොන්ස්තන්තිනෝපලය කොල්ල කෑමේ දී කොල්ලකරුවන් විසින් හිතාමතාම මෙම ගොඩනැගිල්ල ගිනි තබනු ලැබුවා. ඉන්පසුවත් පුස්තකාලය යම්තාක් මට්ටමකට පවත්වාගෙන යෑම සිද්ධ වුණත්, ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට යටත් වීමෙන් අනතුරුව කොන්ස්තන්තිනෝපලයේ වාසය කළ උගතුන් එම පුස්තකාලයේ තිබූ බොහෝ පොත පත රැගෙන යුරෝපයේ අනෙකුත් රටවලට පළා යෑම සිදු වුණා.
5. ඥානයේ නිවහන (House of Wisdom)
අරාබි ලෝකයේ බුද්ධිමතුන්ගේ කේන්ද්‍රස්ථානයව පැවති බැග්ඩෑඩ් නගරයේ පිහිටා තිබූ මෙම පුස්තකාලේ විශිෂ්ටත්වය පිළිබඳව බටහිර ලෝකය තුළ පවා රැව් පිළිරැව් දුන්නා. මොංගෝල්වරුන් විසින් බැග්ඩෑඩය ආක්‍රමණය කරද්දී ඔවුන් විසින් හිත් පිත් නැති ලෙස මෙම පුස්තකාලය විනාශ කරනු ලැබුවා. පුස්තකාල ගොඩනැගිල්ලට ගිනි තැබූ ඔවුන් එහි තිබූ පොත පත අසල ගලා යමින් තිබූ ටයිග්‍රීස් නදියට හෙළනු ලැබුවා. සමකාලීන වාර්තාවලට අනුව එම පොත් පත් වල තිබූ තීන්ත නිසා ටයිග්‍රීස් නදිය කළු පැහැයට හැරී තිබෙනවා.
6. Bibliotheca Corviniana
පුනරුද යුගයේ යුරෝපයේ පැවති සම්භාවනීය ම පුස්තකාලය බවට පත් වුණු මෙම පොත් එකතුව හංගේරියාවේ බුඩා අගනුවර රාජ මාලිගය තුළ පිහිටා තිබුණා. සියවසක පමණ කාලයක පටන් හංගේරියානු රජවරු විසින් එකතු කරන ලද පොත්, අත්පිටපත්, සටහන් මේ තුළ එක්රැස්ව තිබුණා. විශේෂයෙන්ම පැරණි ග්‍රීක සහ ලතින් සාහිත්‍ය නිර්මාණ එකතු කිරීමට මෙම රජවරුන් ප්‍රිය කළා. නමුත් තුර්කීන්ගේ හංගේරියානු ආක්‍රමණයත් සමඟ මෙම පුස්තකාලයත් ගිනි දෙවියාට කැප වුණා.
7. යාපනය පුස්තකාලය
අපේ රටට ජාත්‍යන්තර කළු පැල්ලමක් එක් කළ ප්‍රධානතම සිද්ධියක් වන්නේ යාපනය පුස්තකාලය ගිනි තැබීමයි. දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය මෙන්ම ආසියාවේ සුවිශේෂී පුස්තකාලයක් වූ මෙහි පොත්පත් 97,000කට අධික ප්‍රමාණයක් තැන්පත්ව තිබුණා. ආචාර්ය සෙනරත් පරණවිතානගේ පෞද්ගලික පොත් එකතුව පවා යාපනය පුස්තකාලය සතු වුණා. පුස්කොළ පොත් තැබීම සඳහා ඔවුන් විසින් විශේෂයෙන් සකස් කරන ලද සඳුන් පෙට්ටගම් පවා සකස් කර තිබුණා. 1981දී දේශපාලන හෙංචයියන් විසින් මේ මහා ඥාන ගබඩාවට ගිනි තබනු ලැබුවා.
මේ ආටිකල් එක ඔබට යම් අලුත් දැනුමක් එකතු කරන්න ඇති කියලා අපි හිතනවා. ඒ ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න ඔබ අමතක කරන්න එපා.
Leave a Reply