ශවර්මා කියන්නෙ අරාබිකරයේ ප්‍රසිද්ධ කෑමක්. ඉතින් කඩේ වගේ රසට ශවර්මා කන්න වැඩි වෙහෙසක් ගන්න ඕනෙ නෑ. හරිම ලේසියෙන් රස කිහිපයකින්ම ශවර්මා රස බලන්න අද ගෙනාවේ ශවර්මා ෆිලින්ග් ටිකක්. ටෝටියා රොටිය හදාගන්න හැටිත් ඔන්න අපි කියලා දෙනවා.
ටෝටියා එක හදාගන්න හැටි
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි කෝප්ප 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1
- රස්නෙ වතුර කෝප්ප 1
- තෙල් මේස හැඳි 2
- පාන්පිටි වලට බේකින් පව්ඩර්, තෙල් හා ලුණු දාලා කළවම් කරගන්න. මේකට රස්නෙ වතුර ටික ටික දාලා අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- විනාඩි 3ක් විතර නීඩ් කරලා ක්ලින් රැප් එකකින් හෝ කිචන් ටවල් එකකින් වහලා විනාඩි 20ක් තියන්න.
- දැන් මේ ඩෝ එකම අරන් කෑලි වලට කපලා පොඩි බෝල හදලා තවත් විනාඩි 10ක් වහලා තියන්න.
- දැන් මේක පිටි ඉසගත් ලෑල්ලක දාලා තුනී කරලා රොටී හදාගන්න. අඩු ගින්දරේ පුළුස්සගන්න. කර වෙනකල් පුච්චන්න එපා රොටිය නවනකොට කැඩෙන්න බලයි. ලා දුඹුරු පාටට වගේ එනකොට බාගන්න.
1. චිකන් ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු ඉවත්කළ චිකන් ග්‍රෑම් 200
- මිරිස්කුඩු තේ හැඳි 2
- චොප්කරගත් ළූණු තේ හැඳි 1
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
- ලුණු
- ගම්මිරිස්කුඩු
- දෙහි යුෂ ස්වල්පයක්
- සොසේජස් 2
- තෙල් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් ගෝවා කෝප්ප ½
සෝස් එකට
- මයෝනේස් මේස හැඳි 2
- ටොමැටෝ කේචප් මේස හැඳි 2
- ලෙමන් යුෂ මේස හැඳි 2
- සීනි තේ හැඳි 1
- ලුණු
- මිරිස්කුඩු තේ හැඳි 1
- චිකන් වලට මිරිස්කුඩු, ළූණු, සුදුළූණු, ලුණු හා දෙහි යුෂ දාලා කළවම් කරලා පැයක් මැරිනේට් කරගන්න.
- සෝස් එකට අවශ්‍ය ඔක්කොම කළවම් කරලා සෝස් එක හදාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා අඩු ගින්දරේ චිකන් ටික දෙපැත්ත බැදගන්න. සොසේජ් ටික වෙනම බැදගන්න. චිකන් ටික ගෑරැප්පුවෙන් ඉරාගන්න.
- ටෝටියා රොටිය අරන් චිකන් ටික අතුරගන්න. ඊට උඩින් ගෝවා ටික දාගන්න. දැන් සොසෙජස් ටික ටෝටියා එක අයිනෙන් තියලා සෝස් එක චිකන් සහ සොසේජ් උඩින් වක්කරගන්න. සොසේජස් තියාගත්ත කෙළවරින් පටන් අරන් රෝල් කරලා ටූත්පීක් එකක් ගහගන්න.
2. ටූනා ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි සැමන් ටින් 1
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් තක්කාලි ගෙඩි 2
- තක්කාලි සෝස්
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- සූදුරු කුඩු ස්වල්පයක්
- මිරිස්කුඩු තේ හැඳි 1
- එනසාල් හා කරාබුනැටි ඇට 2 බැගින්
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- මයෝනේස් ස්වල්පයක්
- චීස් ස්ලයිසස්
- සලාද කොළ
- තෙල් ස්වල්පයක්
- පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට සූදුරු කුඩු දාගන්න. ඊළඟට ළූණු, සුදුළූණු, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
- ඒකට තක්කාලි දාලා මිරිස්කුඩු, ගම්මිරිස්කුඩු හා රස අනුව ලුණු දාගන්න. දැන් අතින් පොඩි කරගත් ටූනා ටික දාලා ෆ්‍රයි කරන්න. අන්තිමට තක්කාලි සෝස් ටිකක් එකතු කරලා ලිප නිවාගන්න.
- ටෝටියා රොටිය අරන් ඒකට මයෝනේස් සෝස් ගාලා, චීස් පෙත්තක් තියලා, සලාද කොළය තියලා, මේ හදාගත් ටූනා ෆිලින් එකෙන් ටිකක් තියලා රෝල් කරලා ටූත් පීක් එකක් ගහගන්න.
3. බීෆ් ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
සෝස් එක සඳහා
- ටොමැටෝ කෙචප් මේස හැඳි 1
- මයෝනේස් මේස හැඳි 1
- සීනි තේ හැඳි 1
- දෙහි බෑයක යුෂ
- ගම්මිරිස්කුඩු
ෆිලින්ග් එකට
- බීෆ් ග්‍රෑම් 500
- චොප්කරගත් සුදුළූණු මේස හැඳි 2
- චොප්කරගත් ළූණු මේස හැඳි 1
- සීසනින් පව්ඩර් මේස හැඳි 1
- මිරිස්කුඩු මේස හැඳි 1
- කරි කුඩු මේස හැඳි 1
- ලුණු හා ගම්මිරිස්කුඩු
- ඔලිව්තෙල් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් ගෝවා කෝප්ප 1
- සොසේජස් 2
- බීෆ් පොඩි කෑලි වලට කපාගන්න. මේකට සීසනින්, සුදුළූණු, ළූණු, මිරිස්කුඩු,කරි කුඩු, ලුණු, ගම්මිරිස්කුඩු හා ඔලිව්තෙල් දාලා පැයක් මැරිනේට් කරගන්න.
- පැයකට පස්සෙ බීෆ් ටික පෑන් ෆ්‍රයි කරගන්න. විටින් විට හොඳට කළවම් කරලා බීෆ් තැම්බෙන්න තරම් ෆ්‍රයි වෙලා නම් ලිපෙන් බාගන්න.
- සොසේජස් වෙනම බැදගන්න. සෝස් එකට අවශ්‍ය ඔක්කොම එකට කළවම් කරගන්න.
- ටෝටියා රොටිය අරන් අර මුලින් හදාගත් සෝස් එක ගාලා බීෆ් අතුරගන්න. ඊළඟට ග්‍රේට්කරගත් ගෝවා ටික දාලා සොසේජස් තියලා ආයෙ උඩින් හදාගත්තු සෝස් එක දාලා රෝල් කරලා ටූත්පීක් එකක් ගහගන්න. දැන් මේක පෑන් එකේ පොඩ්ඩක් හීට් කරගන්න.
4. එග් ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- ලියාගත් ළූණු ගෙඩි 1
- ග්‍රේට්කරගත් ගෝවා කෝප්ප 1/2
- ලුණු
- කෑලිමිරිස් තේ හැඳි 1
- බිත්තර 2
- මිරිස්කුඩු තේ හැඳි 1/2
- මයෝනේස් ස්වල්පයක්
- පෑන් එකට තෙල් ටිකක් දාලා ළූණු ටික තෙම්පරාදු කරගන්න. ඊළඟට ගෝවා ටික දාගන්න. ගොඩක්ම තැම්බෙන්න ඕනේ නෑ. කෑලිමිරිස් දාලා රස අනුව ලුණු එකතු කරන්න. හොඳට කළවම් කරලා ලිපෙන් බාගන්න.
- වෙනම බෝල් එකකට බිත්තර ටික කඩලා දාලා මිරිස්කුඩු, ලුණු දාලා හොඳට විස්ක් කරගන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා බිත්තර මිශ්‍රණය දාලා පෑන් එක වටේට කරකවලා ඊට උඩින් ටෝටියා රොටිය තියාගන්න. බිත්තර මිශ්‍රණය රොටියට ඇලුනාම අනික් පැත්ත හරවලා පොඩ්ඩක් හීට් කරගන්න. දෙපැත්තම හොඳට පුළුස්සගන්න.
- දැන් මේ රොටියෙ බිත්තර මිශ්‍රණය තියන පැත්තෙ මයෝනේස් ගාලා, ළූණු ෆිලින් එක තියලා රෝල් කරලා ටූත්පීක් එකක් ගහගන්න.
5. පනීර් ශවර්මා ෆිලින්
අවශ්‍ය ද්‍රව්‍ය
- කපාගත් පනීර් ග්‍රෑම් 200
- කහකුඩු තේ හැඳි 1
- මිරිස්කුඩු තේ හැඳි 2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1
- ගරම් මසාලා තේ හැඳි 1
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- ලුණු
- ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- ඔලිව්තෙල් මේස හැඳි 2
- මීකිරි මේස හැඳි 2
- මයෝනේස් ස්වල්පයක්
- චිලී සෝස් ස්වල්පයක්
- ග්‍රේට්කරගත් ගෝවා කෝප්ප 1/2
- ලියාගත් ළූණු ගෙඩි 2
- කහකුඩු, මිරිස්කුඩු, ලුණු, කොත්තමල්ලි කුඩු, ගරම් මසාලා, කොත්තමල්ලි කොළ, ඉඟුරු, සුදුළූණු පේස්ට්, මීකිරි හා ඔලිව්තෙල් දාලා සෝස් එක හදාගන්න.
- දැන් පනීර් ටික මේ මිශ්‍රණයේ අතුරලා පැය 1/2ක් මැරිනේට් කරගන්න. මැරිනේට් කරගත් පනීර් ටික ග්‍රිල් කරගන්න. බේක් කරගන්නත් පුළුවන්.
- පනීර් ටික චොප් කරගන්න. ටෝටියා රොටිය හීට් කරලා අරන් මයෝනේස් ගාගන්න. ඊළඟට චිලී සෝස් ගාගන්න. දැන් ගෝවා ටික අතුරගන්න. ග්‍රිල් කරගත් පනීර් ටික දාලා ළූණු අතුරගන්න. ටෝටියා එක රෝල් කරලා ටූත්පීක් එකක් ගහගන්න.
Leave a Reply