ගම්පහ පැත්තේ ගිහින් එන්න හිතුණොත්, මේ තැන් වලටත් ගිහින් බලන්න පුළුවන්!

දැන් මේ දවස් වල ලංකාවේ කට්ටිය ගම්පහ ගැන කතා කරන්නේ දෙකේ කොළේට දාලනේ. අනික ඔය ඓතිහාසික තැන් බලන්න කට්ටිය ට්‍රිප් දාගන්නේ අනුරාධපුරේට නැත්තං පොළොන්නරුවට. එතකොට සුන්දර තැන් බලන්න යන්නේ එක්කෝ ඩවුන් සවුත්තුවට නැත්තං හිල් කන්ට්‍රි එකට. ඇයි මහත්තයෝ ගම්පහ වගේ පැත්තක බලන්න දේවල් නැද්ද? ඓතිහාසික වටිනාකමක් තියෙන තැන් නැද්ද? තියෙනවා. අපි මේ යන්නේ ආන්න ඒ වගේ තැන් කීපයක් ගැන කියන්න තමයි. එතකොට ඔය ගම්පහට ගරහන උන්දැලටත් අඩු ගාණේ හිතෙයිනේ ගම්පහ පැත්තේ ට්‍රිප් එකක් ගිහින් එන්න තිබ්බනං හොඳයි කියලා 🙂 එහෙමනං, වැඳගෙන අහගෙන ඉන්නලා!

 

1. හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය

ගම්පහ ඉඳන් කටුනායකට යන්න පුළුවන් මිනුවන්ගොඩ පාරේ කිලෝමීටරයක් විතර යනකොට තමයි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තියෙන්නේ. හැබැයි මේක ගොඩක් අය දන්නේ ගම්පහ මල්වත්ත කියලා තමයි. මේක ඇත්තටම වැදගත් කියන එක තේරුම් ගන්න පුළුවන්, ලංකාවේ තියෙන උද්භිද උද්‍යාන හය අතරින් එකක් තමයි හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය කියන්නේ කියලා කිව්වහම. කොහොම වුනත් ඓතිහාසික වශයෙන් මේ උද්‍යානයේ තියෙන වැදගත් කමක් වෙන්නේ, මේක ඉංග්‍රීසි පාලකයෝ මුලින්ම රබර් වගාවට පර්යේෂණ භූමියක් විදියට නිර්මාණය කරපු එක. බ්‍රිතාන්‍යයේ කිවු රාජකීය උද්භිද උද්‍යානයේ ඉඳන් අරගෙන ආපු රබර් බීජ පැළ මේ භූමියේ පැළ කරලා තියෙනවා. ලංකාවේ පළමු රබර් ගහ තිබුණු ගෞරවය හිමිවෙන්නෙත් හෙනරත්ගොඩ උද්‍යානයට තමයි. දැන් සුළිසුළඟකින් ඉදිරිලා වැටුණු ඒ රබර් ගහේ ශේෂයන් මෙතන තියෙනවා. ඒ නැතත්, උද්භිද උද්‍යානයක් විදියට ගත්තහමත්, හෙනරත්ගොඩ උද්‍යානය බොහොම සුන්දර පරිසරයක්. බලන්න එන්න වටින තැනක්.

 

 

2. අස්ගිරිය රජ මහා විහාරය

ගම්පහ උඩුගම්පොළ පාරේ ගිහින් බුලත්කඩේ හංදියෙන් දකුණට හැරිලා යනකොට ඔන්න මුණගැහෙනවා අස්ගිරිය රජමහා විහාරය. ඇත්තටම මේක ඉපැරණි ලෙන් විහාරයක්. බොහොම සුන්දර කඳුගැටයක් මත තමයි ඉදි කරලා තියෙන්නේ. මේ වෙනකොට පුරාවිද්‍යාත්මක සං‍රක්ෂිත භූමියක් විදියට නම් කරලා තියෙන මේ ස්ථානයේ අතීතයේදී වලගම්බා රජු හැංගිලා හිටියා කියලා තමයි ජනප්‍රවාද වලත්, පුරාවිද්‍යා සාක්ෂි වලත් සඳහන් වෙන්නේ. අස්ගිරිය රජමහා විහාර භූමියේ චෛත්‍යය, බෝධිය සහ බුදුමැදුර කරා යන්න තියෙන්නේ, ඝන ගස් කොළං මැද්දෙන් ඉහළට ඉහළට දිවෙන පඩිපෙලක් නැගලා. මේක විතරක් ගත්තත් බොහොම සුන්දර සංචාරයක්. පිළිම ගෙයි ඓතිහාසික චිත්‍ර එහෙමත් තියෙනවා. එතකොට සමහරු කියනවා අස්ගිරිය ලෙන් විහාර භූමියේ ඉඳලා පිළිකුත්තුවට නැතිනම් වාරණට යන්න පුළුවන් අබිරහස් උමගක් ගැන ජනප්‍රවාද වල එනවා කියලත්.

