සියවස් ගණනාවක් පුරාවට යුරෝපයේ සංස්කෘතික කේන්ද්‍රස්ථානය වෙලා තිබ්බේ ප්‍රංශය. මේ නිසාම බොහෝ යුරෝපීය රටවල් ප්‍රංශ සංස්කෘතිය අනුකරණය කරන්න පෙළඹුණා. වර්තමාන ඉංග්‍රීසි භාෂාවට හිමිවන තැන අතීතයේදී හිමි වෙලා තිබ්බේ ප්‍රංශ භාෂාවට. ඒ වගේම සාහිත්‍යය, ගෘහ නිර්මාණ ශිල්පය, වගේ ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රංශ සභ්‍යත්වයේ බලපෑම තිබුණා. අපි අද ඔබට කියන්න යන්නේ ප්‍රංශ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන ප්‍රංශ රජ මාළිගා කීපයක් පිළිබඳව.
1.වර්සායි මාළිගාව
ආරම්භයේ දී රාජකීය දඩ කෙළිවල යෙදෙන රාජකීයයන්ට විවේක ගැනීමට සකස් කරන ලද නවාතැන්පොළක්ව පැවැති මෙම ගොඩනැගිල්ල මාළිගාවක් බවට පරිවර්තනය වූයේ දහහතර වැනි ලුවී රජුගේ කාලයේ. එතැන් පටන් ප්‍රංශ විප්ලවය කාලය දක්වා මෙම මාළිගය ප්‍රංශ රජුගේ නිල වාසභවනව පැවතුණා. එවකට ලෝකයේ පැවති සුඛෝපභෝගීමත්ම රජ මාළිගාව ලෙස සැලකුණු මෙම මාළිගය තුළ විවිධ කලා කෘති ප්‍රදර්ශනය කරනු ලැබුවා. වර්තමානයේ දී මෙම මාලිගාව අර්ධ කෞතුකාගාරයක් ලෙස සහ රාජ්‍ය ගොඩනැගිල්ලක් ලෙසත් භාවිතා වෙනවා.
2.ලූවර් මාළිගාව
මොනාලිසා, වීනස් ප්‍රතිමාව ආදී ලෝකප්‍රකට කලා නිර්මාණ රැසකට සෙවන සැලසූ කෞතුකාගාරයක් බවට පත්වී ඇති ලූවර් මාළිගය වර්සායි මාළිගය නිමවීමට පෙර ප්‍රංශයේ ප්‍රධාන රාජකීය වාසස්ථානය ලෙස පැවතුණා. මධ්‍යතන යුගයේදී සේන් නදිය අසබඩ බලකොටුවක් ලෙස භාවිතා වුණු මෙම පරිශ්‍රය පස්වන චාල්ස් රජු විසින් රජ මාළිගයක් ලෙස සංවර්ධනය කරනු ලැබුවා. ප්‍රංශ විප්ලවය සමයේ දී නොසැලකිල්ලට බඳුන් වෙමින් පැවතුණු මෙම මාළිගය යළිත් ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රංශ රජය කටයුතු සම්පාදනය කළා.
3.චැටූ ඩී චම්බෝර්ඩ්
මෙම මාළිගය නිර්මාණය කිරීම සඳහා වසර 28 ක කාලයක් ගත වූ අතර ප්‍රංශයේ රජ කළ පළවෙනි ෆ්‍රැන්සිස් රජු තම ප්‍රතිමල්ලවයා වූ පස්වැනි චාල්ස් අධිරාජයාට තමන්ගෙ ධනය සහ බලය පෙන්වීම සඳහා මෙම මාළිගය නිර්මාණය කළ බව කියවනවා. ප්‍රංශ විප්ලව සමයේ දී මෙම මාළිගය තුළ තිබූ බොහෝ කලා නිර්මාණ ආදිය විකුණා දැමුණු අතර මාළිගයද අත්හරිනු ලැබුවා. දෙවැනි ලෝක යුද්ධ සමයේදී ලූවර් මාළිගාවේ තැන්පත් කර තිබුණු කලා කෘතීන් සියල්ලම පාහේ ආරක්ෂාව සඳහා මෙම මාළිගය වෙත ගෙන එනු ලැබුවා.
4.පාප්වරුන්ගේ මාළිගය
දකුණු ප්‍රංශයේ ඇවිනොන් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම මාළිගය යුරෝපා මධ්‍යතන යුගය තුළ ඉදිකරන ලද සුවිශේෂී මාළිගාවක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වන්නේ පාප්තුමා රෝමය අත් හැරීමෙන් අනතුරුව වාසය කිරීමට තෝරා ගත්තේ මෙම මාළිගය වීමයි.මේ නිසා කතෝලික සභාවේ ප්‍රධානීන් දෙදෙනෙක් රෝමයේ සහ ඇවිනොන්වලින් මතු වුණා. සියවස් කිහිපයක් පුරා මෙම තත්ත්වය පැවැති අතර එම කාලයේ දී මෙම මාළිගය දැවැන්ත සංවර්ධනයක් අත්පත් කරගත්තා.
5.චැටූ ඩී විලෙන්ඩ්‍රේ
සියවස් කීපයක් ප්‍රංශයේ වංශාධිපති පවුලක උරුමයක්ව පැවති මෙම මාළිගය නැපෝලියන් බොනපාට් අධිරාජයා විසින් තම සහෝදරයෙකු සඳහා වාසස්ථානයක් ලෙස යොදා ගැනීමට තීරණය කළා. පසුව යළිත් වතාවක් පෞද්ගලික අයිතියට මෙම මාළිගයේ උරුමය මාරු වුණු අතර එම පිරිස් විසින් මාළිගයේ උද්‍යානය සංවර්ධනය කිරීමට විශේෂ වෙහෙසක් ගනු ලැබුවා. මාළිගය වටා ඇති උද්‍යාන හතර සඳහා විවිධ තේමාවන් හඳුන්වාදුන් අතර මල් පාත්ති සකස් කිරීම සඳහා සමචතුරස්‍ර හැඩය සහ කුරුස හැඩය භාවිතා කොට තිබුණා.
6.චැටූ ඩී සෙනෝසේව්
මුල් කාලයේදී රදළ පවුලකට අයිතිය හිමිව තිබූ මෙම මාළිගය ප්‍රංශ රජය විසින් පවරා ගනු ලැබූ මාලිගයක්. මේ සඳහා නියෝගය ලබා දෙනු ලැබුවේ පළවන ෆ්‍රැන්සිස් රජු විසින් වන අතර දෙවැනි හෙන්රි රජු විසින් තමන්ගේ අනියම් බිරිඳක් වූ ඩයනේ හට මෙම මාළිගය ත්‍යාගයක් ලෙස ලබා දෙනු ලැබුවා. නමුත් රජුගේ මරණයෙන් පසුව රජුගේ වැන්දඹු බිරිඳ වූ කැතරින් ඩී මෙඩිසි විසින් මෙම මාළිගය වෙනුවට තවත් මාළිගයක් ඩයනී හට ලබාදී එය තමාගේ පරිහරණය සඳහා යොදා ගත්තා.
7.චැටූ ඩී චෙවර්නි
ටින් ටින් නිර්මාණවල කැප්ටන් හැඩොක් ගේ නිවස ලෙස නිරූපණය වන මැදුර සඳහා ආදර්ශය සඳහා ලෙස භාවිතා කර තිබුණේ මෙම මාළිගාවයි. කලින් අප සඳහන් කළ මාලිගාව මෙන්ම මෙම මාළිගයත් රජයට ගෙවිය යුතු ණය මුදල් නොගෙවීම හේතුකොටගෙන පවරා ගෙන තිබූ අතර උරුමකරු වූයේ ඩයනේයි. නමුත් ඇය මෙම මාළිගයට එතරම් කැමැත්තක් දක්වා තිබුණේ නැහැ. මේ නිසා ඇය නැවතත් එම මාළිගය මුල් හිමිකරුවන්ට විකුණා දමා තිබෙනවා.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply