යුරෝපා දේශපාලනය කැළඹූ ගැහැණු

කොයිතරම් ප්‍රගතිශීලී වගේ පෙනුනත් යුරෝපා දේශපාලනයේ මෑතක් වෙන තුරුම තිබ්බේ පුරුෂාධිපත්‍යය. ඇතැම් රටවල ඡන්ද බලය පවා කාන්තාවන්ට හිමි වුණේ පසු කාලයක. අපි අද කතා කරන්න යන්නේ යූරෝපයේ දේශපාලනය වෙනස් කරන්න තමන්ගේ දායකත්වය ලබා දීපු කාන්තාවෝ කීප දෙනෙක් පිළිබඳව.

 

1.මාග්‍රට් තැචර්

යකඩ ගැහැණිය විදිහට විරුදාවලිය ලබපු මාග්‍රට් තැචර් මහා බ්‍රිතාන්‍යයේ අගමැති පුටුවට එද්දි ඒ රට හොම්බෙන් ගිය කාලයක්. කාලයක් ලෝක බලවතා වෙලා හිටිය බ්‍රිතාන්‍යයට ඒ වෙද්දි තිබ්බේ සුන්දර අතීතයකුයි, යන එන මන් නැති වර්තමානයකුයි, අපැහැදිලි අනාගතයකුයි විතරයි. ඒත් මාග්‍රට් තැචර් මේ අභියෝගය බාරගත්තා. කෙටි කාලයක් ඇතුළත ආර්ථික වශයෙන් එරට බලගන්වන්න ඇය සමත් වුණා. ඒ වගේම ෆෝක්ලන්ත යුද්ධයේදී මහා බ්‍රිතාන්‍යය ජයග්‍රහණය කරා මෙහෙයවන්න ඇය සමත් වුණා.

 

2.ජුලියානා රැජන

දෙවැනි ලෝක යුද්ධ සමය තුළදී නෙදර්ලන්තයට නායකත්වය ලබා දුන් ඇය සිය මව්බිම නාසීන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් පසුව රජ පවුල සමඟ මහා බ්‍රිතාන්‍යයට පලා ගියා. එතැන් පටන් ගුවන්විදුලි වැඩසටහන් හරහා නෙදර්ලන්ත ජාතිකයන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට ඇය කටයුතු කළා. මේ නිසා නෙදර්න්තය තුළ දැඩි ජර්මානු විරෝධයක් ඇති වුණා. වරක් වින්ස්ටන් චර්චිල් ප්‍රකාශ කළේ නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලයේ සිටින එකම පිරිමියා ජුලියානා බිසව බවයි.

 

3.රුමේනියාවේ මේරි බිසව

බ්‍රිතාන්‍ය රජ පවුලේ රජ කුමරියක් විදිහට උපත ලබපු අය විවාහයත් සමඟ රොමේනියාවේ ඔටුන්න හිමි කුමරිය බවට පත්වුණා. පළවෙනි ලෝක යුද්ධයේදී මහා බ්‍රිතාන්‍යය ප්‍රමුඛ සන්ධානය සමග එක්වන ලෙස සිය සැමියාව එකඟ කර ගැනීමට ඇය සමත් වුණා. ආරම්භයේදී රුමේනියාව අති දැවැන්ත පරාජයන්ට මුහුණ දුන්නත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඔවුන්ට ප්‍රතිලාභ රැසක් හිමි වුණා. ඒ සඳහා පැරිස් සම්මේලනයේදී රුමේනියාව නියෝජනය කරමින් ඇය දැක්වූ රාජ්‍ය තාන්ත්‍රික විශිෂ්ටත්වය එක් හේතුවක් වුණා.

 

4.ප්‍රශියාවේ ලුයිසා බිසව

නැපෝලියන් බොනපාට්ගේ යුද උපක්‍රම හමුවේ අවමන් සහගත පරාජයකට මුහුණදුන් ප්‍රෂියාවට බොහෝ බිම් කොටස් අහිමි වූ අතර අති දැවැන්ත යුද වන්දියක් ගෙවීමට සිදු වුණා. ඒ අවස්ථාවේදී බොනපාට් අධිරාජ්‍යයා ඉදිරියට සාකච්ඡා සඳහා පැමිණියේ එවකට ගර්භණී තත්ත්වයේ සිටි ලුයිසා බිසවයි. නැපෝලියන් විසින් ප්‍රෂියාවට එරෙහිව පනවන ලද කොන්දේසි වෙනස් කිරීමක් සිදු නොකළත්, රට කෙරෙහි යම්තාක් දුරකට ලිහිල් ස්වභාවයකින් කටයුතු කිරීමට මින් අනතුරුව ඔහු තීරණය කරනු ලැබුවා.

 

5.මාරියා තෙරේසා රැජින

ඇයට ඕස්ට්‍රියානු අධිරාජ්‍යයේ කිරුළ හිමි වුණේ ඇයගේ පියාට පිරිමි දරුවන් නොමැතිවීම නිසයි. ඇයගේ රාජ්‍ය කාලයේ මුල් අදියරේදී ප්‍රෂියානු ආක්‍රමණ නිසා බොහෝ බිම් කොටස් අහිමිව ගියත් ඉන් පසුබට නොවුණු ඇය තම රාජ්‍යය ප්‍රතිසංවිධානය කොට නව අභියෝගවලට මුහුණ දීමටත් කටයුතු කළා. සිය දරුවන් යුරෝපයේ ප්‍රධාන රජ පවුල් වෙත විවාහ කර දී තම බලය ආරක්ෂා කර ගැනීමට ඇය උපක්‍රමශීලී වුණා.

 

6.මහා කැතරින්

ජර්මානු කුමරියක් ලෙස උපත ලැබූ ඇය විවාහ වීම සඳහා පැමිණි රටට තම මව් රටටත් වඩා ආදරය කළා. දුර්වල පාලකයෙක් වූ තම සැමියා බලයෙන් පහ කොට රුසියාවේ සිහසුනට පත් වුණු ඇය ඒ තාක් කල් රුසියාවේ පෙර නොවූ විරූ ආකාරයේ සංවර්ධනයක් ඇති කිරීමට ප්‍රමුඛත්වය ලබා දුන්නා. යුද්ධය සහ සාමය යන උපක්‍රම දෙකම තම අධිරාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් ඇය භාවිතා කළා. කලාව, සාහිත්‍යය කෙරෙහි අතිශයින් උනන්දුවක් දැක්වූ ඇය තමන්ව සොඳුරු අඥාදායිකාවක ලෙස හැඳින්වීම ප්‍රිය කළා.

 

7.වික්ටෝරියා රැජන

නාමමාත්‍රික රැජනක් වුණත් වික්ටෝරියා යුරෝපා දේශපාලනය තුළ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනු ලැබුවා. සිය දරු මුණුබුරන් යුරෝපයේ ප්‍රධාන රජ පවුල්වලට විවාහ කර දීමෙන් යුරෝපය වෙත සාමය උදාකිරීම ඇයගේ අරමුණව තිබුණා. නමුත් අවාසනාවකට වගේ ඇගේ මරණයෙන් පසුව වසර විස්සක් ගත වන්නට පෙර පළමු ලෝක යුද්ධය ඇති වුණා. එහිදී ඇගේ දරු මුණුබුරන් ප්‍රතිවිරුද්ධ පාර්ශව වල සටන් වැදුණා. නමුත් ඔවුන් සියලු දෙනාම එකඟ වූ එක කාරණයක් තිබෙනවා. එනම් තම මිත්තණිය ජීවතුන් අතර සිටියේ නම් එවැනි යුද්ධයක් කිසිදිනක සිදු නොවන බවයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.