 

 

3. යටවත්ත පුරාණ විහාරය

යටවත්තේ පංසල කියලා කිව්වට හරි නම් කියන්න ඕන යටවත්ත පුරාණ ටැම් පිට විහාරය කියලා. දැන් නම් විද්‍යාරවින්ද පිරිවෙන තියෙන්නෙත් එතන තමයි. මේකත් පුරාවිද්‍යා වටිනාකමක් තියෙන පුදබිමක්. ගම්පහ-පහළගම පාරේ කිලෝමීටරයක් විතර යනකොට තමයි මේ පූජා භූමිය පිහිටලා තියෙන්නේ. මේ භූමියේ තාමත් තියෙනවා කුළුණු උඩ ඉදිකරපු විහාර ගෙය. ඒක සං‍රක්ෂණය කරලා තියෙන්නේ. ගම්පහ පැත්තේ සංචාරයක යනවා නම්, යටවත්ත පුරාණ ටැම්පිට විහාරය කියන්නේ ගිහින් බලලා එන්න වටින තැනක්.

 

4. වාරණ රජමහා විහාරය

වාරණ රජමහා විහාරය කියන්නෙත් ලංකාවේ ඓතිහාසික පුදබිම් සම්බන්ධයෙන් ගත්තහම ඉහළ වැදගත්කමක් තියෙන තැනක්. ඇත්තටම අස්ගිරි, පිළිකුත්තු, වාරණ කියන පුදබිම් ඓතිහාසිකව ගත්තහම එකිනෙකට සම්බන්ධ වෙන තැන් තියෙනවා ජනප්‍රවාද වල හැටියට. නුවර පාරේන් තිහාරියේදී හැරිලා කිලෝමීටර් තුනක් විතර යනකොට බොහොම නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන මහා විසාල කළු ගලක් සහ ඒ එක්කම තියෙන වාරණ පුදබිම දැකගන්න පුළුවන්. මේ පුදබිමේ කටාරම් කොටපු ගල්ලෙන් ගණනාවක් සහ සෙල්ලිපි තියෙනවා. එතකොට මේ රජමහා විහාර භූමියත් එක්කම ස්වභාවික ඔසු වනයක් එහෙමත් තියෙනවා. බොහොම නිස්කලංක පරිසරයක තියෙන වාරණ රජමහා විහාරයේ ගල උඩට නැගලා ඕන නම් අවට සිරි නරඹන්නත් ඉස්සර පුළුවන්. දැනුත් පුළුවන්ද කියන්න ගිහිල්ලම බලන්න ඕනෑ.

 

 

5. පිළිකුත්තුව රජ මහා විහාරය

පිළිකුත්තුව කියන්නේ ඇත්තටම ඓතිහාසික පුදබිමක් කියනවට වඩා, ප්‍රාග් ඓතිහාසිකව වැදගත් වෙන තැනක් කියන එක නිවැරදියි. ඒකට හේතුව වෙන්නේ, පිළිකුත්තුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ලෙන් විහාර සම්ප්‍රදාය ඇතු​ළේ ඉතාම වැදගත්කමක් උසුලන තැනක් වීම තමයි. ඉපැරණි මානව ජනාවාසයක්ව පැවතවිත් අනුරපුර යුගයේ මුල් කාලයේම බෞද්ධ සිද්ධස්ථානයක් වු පිළිකුත්තුව ඓතිහාසික ගල්ලෙන් රජමහා විහාරය කියන්නේ බස්නාහිර පළාතේ පිහිටි ඓතිහාසික වශයෙන් වටිනාම හා විශාලම ලෙන් සංකීර්ණය කිව්වොත් හරි. පිළිකුත්තුව රජමහා විහාරයට අයත් ලෙන් ග​ණන 99 ක් වෙන අතර සමස්තයක් විදියට ගත්තහම මේක ප්‍රාග් බෞද්ධ යුගයට අයත් කටාරම් රහිත ලෙන් කිහිපයකින් හා ක්‍රි.පු 3-1 කාලයට අයත් ලෙන් රාශියකින් යුතු අක්කර 200 ක පමණ භුමියක පිහිටි ලෙන් සංකීර්ණයක්.

කොළඹ නුවර මහා මාර්ගයෙහි මිරිස්වත්ත හන්දියෙන්, වතුරුගම පාරේ කිලෝ මීටර 4ක් විතර යනකොට තියෙන පිළිකුත්තුව හන්දියෙන් වමට හැරිලා කිලෝ මීටරයක් විතර යනකොට පිළිකුත්තුව රජ මහා විහාරය පේනවා.. ගම්පහ – කිරිඳිවැල බස් පාරේ යක්කල හන්දියේ ඉඳලා කිලෝ මීටර් තුනක් විතර ගියහමත් මෙතනට ලඟා වෙන්න හැකියි.

 

 

6. බණ්ඩාරනායක සමාධිය

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ගැන නොදන්න ශ්‍රී ලාංකිකයෙක් ඉන්න විදියක් නෑ. ලංකාවේ හතරවෙනි අග්‍රාමාත්‍ය වරයා වුණු, දෙශදේශාන්තරයන්හි ප්‍රසිද්ධ වුණු බණ්ඩාරනායක මහත්තයා 59 දී ඝාතනයට ලක් වෙනවා. එතුමාගේ සොහොන තමයි ඇත්තටම හොරගොල්ල සමාධිය විදියට ප්‍රසිද්ධ වෙන්නේ. හොරගොල්ල සමාධිය ඉදිකිරීම ගැනත් කතන්දර තියෙනවා. ඇත්තටම ඒ සොහොන උඩ මහා කළුගලක් තමයි තියෙන්නේ. අදටත් නුවර පාරේ නිට්ටඹුව හරහා ට්‍රිප් යන අය බස් පිටින්, වෑන් පිටින් ඇවිත්, සමාධිය ඉස්සරහපිට හිස් ඉඩමේ නවත්තලා, කෑම කාලා කරලා, සමාධිය ඇතුළට ගිහින් සමාධිය නරඹලා, සමාධියට ආචාර කරලා යනවා. ඇත්තටම හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය බලන්න වටින තැනක්.

 

 

7. දික්කන්ද වලව්ව

දික්කන්ද වලව්ව කිව්වහම දැන්නං ගොඩක් දෙනෙක් දන්නවා. සමහරු හිතාගෙන ඉන්නේ දික්කන්ද වලව්ව කියන්නේ ලංකාවේ තියෙන ක්ලැසික්ම ටයිප් එකේ හොල්මන් වලව්වක් කියලා. දන්න අය කියන්නේ ඕකෙ ඇති හොල්මනක් නැහැයි කියලා තමයි. යක්කල-කිරිඳිවැල පාරේයනකොට දික්කන්ද සහ වතුරුගම අතර තියෙන අක්කර තුන්සිය ගාණකටත් වැඩි විශාල වතුයායක් මැද කන්දක් උඩ තමයි මේ වලව්ව පිහිටලා තියෙන්නේ. කීමට කියන්නේ මේ වලව්වේ කාමර සීයකටත් වැඩියෙන් තියෙනවා කියලා. ඇත්ත බොරු දන්නෙ නෑ. හැබැයි ඈතින් පේන විදියට වුනත් දික්කන්ද වලව්ව ඉතාම ප්‍රතාපවත්ව, කන්ද උඩ විරාජමාන වෙලා තියෙන්නේ. හැබැයි මේ වලව්ව බලන්න ඇතුළට යන්න අවසර ගන්න නම් බෑ. ඒත් ඈතින් කන්ද උඩ වැජඹෙන මේ වලව්ව දැක බලාගන්න පුළුවන් ලස්සන තැන් නම් මේ අවට තියෙනවා. දන්න කියන ඒ පැත්තේ අයගෙන් ඇහුවොත් පෙන්නලා දෙයි.

 

 

ආ තව එකක් කියන්න අමතක වුනා. මේ දවස් වල නං ගම්පහ පැත්තේ යන්ඩ එපා. කෙලින්ම නිරෝධායනේ තමයි. හැබැයි ඉතින් මේ කොරෝනා බොරෝනා හැමදාම තියෙන්නෙ නෑනේ. ඉතින් පොඩ්ඩක් තත්වේ සමනය වුනාට පස්සේ සුන්දර ගම්පහ පැත්තේ රවුමක් දාලා ආවට වරදක් නෑ.

තව එකක්, අපේ ලිස්ට් එකේ නැති තවත් සුන්දර තැන්, ඓතිහාසික තැන් ඕන තරම් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ බලන්න කරන්න. ඔයාලා දන්න ආන්න ඒ තැන් ගැනත් කමෙන්ට් එකක් දාගෙනම ගියාට වරදක් නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *