දැන් ඔය පාටියක් කියන්නේ අමුතු දෙයක් නෙවෙයිනේ. අපි ඕනම කෙනෙක් ගොඩක් දුරට ජීවිතේ එක පාරක් හරි පාටියකට ගිහින් ඇතිනේ. ඇත්තටම වෙඩිමක් කියන්නෙත් පාටියක් තමයි එක අතකට බලනකොට. හැබැයි අපි මේ කියන්න යන්නේ වෙඩින් වලට වඩා කෙළින්ම පාර්ටි කියලම දෙන පාර්ටි ගැන. පොඩ්ඩක් සිංහලෙන් කිව්වොත් ප්‍රිය සම්භාෂණ ගැන. මෙව්වා කොක්ටේල් පාටි වෙන්නත් පුළුවන්, ගාර්ඩන් පාටි වෙන්නත් පුළුවන්, බර්ත්ඩේ පාටි, තීම් පාටියක්, කොස්ටියුම් පාටියක් නැතිනම් වෙන ඕනම පාර්ටියක් වෙන්නත් පුළුවන්. දැන් ඔය පාටියට ගියා වගේ නෙවෙයි, පාටිය එන්ජෝයි කළේ නැතිනම් වැඩක් නෑ. හැබැයි ඉතින් ඕනෑවට වඩා පාර්ටිය එන්ජෝයි කරන්න ගිහිල්ලා කාඩ් එක කුඩු කරගත්තොත් ඒත් වැඩක් නෑ. ආන්න ඒ නිසා තමයි අපි හිතුවේ, පාර්ටියකට ගිහිල්ලා නොකළ යුතු දේවල් ගැන පොඩ්ඩක් කියන්න.
මේ පහළ කියලා තියෙන දේවල් එකක්වත් නොකර, හොඳ ජෙන්ට්ල්මන්, ලේඩි ටයිප් එකෙන් ඉඳලා, පාර්ටියත් එන්ජෝයි කරලා එන අයත් ඉන්නවා. හැබැයි මේ කියලා තියන දේවලින් එකක් හෝ වැරදීමකින් හරි කරන අයත් ඉන්නවා. ඒකට කමක් නෑ. අඩු තරමින් මෙතනින් එහාට මෙව්වා නොකරන්න හිතේ තියාගත්තනං ඇති.
එහෙනං යමු ලිස්ට් එකට!
1. වෙරි මට හොඳටම වෙරි කෙළින් යන්න බෑ!
මෙන්න මේක ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැතිම කාරණයක්. හරි. බොන එවුන් ඉන්නවා සෑහෙන්න, නොබොන එවුනුත් ඉන්නව සෑහෙන්න. ඔය බොන එකේ හෝ නොබොන එකේ අමුතු හොඳක් නරකක් නෑ. හැබැයි බොන මනුස්සයෙක් ඉගෙන ගන්න ඕන මඳ පමණට අනුමත වෙන්න. ඒ කියන්නේ කරටි කැඩෙන්න, තමන්ගේ කොන්ට්‍රෝල් එක නැති වෙන්න බොන මිනිහෙක් සාමාන්‍යයෙන් ඔය පාටියකට එහෙම යන්නෙ නැති තරමට හොඳයි. ඇයි? එහෙම බිවුවට පස්සේ තමයි ගොඩක් වෙලාවට මේ ලිස්ට් එකේ තියෙන තව සෑහෙන්න වැරදි සිද්ධ වෙන්නෙ. ආන්න ඒ නිසා තමන්ට කොන්ට්‍රෝල් එක නැති නොවී බොන්න පුළුවන් ප්‍රමාණය දැනගන්න ඕන. එතකොට කොන්ට්‍රෝල් එකේ ඉඳන් බොන්න පුළුවන් වෙන්න ඕන, පාර්ටියේ ඇල්කොහොල් තියෙන නිසා හරි අනික් එවුන් බොන නිසා හරි නොබී. මේක තමයි වැරදි අංක එක.
2. කබරයා..! කබරයා…!!
එහෙම කණ් පාත් වෙන්න බිව්වට පස්සේ ගොඩක් උන්දැලගේ ඊලඟ ස්ටෙප් එක තමයි කබරයා. මේ කබරයා පර දෙන අයගෙන් ගොඩක් එවුන්දැලා අයිනක් අල්ලලා, කාටවත් නොපෙනෙන්න ෂේප් එකේ තමයි දාන්නේ. ඒ නැතත් ඉතින් සමහර වෙලාවට යාලුවෝ සෙට් එක කබරයා ඔන්න මෙන්න යාලුවෙක්ව කොහේ හරි අයිනකට ඇදගෙන ගිහිල්ලානේ කබරයා දම්මන්නේ. හැබැයි තවත් සමහරු ඉන්නවා, එක්කෝ ඩාන්සින් ෆ්ලෝ එකේ මැද හරි, ඉඳගෙන ඉන්න මේසෙක හරි, වෙන ඒ වගේ පාර්ටියේ පබ්ලික් පොට් එකක හරි තමයි කබරයා දීලා අදින්නේ. ඉතින් කොහේ කබරයා දැම්මත් ඒක පාර්ටි එක ඕගනයිස් කරපු එවුන්ට පාපයක් තමයි. ආන්න ඒ නිසා ආයෙ යන්න උඩ පොයින්ට් එකට. කරටි කැඩෙන්න නොගසන්න. එහෙම ගහලා කබරයා නොදමන්න.
3. කවුදඩ්ඩෝ සිංදු නැවැත්තුවේ!
මේක නං වෙරි පිට එවුනුත් කරනවා, වෙරි නැති එවුනුත් කරනවා. ඒ තමයි තමන්ගේ උපරිම සද්දෙන් බෙරිහන් දෙන එක. එක්කෝ ඕක කරන්නේ ආතල් එකට. ඒ කියන්නේ පාටි එකේ එක්සයිට්මන්ට් එක වැඩි වෙලා. සමහරු ඩීජේට තමන්ගේ ෆේවරිට් සිංදුව ප්ලේ කරන්න කියන්නත් ඔහොම බෙරිහන් දෙනවා. සමහරු සිංදුවත් එක්ක තමන් ඒක කියන්න ගිහිල්ලත් ඔහොම බෙරිහන් දෙනවා. ඒ අතරේ තව සමහරු නිකම් කතා කරන්න ගියත් අනික් අය අභිබවා යන්න බෙරිහන් දෙනවා. සාමාන්‍යයෙන් පාර්ටි එකක් කියන්නෙම ගොඩක් මිනිස්සු ඉන්න, ගොඩක් සද්ද බද්ද තියෙන තැනක්. ඉතින් ඒ වගේ තැනක සාමාන්‍ය කටහඬ වොලියුම් එකෙන් එහාට ගිහිල්ලා කෑ ගහන් ඩයල් එකක් ඉන්නවා කියන්නෙම පාර්ටි එකේ අනික් අයට මළ වාතයක්!
4. මයික් ටයිසන්!
මුන්දැලව මයික් ටයිසන් කියන නමෙන් මෙන්ම මයික් කන්නෝ කියන නමෙනුත් හඳුන්වනවා. ඔය පාර්ටි එකක එහෙම සාමාන්‍යයෙන් බෑන්ඩ් එකක් එහෙම තිබුණොත්, මේ මයික් ටයිසන්ලා බලාගෙන ඉන්නේ බෑන්ඩ් එකේ සිංදු කියන එකා හති අරින්න නවතිනකල්, උන්දැගෙන් මයික් එක උදුරගෙන තමන්ගේ නන්ස්ටොප් ප්‍රසංගේ පටන් ගන්න. ආන්න ඒක හරිම අප්සට්. එකක් තමයි, බෑන්ඩ් එකේ අය පාර්ටියේ ඉන්න අයටත් සිංදු කියන්න ආරාධනා කළොත් මිසක් බලෙන් ගිහින් සිංදු කියන්න ප්ලග් වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. දෙවෙනියට, තමන් එක සිංදුවක් කිව්වට පස්සේ එන්කෝර් එක -ඒ කියන්නේ තව එකාක්!- කියලා ඕඩියන්ස් එකෙන් ප්‍රතිචාර ලැබුණොත් මිසක් එක දිගට සිංදු දහයක් තියා දෙකක්වත් කියන්න යන එකත් හොඳ මදි.
5. එහෙන් මෙහෙන් ටචින් ටචින්
මෙන්න පාටි වල ඉන්න තව එපාම කරපු සෙට් එකක්. සරලවම කිවුවොත් මේ අය තමයි මෝල් අමාරුව ඉහට ගහලා, පාර්ටි එකට ඇවිත් ඉන්න ගෑණු උදවියට එහෙන් මෙහෙන් ටච් එක දාන්න, නටන්න ඇදගෙන එහෙන් මෙහෙන් අල්ලන්න, මුකුළු කරන්න යන සෙට් එක. මේක විවිධාකාරයි. සමහරු එක්කෝ කරටි කැඩෙන්න ගහලා බීමතෙන් ගිහිල්ලා ගෑණු උදවියට කරදර කරනවා. තව සමහරු බීලා නැතත් වෙරි පාට් එක දාලා ගෑණුන්ව අත පත ගාන්න යනවා. තව සමහරු නිකම්ම මෝල් අමාරුවට විතරක් ගිහින් ඔය විදියට බවලත් උදවියට වදයක් වෙනවා. ඉතින් ඔය කෝක වුනත් අන්තිම කැතයි. පාටියකදී කිසිසේත්ම ඔය වගේ දේවල් නොකළ යුතුයි.
6. තනියෙම මං
දැකලා තියෙනවද සමහරු පාටිය නැගලා යන අතරේ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා? කෙනෙක් හිතයි උඩින් කියලා තියෙන දේවල් වල විදියට මේක වැරැද්දක්ද කියලා. ඇත්තටම මේකත් එක විදියකට වැරැද්දක් තමයි. මොකද පාටියක් කියන්නේ හැමෝම එන්ජෝයි කරන තැනක්. දැන් කියමු අපි පාටියට ඇවිල්ලා ඉන්න කිසිම කෙනෙක් අඳුනන්නෙ නෑ කියලා. කමක් නෑ. එහෙමයි කියල මුළුගැන්නිලා ඉන්න ඕන නෑ. යන්න නන්නාඳුනන අය ගාවට. ගිහින් විස්තර කතා කරන්න. එතන යන සංවාදෙකට හවුල් වෙන්න. සමාජශීලී වෙන්න.
අනික ඕකෙම තව කොටසක් තමයි පාටිය නැගලා යන අතරේ තමන් විතරක් ෆෝන් එකේ එල්ලිලා ඔහේ කොට කොට, ෆේස්බුක් බල බල, එහෙම නැතිනම් ගේම් ගහ ගහ ඉන්න එක. අන්න ඒකත් පාර්ටි එකකට ගියහම නොකරන්නම ඕන දෙයක්.
7. තොරොම්බල් කරත්ත/මෙලෝ රහක් නැති ඇඳුම්
මේක ඇත්තටම පාර්ටියේ හැටියට තමයි තීරණය වෙන්නේ. දැන් ඔය තීම් පාටි එහෙම තියෙන්නේ. අන්න ඒවල කියනවා ඇඳගෙන එන්න ඕන මෙන්න මේ විදියට කියලා. එක්කෝ අසූව දශකයේ විදියට. එක්කෝ ෆුල් බ්ලැක් තීම් එකකට. එක්කෝ ෆැන්ටසි පාටි තීම් එකකට හරියන්න. ඔන්න ඔය විදියට තීම් එකක් දුන්නහම අපි ඒක ගණන් නොගෙන අපිට ඕන එකක් ඇඳගෙන යන එක ඒ තරම් හරි වැඩක් නෙවෙයි. සමහර වෙලාවට එහෙම තීම් එකේ විදියටම අඳින්න අපිට ඇඳුම් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අඩු තරමින් තීම් එකත් එක්ක ගත්තහම ගොනයි මීමයි වගේ නැතුව ලඟින් යන එකක් හරි ඇඳගෙන යන්න ඕන. දැන් ඔය තීම් පාටි වලදී ඇරෙන්න වෙනත් පාටි වලදිත් සාමාන්‍යයෙන් ඩ්‍රෙස් කෝඩ් එකක් නියම කරනවා. ඒවා නං අර වගේ දරුණු එව්වා නෙවෙයි. එක්කෝ ස්මාට්, එක්කෝ ස්මාට් කැෂුවල්, එක්කෝ කැෂුවල්, එක්කෝ බීච් වෙයාර් ඔන්න ඔය වගේ. එව්වා වුනත් ඒ ඒ විදියට පිළිපැදලා ලස්සනට ඇඳගෙන යන එක තමයි හරි විදිය.
8. කොන්-වාත-සේෂන්!
සාමාන්‍යයෙන් ඔය පාර්ටියකදී දෙන්නා තුන්දෙනා කතාවට සෙට් වෙනවනේ. අන්න එතකොට ගොඩක් වෙලාවට යන්නේ කැෂුවල් කතා බහ තමයි. කලාතුරකින් ඉතින් ආර්ථිකය, ධනවාදය, ගෝලීයකරණය වගේ දේවලුත් කතාවට විෂය වෙන්න පුළුවන්. දෙකක් දාගත්තහම දේසපාලනේටත් බහින්න පුළුවන්. හැබැයි පාර්ටියකට යනවා නම් මතක තියාගන්නම ඕන පුරුද්දක් තමයි, අනවශ්‍ය මාතෘකා ඇදලා ගන්න එක. මේ අනවශ්‍ය මාතෘකා වල ඉස්සරහින්ම තියෙන්නේ දේශපාලනය සහ ආගම. ඔන්න ඔය දෙක බීලා හෝ නොබී හෝ කතා නොකරන තරමට හොඳයි. එතනින් එහාට එක දිගට තමන්ගේ මතයන් දිගට හරහට ඇදලා අරින එක, අනික් කෙනෙක්ට කතා කරන්නත් නොදී, එතනින් ගැලවිලා යන්නත් නොදී කෝච්චි දාන එක, වාද කරන්න, වාද කරලා ගේම ඉල්ලන්න යන එක එහෙමත් පාර්ටියකට ඇවිත් නොකළ යුතු දේවල්. එහෙම දේවලින් වෙන්නේ කොන්වර්සේෂන් කොන්වාතසේෂන් වෙන එක තමයි!
දැන් තේරෙනවනේ මොනවද නොකරන්න ඕන කියන එක? ආන්න ඒ නිසා මේ දේවල් ඔළුවේ තියාගෙන ඉඳලා, ඊලඟට යන පාටි එකේ මේ වැරදි එකක්වත් නොකර සුපිරියටම එන්ජෝයි කරමු!
Leave a Reply