දරුවෙකු ප්‍රසූත කරන විවිධ ක්‍රම ගැන දැනුවත් වෙන්​න

ලංකාවේ බොහොම ඈත අතීතයේ ඉඳලම බොහොම විධිමත් විදිහට මේ දරුවෙකු ප්‍රසූත කරනවා කියන කර්තව්‍ය කෙරිලා තියෙනවනෙ. අපි අහල තියෙන විදිහට ඉස්සර කාලෙ මේ දරු ප්‍රසූතිය සිද්ධ වෙන්නෙ වින්නඹු අම්මා කියල මේ කාර්යයට බොහොම අත්දැකීම් තියෙන වැඩිහිටි කාන්තාවකගේ සහ ගමේ වෙද මහත්මයාගේ සහයෝගයත් ඇතුව තිඹිරි ගෙය කියලා ගෙදර සකස් කරපු වෙනම කාමරයක් ඇතුළේ. මේ ක්‍රමයේ තිබ්බ හොඳ ගැන, ඒ තිඹිරි ගෙය සකස් කරන්න ඒ කාලෙදිත් භාවිතා කරලා තිබ්බ විද්‍යාත්මක ක්‍රම ගැන මෑතකදී බොහොම කතාබහට ලක්වුනා. හැබැයි ඉතින් ඒ දවස්වල ඔය කොයි දේටත් තිබුනේ එකම එක ප්‍රසූත ක්‍රමයයි. ඒ තමයි සාමාන්‍ය දරු ප්‍රසූතිය. එතනින් එහාට දෙයක් ඒ කාලෙ කිසිම කෙනෙක් අහලවත් තියෙන්න නැතුව ඇති. 

හැබැයි වර්තමානය වෙද්දි අම්මගෙයි බබාගෙයි පහසුවට, ආරක්ෂාවට දරුවෙක් ප්‍රසූත කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම හොයාගෙන තියෙනවා. ඉතින් ඒ මූලිකම ක්‍රම කිහිපය ගැන තමයි අපි මේ කතා කරන්න යන්නෙ.

 

1. Natural Delivery

මෙන්න මේ Natural Delivery කියන්නෙ හරියටම අපි කලින් කිව්ව ඉස්සර කාලෙ දරුවෝ බිහිකරපු සාමාන්‍ය දරු ප්‍රසූත ක්‍රමයම තමයි. ඒ කියන්නෙ කිසිම බාහිර ප්‍රතිකාරයක්, උදව්වක් නැතුව අවශ්‍ය කාලයම අරගෙන බබා ස්වභාවිකව අම්මගෙ යෝනි මාර්ගය හරහා උපත ලබන එකටයි. ඉස්සරනම් තිබ්බ එකම ක්‍රමය මේක උනාට දැන් හුඟක් දුරට මේ ක්‍රමය තෝරාගන්න අම්මල වගේම, වෛද්‍යවරුත් හරිම අඩුයි. පිටරටවලනම් කැමති කෙනෙකුට මේ ස්වභාවික දරු ප්‍රසූතිය තෝරාගන්න හැකියාවක් තියෙනව වගේම ඒ වෙනුවෙන් පහසුකම් තියෙන වෙනම birth centers පවා තියෙනවා. ඒත් ලංකාවෙනම් දැනට මේ ස්වභාවික දරු උපත් සිදුවෙන්නෙම නැති තරම්.

 

2. Assisted Delivery  

මේක තමයි අපි ලංකාවේ normal delivery එහෙමත් නැත්තම් සාමාන්‍ය දරු ප්‍රසූතියක් කියලා හඳුන්වන ක්‍රමය. නිසි කාලය සම්පුර්ණ උනහම පිටින් ලබාදෙන ඖෂධ මඟින් කෘත්‍රිමව ප්‍රසූත වේදනා ඇතිකරවන්න පුළුවන්. ඊළඟට මොන ක්‍රමයට හරි ප්‍රසූත වේදනා දැනෙන්න පටන් ගත්ත මුල් අවස්ථාවේ ඉඳලම බබාගෙ හෘද ස්පන්දනය බඩට පිටින් සවි කරපු පටියක් ආධාරයෙන් පරීක්ෂා කෙරෙනවා. Amniotomy හෙවත් water bag එක කඩන එක ඊළඟ පියවර. දරු ප්‍රසූතිය ඉක්මන් කරන්න වෛද්‍යවරයා පිටතින් මේ water bag එක කැඩීමකට ලක් කරනවා. ඊලඟට සහ අන්තිමට කරන දේ තමයි Episiotomy හෙවත් පුංචි කැපුමක් යොදන එක. මේ කැපුම යොදන්නේ බබා එන මාර්ගය විවර කරලා දෙන්න සහ යෝනි මාර්ගයේ ඇතුළත අනවශ්‍ය ඉරීම් වළක්වා ගන්නයි. යෝනි මාර්ගයත් ගුද මාර්ගයත් අතරේ තමයි මේ කැපුම යොදන්නේ. ඒ විදිහට විවිධ ක්‍රම මඟින් ප්‍රසූතිය ඉක්මන් සහ පහසු කරන ක්‍රමය තමයි assisted delivery කියන්නෙ.

 

3. Water Birth

Water Birth කියන්නෙ පිටරටවලනම් ඉතාම ප්‍රසිද්ධ ක්‍රමයක්. මේ ක්‍රමයේදීත් දරුවා ලැබෙන්නේ මුලින්ම කියපු කිසිම පිටත උපකාරයක් නැති ස්වභාවික ක්‍රමයට. හැබැයි දරු උපත කෙරෙන මුළු කාලසීමාවම හෝ ඒකෙන් වැඩි හරියක් අම්මා ඉන්නෙ වතුර තටාකයක් ඇතුළේ. වතුර ඇතුළෙදි දැනෙන වේදනාව අඩුවීම සහ ලිහිල් බව නිසා හුඟක් කාන්තාවන් මේ ක්‍රමය තෝරාගන්නවා කියල තමයි කියන්නෙ.

ලංකාවෙනම් මේ ක්‍රමයට දරු ප්‍රසූති සිදුවෙන්නෙ නැහැ සාමාන්‍යයෙන්. දැනට ලංකාවේ සිදුවුණ පළමු සහ එකම water birth එක සිදුකරලා තියෙන්නෙ මේ 2020 වසරේ අප්‍රේල් මාසයේදී නයින්වෙල්ස් රෝහලේදියි.

 

4. Forceps Delivery

Forceps කියන්නෙ අඬු භාවිතා කරලා සිදුකරන ප්‍රසූත ක්‍රමයක්. බබාගෙ හිස යෝනි මාර්ගය හරහා එළියට එන්න අපහසු අවස්ථාවන් වලදී මේ විදිහට ලොකු හැඳි දෙකක් වගේ අඬු දෙකක් යෝනි මාර්ගය හරහා ඇතුල් කරලා බබාගෙ හිස දෙපැත්තෙන් අල්ලලා සීරුවෙන් එළියට ඇදීම සිදු කරනවා. 

 

5. Vacuume Delivery

Vacuume Delivery කියන්නෙත් පිටතින් ආධාරකයක් මඟින් බබාව එළියට ගන්න එක. මෙතැනදී භාවිතා වෙන්නෙ වැකියුම් ක්‍රමය. උරාගන්න පුළුවන් කප් එකක් වගේ යන්ත්‍රයක් යෝනි මාර්ගය හරහා බබාගෙ ඔලුව දක්වා ඇතුල් කරලා ඒ මඟින් බබාව එළියට ගන්න එකයි මෙතැනදී කෙරෙන්නෙ. මේ උරාගැනීම නැත්තම් වැකියුම් එක නිසා බබා ඉපදුනාට පස්සෙත් ඔලුවේ පොඩි තැලුම් පැල්ලමක් තියෙන්න පුළුවන්. හැබැයි ඉපදිලා පළමු පැය 48 යනකොට ඒ පැල්ලම නැතිවෙලා යනවා. 

 

6. Planned C Section

C Section, සිසේරියන් එහෙමත් නැත්තම් සීසර් කරනව කිව්වම අපි ඕන කෙනෙක් දන්නවනේ. ඒකත් අද කාලෙ ඉතාම ජනප්‍රිය දරු ප්‍රසූත ක්‍රමයක්. පෞද්ගලික අංශයේ රෝහල් වල කෙරෙන දරු ප්‍රසූතියන් වලදී නම් අම්මගෙ කැමැත්ත මත, ඒ කියන්නෙ මොකක් හෝ හේතුවක් නිසා සාමන්‍ය දරු ප්‍රසූතියක් සිදුකරන්න අකමැති නිසා මවගේ තෝරාගැනීම මත පමණක්ම කලින් ප්ලෑන් කරලා සිසේරියන් සැත්කමකට භාජනය වෙන්න පුළුවන්. මවගේ, හෝ පියාගේ උපන්දිනය, විශේෂ දවස් වගේ ඒවා බබා ඉපදෙන්න සුදුසු කාලෙට යෙදිලා තියෙන අවස්ථාවල හෝ සුභ නැකත් වගේ බලලත් සමහර දෙනෙක් මේ විදිහට සිසේරියන් සැත්කමක් තෝරාගන්නවා.හැබැයි රජයේ රෝහල් වලනම් මවගේ තෝරාගැනීම මත සිසේරියන් සැත්කම් සිදුකිරීමේ පහසුව නැහැ.

එහෙම නැතුව වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමක් අවශ්‍ය බවත්, සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කළ නොහැකි බවත් තීරණය කරන අවස්ථාවන් තියෙනවා. ඒ ගර්භණී අවධියේදී මවට ඇතිවෙන විවිධ සංකුලතා සලකා බලලා හෝ පෙර දරු ප්‍රසූති සිසේරියන් සැත්කම් හරහා සිදුකළ අවස්ථාවල. 

 

7. Emergency C Section

මේ කියන්නෙත් සාමාන්‍ය සිසේරියන් සැත්කමම තමයි. හැබැයි කලින් සුදානම් කළ C Section එකක් නෙමෙයි. මුලදී සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වෙලා ඉඳලා ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී ඇතිවෙන යම් යම් ගැටළු නිසා වෛද්‍යවරු විසින් හදිසියේම තීරණය කරලා කරන සිසේරියන් සැත්කම. මේ ක්‍රමය තනිකරම භාවිතා කරන්නෙ අම්මගෙ සහ බබාගෙ ආරක්ෂාවට. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *