වයසට යන කාන්තාවන් දැනගෙනම ඉන්න ඕන Menopause හෙවත් ආර්ථවහරණය

නිසි වයසට එළඹුනාම ගැහැණු දරුවෙක් වැඩිවියට පත්වෙනවා කියල අපි පොදු ව්‍යවහාරයේ කියන්නෙ ඒ ගැහැණු දරුවාගේ පළමු ඔසප්වීම ආරම්භ වෙනවා කියන එකට. එහෙම වැඩිවිය පත්වුණා කියලා එක එක චාරිත්‍ර විධි එක්ක සමරන මේ සංසිද්ධිය එතනින් ඉවරයක් වෙන්නෙ නැහැ. බොහෝවිට ඊළඟ මාසයේ ඉඳලා මැදි වයසක් වෙනකන්ම හැම මාසෙකම ගැහැණු දරුවෙක් මේ මාසික ඔසප්වීම කියන අත්දැකීමට මුහුණ දෙනවා. ඔසප්වීම කියන්නෙ කතා කරන්න ගොඩක් විස්තර තියෙන මාතෘකාවක්. හැබැයි මේ කියන්න යන්නෙ ඔසප්වීම ගැන නෙමෙයි. වැඩිවිය පැමිණීම කියන කාරණාවත් එක්ක ආරම්භ වෙන මේ ඔසප්වීම නවතින එක ගැන. ඒකට කියන්නෙ ආර්ථවහරණය කියලයි. හැබැයි හුඟක් දෙනෙක් මේ සිදුවීම වෙනකන්ම වැඩිය විස්තරයක් නොදන්න දෙයක්. අන්න ඒ නිසාම මැදිවයසට ආසන්න කාන්තාවන්ට වගේම නව යොවුන් වියේ ගැහැණු දරුවන්ටත් දැනගෙන ඉන්න වටිනා කාරණාවක් මේ. 

 

1. ආර්ථවහරණය කියන්නේ මොකක්ද?

Menopause හෙවත් ආර්ථවහරණය කියල කියන්නෙ අපි කලිනුත් සඳහන් කරපු විදිහට මේ මාසික ඔසප් වීම නවතින එකටයි. සරලවම කිව්වොත් කාන්තාවක් එකදිගට මාස 12ක කාලයක් ඔසප් වීමකින් තොරව ගතකරනවා කියන්නෙ මේ කාන්තාවට තවදුරටත් ස්වභාවික ගැබ්ගැනීමකට ලක්වෙන්න බැහැ කියන එකයි. ඇය මේ ආර්ථවහරණය කියන සිදුවීමට මුහුණ දීලයි ඉන්නෙ. සාමන්‍යයෙන් අවුරුදු 45ත් 55ත් අතර කාලසීමාව ඇතුළතදී තමයි කාන්තාවක් මේ අත්දැකීමට මුහුණ දෙන්නෙ. සමහර දෙනෙකුට මේ වයසට කලින් හෝ පසුව මේ සිදුවීම වෙන්නත් පුළුවන්. 

මේ ආර්ථවහරණය කියන්නෙ එක පාරටම ඔසප්වීම එහෙම නැත්තම් අපි එදිනෙදා භාවිතා කරන විදිහට කිව්වොත් මෙන්සස් නවතින එකට විතරක් නෙමෙයි. මෙන්සස් නවතින්න අවුරුදු 4කට කලින් සහ අවුරුදු 4කට පස්සේ කියන කාලසීමාව ඇතුලත මේ තත්ත්වයට අදාළ ලක්ෂණ පෙන්වන්න පුළුවන්. මේ කාලසීමාවන්ට අනුව ආර්ථවහරණය කොටස් තුනකට බෙදලා විස්තර කෙරෙනවා.

  • Perimenopause ආර්ථවහරණය වෙන්න කලින් අක්‍රමවත් ඔසප්වීම සිදුවන කාලය.
  • Menopause – ආර්ථවහරණය
  • Postmenopause – ආර්ථවහරණයට පසු කාලසීමාව

 

2. ආර්ථවහරණය ඇතිවෙන්නේ ඇයි?

සාමන්‍යයෙන් ඕනම කාන්තාවක් ඉපදෙනකොටම ඒ කාන්තාවගේ ගර්භාෂයේ ඇය මුළු ජීවිත කාලයටම නිෂ්පාදනය කරන ඩිම්බ ගබඩා වෙලා තියෙනවා. ඩිම්බකෝෂ වල නිපදවෙන හෝර්මෝන මඟින් කරන්නෙ මේ ඩිම්බ මසකට වරක් මේරීමකට ලක්කරලා පිටකරන එකයි. එතකොට මේ ආර්ථවහරණය කියල කියන්නෙ තවදුරටත් පිටකරන්න ඩිම්බ නොමැතිවීම නිසා මේ මාසික චක්‍රය නතරවෙන එකටයි. අපි ඒක පිටතින් දැනගන්නෙ ඔසප් වීම නතර උනහමයි.

 

3. ලක්ෂණ

  • අක්‍රමවත් ඔසප්වීම
  • ඉතා වැඩි හෝ පෙරට වඩා අඩු රුධිර පිටවීම
  • ක්ෂණික දහඩිය හෝ සිරුරේ උඩ කොටසට දැනෙන තද රස්නේ ගතියක් – Hot flashes
  • නිදාගැනීමේ අපහසුතා – insomnia
  • යෝනි මාර්ගය වියළීම 
  • ශරීර ස්කන්ධය වැඩිවීම
  • විශාද තත්ත්වයන්
  • මතක ශක්තිය අඩුවීම
  • තද, වේදනා සහිත පියයුරු
  • හිසරදය
  • හන්දි වේදනා
  • හිසකෙස් වැටීයාම

 

4. සංකූලතා 

ආර්ථවහරණය නිසා විවිධ සංකුලතා ඇතිවෙන්න පුළුවන්. මේ ඒ සංකුලතාවයන්ගෙන් සමහරක්.

  • vulvovaginal atrophy – යෝනි මාර්ගය ආශ්‍රිත පටක වලට ලැබෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය අවම වීම නිසා ඇතිවන කැසීම, වියළි ගතිය සහ වේදනාව.
  • ලිංගික එක්වීමේදී ඇතිවන වේදනාව
  • අස්ථි වල ශක්තිය අඩුවීම
  • ඇසේ සුද ඇතිවීම

 

5. රෝග නිශ්චය

ඇත්තටම කිව්වොත් මේක නිශ්චය කරන්න තරම් රෝගයක්නම් නෙමෙයි. බොහොම ස්වභාවික සංසිද්ධියක්. හැබැයි අද කාලෙ තියෙන පිළිකා සහ වෙනත් රෝග එක්ක බැලුවම කලින් කියපු ලක්ෂණ මේ ආර්ථවහරණයදෝ කියල හරියට නොදැන නොසලකා හරින එක ටිකක් අවදානම්. ඒ වගේම සමහර ලක්ෂණ එදිනෙදා ජීවිතේ සාමාන්‍ය ගලායාමට බාධා ඇතිකරන්නත් පුළුවන්. ඒ නිසා ඔබ වයස අවුරුදු 40 පැනපු කාන්තාවක්නම්, ඔය කියපු ලක්ෂණ පෙන්නුම් කරනවානම් සුදුසුකම්ලත් නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක් හමුවෙලා මේ ගැන කතා කරන්න ඕන. එතැනදී වෛද්‍යවරයාට පුළුවන් ශරීරයේ හෝර්මෝන මට්ටම මනින විවිධ පරීක්ෂණ කරලා මේක ආර්ථවහරණ තත්ත්වයද කියලා හරියටම තීරණය කරන්න.

 

6. ප්‍රතිකාර

ස්වභාවික සංසිද්ධියක් කියල කිව්වට අර කලින් කියපු රෝග ලක්ෂණ සාමාන්‍ය ජීවිතය ගත කරන්න අපහසු මට්ටමට වැඩි ගතියක් තියෙනවනම්, ඒ කිව්වේ උදාහරණයක් විදිහට අධික රුධිර පිටවීම වගේ දේවල්… එහෙනම් මේ තත්ත්වය පාලනය කරන්න ප්‍රතිකාර ගන්න ඕන. හැබැයි මේ ප්‍රතිකාර නියම කරන්න ඕනෙත් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් විතරයි. ඒ නිසා තමයි රෝග විනිශ්චයට වෛද්‍යවරයෙක් ලඟට යන එක වැදගත් වෙන්නෙ.

 

7. ජීවන රටාවේ වෙනස්කම්

හැබැයි මේ ගැන හරියට දැනුවත් කෙනෙක්නම් ඒ කියපු ලක්ෂණ එදිනෙදා ජීවිතේට ඇතිකරන බලපෑම බාහිර ප්‍රතිකාර වලින් තොරව පාලනය කරගන්නත් පුළුවන්.

  • දහඩිය සහ රස්නේ ගතිය පාලනයට සැහැල්ලු ඇඳුම් අඳින්න, නිදන කාමරය සිසිල්ව තබාගන්න වගේ දේවල් කරන්න පුළුවන්.
  • නිරන්තර ව්‍යායාම කිරීම මඟින් අනවශ්‍ය බර පාලනය කිරීම කොයි කාලෙටත් වැදගත්. මේ කාලෙට හුඟක්ම වැදගත්.
  • මානසික ආතති තත්ත්වයන් ගැන හිතවත් කෙනෙක් එක්ක කතා කරන්න. පවුලේ අයගේ සහයෝගය නිරන්තරයෙන් ලබාගන්න.
  • ආතතිය මඟහැරෙන ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.
  • අවශ්‍ය පෝෂණ අතිරේක වෛද්‍ය අනුමැතිය ඇතිව බාහිරින් ලබාගන්න. ඒ කිව්වේ කැල්සියම්, විටමින් වර්ග වගේ.
  • යෝගා, භාවනා සැහැල්ලු කකරන ව්‍යායාම වල නිරත වෙන්න.
  • හම වියළීම වළක්වාගන්න නිතර තෙතමනය සහිත ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.
  • මධ්‍යසාර සහ දුම්වැටි භාවිතා කරනවානම් ඒවාගෙන් ඉවත් වෙන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *