රිවස්ටන් සංචාරයකදී ලබාගත හැකි සොඳුරු අත්දැකීම්

ලේලන්ඩ් බස් එකකින් හැට හැත්තෑවක් සෙනග ගිහින් කරන වන්දනා මාදිලියේ විනෝද චාරිකා වගේම අපි දෙන්නෙක් එකතු වෙලා බයික් එකක යන චාරිකා දක්වා විවිධ චාරිකා මාදිලි ලංකාවේ අපිට තියෙනවා. ඒ කොයි කා අතරත් ජනප්‍රිය සුන්දර තැනක් තමයි රිවස්ටන්. මේ රිවස්ටන් කියල නම තියෙන බංගලා නවාතැන් ආදිය බුක් කරන්න කලියෙන් ටිකක් පාරේ දුර යන්න ගතවෙන වෙලාව එහෙම බලන්න. මොකද සමහර රිවස්ටන් බංගලා වලට රිවස්ටන් කන්දේ ඉඳලා යන්න කඳුකර දුෂ්කර පාරවල පැයක් දෙකක් විතර ගත වෙනවා. 

 

1. පිටවල පතන 

පිටවල පතන කියන්නේ ලස්සන භූමි දර්ශනයක් තියෙන වටිනා බිමක්. මේ පිටවල පතනේ දැන් යන්න ඕනි පාර සළකුණු කරලා තියෙනවා. ඒ පාරෙන් එළියේ තැන තැන ඇවිද්දොත් ඒ කඳුකර පතන පරිසරයට ආවේණික ගෙම්බන්, කටුස්සන් ආදී ජීවීන් වඳවෙන්න පුළුවන්. මේ පිටවල පතන කෙළවර තියෙන පුංචි ලෝකාන්තයත් සුන්දර තැනක්. එතැනින් පහළ බැලුවාම කුඩාවට පහළ තියෙන ගෙවල් සහ වනාන්තර කොටස් පේනවා. මේ පාතාලය බලන්න මත් වෙලා නම් යන්න එපා. එන හුළං පාරට මත්වෙලා වීරයා වෙන්න ගිහින් වැටිලා මැරෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ප්‍රී ෂූට් ආදියට ආවත් මොන දේටත් කලින් ජීවිතේ ගැන හිතලා පොටෝ ගන්න ඕනි. 

 

2. කඳුකර ගම්මාන 

මේ පළාතේ අනෙක් කෙළවර තමයි ලංකාවේ ජනප්‍රියම මීමුරේ ගම තියෙන්නේ. මේ පැත්තේ නක්ල්ස් දුම්බර වනාන්තරයට මායිම් වෙලා තිබුණ රඹුක්ඔළුව වගේ ගම්මාන දැන් කළුගඟ මොරගහකන්ද ව්‍යාපෘති නිසා අතුරුදන් වෙලා. ඒ කියන්නේ ඒ ගම් ගැලවිලා ගිහින්. විදෙස් සංචාරකයින් නම් ඇටන්වල ගමට හෙම තාමත් යනවා. ඒ ගම්මාන වලට ගිහින් පරණ විදිහටම නැතත් ටිකක් වෙල් එළියේ ඇවිදලා කියලා, ඒ සුන්දර පරිසරය විඳගන්නට අපිටත් පුළුවන්. ඇටන්වලට ගියොත් නම් හොඳට නා කියාගෙන, ගමේ ගෙදරකින් බත්වේලක් කාලා, තේ උගුරක් බීලා එන්නත් පුළුවන්. 

 

3. කෑම්පින් 

කොච්චර හෝටල වල නැවතුනත් එක පාරක් හරි කෑම්පින් කරලා ඒ අත්දැකීම ගන්න ඕනි. කෑම්පින් වලට කියාපු ලොකේශන් ගොඩක් මේ රිවස්ටන් පිටවල පතන සහ ඉළුක්කුඹුර දිහා තියෙනවා. වැඩිය කඳු උඩ බඩගාන්න බැරිනම් ගම්මානයක වතුර පාරක් අද්දර වුණත් ලේසියට ටෙන්ට් එක ගහගෙන රැයක් පහන් කරන්නට පුළුවන්. නුවරඑළිය, හෝටන්තැන්න කෑම්ප් සයිට් වල තරම්ම තද සීතලක් මේ පළාතට නැහැ. පාන්දර නැගිටිනකොට සුන්දර වතුර පාරක්, සුන්දර කඳු යායක දර්ශනයක් එක්ක නැගිටින්න පුළුවන් මේ පළාතේ කෑම්ප් කළොත්. 

 

4. රිවස්ටන් 

රිවස්ටන් උඩ නිතරම මීදුම ගහනවා. කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බැරි කාලගුණයක් තමයි රිවස්ටන් වල තියෙන්නේ. නිතරම වළාකුළු වලින් වැහෙන කන්දක් තමයි රිවස්ටන්. රිවස්ටන් එක උඩ තියෙන ටවර් අවුරුදු බර ගාණක් තිස්සෙ තියෙනවා. දැන් නම් රේඩියෝ සම්ප්‍රේෂණ කටයුතු අඩු වුණත් දැන් මොබයිල් සංඥා හුවමාරුවට රිවස්ටන් ටවර් එක යොදාගන්නවා. කාලයකට කූඩැල්ලෝත් මේ රිවස්ටන් පාරේ සුලභව ඉන්නවා. රිවස්ටන් ගමනේදී සිතල සුළං බර කාලගුණය වගේම සුන්දර කඳුකර වටපිටාවකුත් අපේ නෙත් වලට විඳගන්නට ලැබෙනවා. 

 

5. ට්‍රෙකින්

ට්‍රෙකින්, හයිකින් වලටත් මේ පැත්ත මරු. හැමෝම දන්න ට්‍රෙකින් වගේම හැමෝම වැඩිපුර නොයන ගම් වල අය යන එන සුන්දර තැනුත් මේ පළාතේ තියෙනවා. ඇටන්වලින් යන්න තියෙන වල්පොලමුල්ල මානිගල ට්‍රැක් නම් දවසින් ඉවර කරන්න පුළුවන්. ඒ වගේම නකල්ස් වනයේ ගැඹුරට ඇදෙන දූවිලි ඇල්ල සහ සුන්දර ස්ථාන බලාගන්න ට්‍රිප් එකත් වටිනා කියන ගමනක්. ඒත් දූවිලි ඇල්ලට මේ පැත්තෙන් ගිහින් එන්න නම් දවස් දෙකක් විතර සම්පූර්ණයෙන්ම වියදම් වෙනවා. 

 

6. දිය ඇළි 

නක්ල්ස් කැලේ තියෙන දිය ඇළි නම් මැක්සා. ඒවායේ ළඟ කෑම්පින් එක්ස්පීරියන්ස් එකත් හොඳයි. ඒත් ඉතින් දුම්බර ඇල්ල, දුවිලි ඇල්ලට ළඟා වෙන එක තමයි ගේම් එක. දුම්බර ඇල්ලට යන්නත් සාමාන්‍ය කෙනෙක්ට පැය 6ක් විතර කඳු නැගලා, පල්ලම් බැහැලා පයින් යන්න ඕනි. දූවිලි ඇල්ලට ඊටත් වඩා පැය තුනක් විතර ගතවෙනවා. මේ ආසන්නයේ සේර ඇල්ල නම් ලේසියෙන්ම වාහනයෙන් ගිහින් අඩු මහන්සියකින් දැක බලාගන්නට පුළුවන් දිය ඇල්ලක්. 

 

7. කඳුකර සිරිය සමග ධාවනය 

වැගන් ආර් හෝ ජපන් ඇල්ටො වගේ වාහන වලට නම් ඇත්තටම අමාරුයි මේ පළාතේ යන එක. මොකද ගැඩිලි ගොඩිලි සහිත කඳුකර පාරවල් වලට ඒ වාහන ඔරොත්තු දෙන්නෙ නැහැ. ඒ වගේම බයික් වුණත් ටිකක් උස සැප බයික් එකක් තියෙනවා නම් වාසියි මේ පැත්තට. ලග්ගල පල්ලේගම ඉඳලා පිටවල පතන රිවස්ටන් හරහා තියෙන පාර ඇත්තටම ලස්සනයි. වනාන්තරය මැදින් වගේම කඳුකර දර්ශන තියෙන කොටස් කිහිපයක්ම මේ ගමනේදී අපිට පහුකරන්නට වාසනාව ලැබෙනවා. බයිසිකල් අරං යන්න පුළුවන් කමක් තියෙනවා නම් කඳු උඩට ගිහින් පල්ලමේ ගාණට කූල් එකේ බයිසිකල් පදින එකත් හොඳ අත්දැකීමක් වෙයි. 

 

නේපාලය වගේ රටක කඳු තියෙනවා. ඒවා ලංකාවේ ඒවට වඩා උසත් එක්ක. ඒත් නේපාලෙ පවා අන්නපූර්ණා ආදී කලාප වල ජෛව විවිධත්වය හරි අඩුයි. එකම ජාතියේ ගහකොළ තමයි නිතරම දකින්නට ලැබෙන්නේ. ඒත් රිවස්ටන් ගමනෙදි රිවස්ටන් කලාපයෙදි තිබෙන දේශගුණයට වඩා කළුගඟ ව්‍යාපෘතිය, මොරගහකන්ද පැත්තට, ඉළුක්කුඹුර දිහාට එනවිට තියෙන දේශගුණය වෙනස්. ඒ වගේම ගහකොළ, සතා සීපාව කුරුල්ලෝ ආදියත් සෑහෙන වෙනස්කම් තියෙනවා. ඉතින් මේ නිවර්තන කඳුකර පරිසරයේ වෙනස් අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් නක්ල්ස් වල උතුරු බෑවුම් කලාපයට අයිති රිවස්ටන් පැත්ත, ආයෙත් ගිහින් බලලා අලුත් අත්දැකීම් එකතු කරගන්න වටින පළාතක්. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *