සාමාන්‍යයෙන් අපිට ගෙදරට මේසයක් ඕනෑ වුනහම අපි කරන්නේ ගිහිල්ලා ලීබඩු සාප්පුවකින් ගන්න එක. එහෙම නැතිනම් වඩු බාසුන්නැහේ කෙනෙක්ට කියලා හදව ගන්න එක. හැබැයි එහෙම නැතිනම් තමන්ම තමන්ට අවශ්‍ය ගෘහ භාණ්ඩ හදාගන්න අයත් කලාතුරකින් හරි ඉන්නවා. ඒ අය එක්කෝ වඩු බාසුන්නැහේලා, එහෙම නැතිනම් වඩු ශිල්පය නැතිනම් වුඩ්වර්කින් කියන එක විනෝදාංශයක් විදියට කරන අය. මේ වගේ විනෝදාංශයක් තමන්ටම කියලා පවත්වගන්න ආස කරන අය වෙනුවෙන්ම තියෙන යූටියුබ් චැනල් කීපයක් ගැනත් Lifie.lk අපි කලින් කියලා තියෙනවා.
හරි. දැන් ඔය වගේ විනෝදෙට හරි, ප්‍රායෝගිකත්වය සලකලා හරි තමන්ම ගෙදර දොරේ භාණ්ඩයක් හදාගන්න, පොඩි වඩු වැඩක් කරගන්න, රෙපයාර් එකක් කරගන්න හිතනවා නම් ඒකට මෙවලම් ඕන කරනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් පොඩි රෙපයාර් එකක් කරගන්න හාදයෙක්ට හෝ හාදියකට නම් ගෙදර අත් කියතක්, අතින් කරකවන ඩ්‍රිල් එකක් වගේ උපකරණ කීපයක් තිබ්බහම ඇති. හැබැයි එහෙම නැතුව විනෝදාංශයක් විදියට විශාල පරිමාණේ වුඩ්වර්කින් ප්‍රොජෙක්ට්ස් කරන්න හිතන කෙනෙක්ට නම් පවර් ටූල්ස් තියෙන එක වඩාත් හොඳයි. ඉතින් අපි මේ කියන්න යන්නේ, අන්න එහෙම කෙනෙක් ගාව තියෙන්න වුවමනාම පවර් ටූල්ස් කීපයක් ගැන.
1. Miter Saw/Table Saw
මයිටර් සෝ එකයි ටේබල් සෝ එකයි දෙකම ලිස්ට් එකට ගත්තට, මේ දෙක වෙනස්. හැබැයි දෙකේ වෙනස දැනගත්තොත් තමන්ට සුදුසුම මොකද්ද කියලා හිතාගන්න පුළුවන්. දැන් මයිටර් සෝ එක හොඳයි විවිධ කෝණයන්ගෙන් වුනත් ලීයක් කපාගන්න. සාමාන්‍යයෙන් ඔය ෆොටෝ ෆ්‍රේම්ස්, දොර උළුවහු, ක්‍රවුන් මොඩ්ලින් වගේ දේවල් වලට ගාණට මිම්මට කෝණ වලින් ලී කපාගන්න මයිටස් සෝ එක හොඳයි. හැබැයි හරි ගාණට දිගට ලී ඉරාගන්න එහෙම නම් මේක සෙට් වෙන්නෙ නෑ. ආන්න ඒකට හරියන්නේ වඩා බලසම්පන්න ටේබල් සෝ එකක්. ඇත්තටම දැන් ලොකු වුඩ්වර්ක් ප්‍රොජෙක්ට් එකකදී විශාල ලී කපාගන්න වෙනවනේ. අන්න එතකොට හරියන භාණ්ඩේ තමයි මේක. පොඩි පොඩි කැපිලි ගාණට මිම්මට කරගන්න නං මේක හරියන්නෙ නෑ. හැබැයි ලොකු වැඩ වලට ලොකු පවර් එකක් තියෙන ටූල් එක තමයි මේක.
අන්න ඒ නිසා, සීරියස් විදියට වුඩ්වර්කින් කරන කෙනෙක් ගාව මේ දෙකම තිබුණට කාරි නෑ. එහෙම නැතිනම් මයිටර් සෝ එකක් විතරක් ගන්න පුළුවන්. ලොකුවට කපාගන්න වැඩ ලී මෝලෙන්ම කරගෙන එන්න පුළුවන්.
2. Cordless Drill
අපි මුලින්ම දන්න ඩ්‍රිල් එක තමයි අතේ පවර් එකෙන් කරකවන ඩ්‍රිල් එක. ඒකෙන් ලොකු වැඩ කරන්න තියා හිතන්නවත් බෑ. ඉන් පස්සේ ආවා ඉලෙක්ට්‍රික් ඩ්‍රිල්. ඒවා නං ලොකු පොඩි ඕනම වැඩකට හොඳයි. හැබැයි නියම ක්‍රාෆ්ටර් කෙනෙක්ට හරියන්නේ, චාර්ජ් කරලා පාවිච්චි කරන්න පුළුවන් විදියේ කෝඩ්ලස් ඩ්‍රිල් එකක්. මොකද, ඩ්‍රිල් එකක් වගේ බහුකාර්ය උපකරණයක් පාවිච්චි කරනකොට කෝඩ් ඇදගෙන නටන එක අමාරු වැඩක් වගේම අනාරක්ෂිත වැඩක්. මේ විදියේ ඩ්‍රිල් එකක් ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් හිල් විදින්න විතරක් නෙවෙයි. ඇණ හයි කරන්න, ඇණ ගලවන්න වගේ දහසකුත් එකක් වැඩවලට කෝඩ්ලස් ඩ්‍රිල් එක ප්‍රයෝජනවත්. හැබැයි මේ ඩ්‍රිල් එකෙත් ජාති දෙකක් තියෙනවා. එකක් හැමර් ඩ්‍රිල් එක. ඒකෙන් ඔය බ්ලොක් ගල්, ගඩොල් වගේ තද පෘෂ්ඨ එක්ක පවා වැඩ කරන්න පුළුවන්. අනික් එක බ්‍රෂ්ලස් ඩ්‍රිල් එක. ඒකෙන් ලී සහ වඩාත් මෘදු අමුද්‍රව්‍ය එක්ක වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වුඩ්වර්කින් වලට මේක හොඳයි. ගාණත් උඩින් කියපු එකට වඩා සාපේක්ෂව අඩුයි.
3. Reciprocating Saw
දැන් උඩ කියපු බලශක්ති කියත් දෙකක් තිබිලත් තව එකකුත් ඕනද? එහෙම අහන්න එපා. මේකෙන් ගන්න වැඩ ටිකක් වෙනස්. මේක නිකම් අර පාර තලන, පාර හිල් කරන යන්තරයක් වගේ වැඩ කරන්නේ. ඉහළ පහළ යන තලයක් තියෙනවා. ගාණට අතින් බැලන්ස් කරගෙන කපාගන ඕන. මේක අපි ලිස්ට් එකට ගන්නේ උඩින් කියපු කියත් දෙකට අමතරව මේකත් තියෙන්න ඕන නිසා නෙවෙයි. මේක වුඩ්වර්කින් වලට ඇරෙන්න වෙනත් දේවල් කපා ගන්නත් බොහොම ප්‍රයෝජනවත් නිසා. ඒ කියන්නේ ප්ලාස්ටර් වුනත්, වානේ වුනත්, ෆයිබර්ග්ලාස් වුනත්, ඒ තියා කොන්ක්‍රීට් වුනත් කපාගන්න පුළුවන්. අන්න එහෙම වැඩත් යෙදෙනවා නම් මේ Reciprocating Saw එකක් ගෙනැත් තියාගත්තට වරදක් නෑ.
4. Random Orbital Sander
සෑන්ඩර් කියන එක ඇහුවමහ තේරෙනවනේ මේ කියන්නේ අර වැලි කඩදාසි නැතිනම් සෑන්ඩ් පේපර්ස් වලින් අත් හමයනකල් අපි කරපු වැඩේ කරලා දෙන පවර් ටූල් එකක් කියලා. හැබැයි සාමාන්‍ය ඕර්බිටල් සෑන්ඩර් එකක තියෙන අවුල වෙන්නේ ඒකෙන් මැද්දහම ලී හරි වෙනත් මතුපිටක හරි රවුම් රවුම් පාරවල් හිටින එක. ඊට පස්සේ ඒවා එක්කෝ අතින් වැලි කඩදාසියක් අල්ලලා හරි ගාණට ෂේප් කරන්න වෙනවා. හැබැයි රැන්ඩම් ඕර්බිටල් සෑන්ඩර් එකෙන් එහෙම අවුල් නෑ. කෙලින්ම අල්ලලා ගත්තහම කිසිම පැටර්න් එකක් ඉතුරු වෙන්නෙ නෑ. ඇත්තටම තමත් ඔය වුඩ්ක්‍රාෆ්ටින් කරන හාදයෝ සෑන්ඩර් එකෙන් අල්ලලා ගන්න දේකට වුනත් ෆයිනල් ටච් එක දෙන්න වැලි කඩදාසියෙන් මදින වැඩේ කරනවා. ඒත් සම්පූර්ණ වැඩේම වැලි කඩදාසියෙන් කරන්න යන වෙලාව සහ ශ්‍රමය ඉතුරු කරලා දෙන ටූල් එකක් නිසා රැන්ඩම් ඕර්බිටල් සෑන්ඩර් එකකට කරන ආයෝජනය පාඩුවක් නෙවෙයි.
5. Jigsaw
ඒ පාර තව කියතක්ද කියලා අහන්න එපා. ඔය වුඩ්වර්කින් වලදී ලී රවුම් කපාගන්න, වක්‍රාකාරව ලී වල පැටර්න් එහෙම කපාගන්න වුනහම, ඒක කරගන්න ක්‍රම තියෙනවා. හැබැයි ඒක පහසුවෙන් කරගන්න තියෙන ක්‍රමේ තමයි ජිග්සෝ එකක් ගන්න එක. විශේෂත්වය වෙන්නේ, එකක්, අතිශයින්ම සීරු මාරුවට රවුම්, වක්‍ර රටා කපාගන්න ජිග්සෝ එකෙන් පුළුවන් වීම සහ, ජොග්සෝ එකට පාවිච්චි කරන්න පුළුවන් බ්ලේඩ් වර්ග විශාල පරාසයකින් තිබීම. ඇත්තටම අනික් විදුලි කියත් වර්ග ගන්න එක පස්සට දැම්මත් ජිග්සෝ එකක් තියේ නම් සෑහෙන්න දුරට වුඩ්වර්කින් වැඩ ගොඩදාගන්න පුළුවන් කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. ඕන නං වඩාත් ලේසියෙන් පාවිච්චි කරන්න කෝඩ්ලස් ජිග්සෝ එහෙමත් දැන් වෙළෙඳපොළේ ගන්න පුළුවන්.
6. Wood Router
වුඩ් රවුටර් එකක් කියන්නේ වුඩ්වර්කින්, ක්‍රාෆ්ටින් කරන කෙනෙක්ට එක එක විදියේ ඩිසයින්ස් ලී වල හෝ ඒ වගේ මැටීරියල් වල කපාගන්න පුළුවන් විදියේ ටූල් එකක්. මේකට පොඩ්ඩක් අතේ හුරුවත් තියෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට ලී ෆ්‍රේම් එකක ලස්සන දාර කපාගන්න ඕන නම්, වුඩ් රවුටර් එකෙන් පහසුවෙන්, ගාණට, කොලිටියට ඒ විදියේ දාර කපාගන්න පුළුවන්. වෙන එකක් තියා, වුඩ් රවුටරේ වැඩ පුරුදු වුනාට පස්සේ ඕන නම් ලී බෝඩ් එකක රේඛා චිත්‍රයක් වුනත් ඇඳගන්න පුළුවන් ගේමක් නැතුව. එහෙම තමයි බාසුන්නැහේ කිව්වේ.
7. Paint Sprayer
සාමාන්‍යයෙන් අපි වුඩ්වර්කින් කරන්න පටන් අරගෙන මොකක් හරි හැදුවට පස්සේ මොකද කරන්නේ? ඒක පොලිෂ් කරගන්න, පේන්ට් කරගන්න ඕන. පොලිෂ් කරන එක අතින් කරගන්න පුළුවන්. වෙලාව යනවා තමයි, ඒත් පුළුවන්. පේන්ට් කරන එකත් අතින් කරගන්න පුළුවන්. හැබැයි එතනදී වෙලාව වගේම, කොලිටියත් බලපානවා. ආන්න ඒ නිසා තමයි ස්ප්‍රේ මැෂින් එකක් තියෙන එක වටින්නේ. ස්ප්‍රේ මැෂින් එකක් සහ ඒකට එයාර් කොම්ප්‍රෙෂර් එකක් තියෙනවා නම්, බොහොම පහසුවෙන් තමන් හදපු දේවල් පේන්ට් කරගන්න පුළුවන්. එතකොට වැඩේ කොලිටියත් ඉස්තරම්.
8. විවිධ වර්ගයේ නියන් සෙට් එකක්
ඔව්. පවර් ටූල්ස් ගැන කියලා අන්තිම අයිටම් එකට පවර් නොවෙන ටුල් සෙට් එකක් දාන එක පොඩ්ඩක් අමුතුයි වගේ වුණත්, මේ ගැනත් කියන්නම ඕන නිසා අපි මේකත් අයිටම් එකකට ගන්නවා. දැන් ඔය පවර් ටූල් පාවිච්චි කරලා සෑහෙන්න ලස්සනට, නීට් එකට, නිමාවට ක්‍රාෆ්ටින් වැඩක් කරගන්න පුළුවන්. හැබැයි සමහර අතිශයින්ම සියුම් වැඩ කරන්න කෙනෙක්ට පවර් ටුල් එකකට වඩා තමන්ගේ අතේ නොසැලෙන බව විශ්වාසවන්ත වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ වැඩවලට හොඳ නියන් සෙට් එකක් ගෙනැල්ලා තියාගත්තට කමක් නෑ. මේ කියන්නේ පළල් තලයේ ඉඳලා බොහොම සියුම් තල, කෝණික තල දක්වා තියෙන නියන් වර්ග ගැන. සෙට් එකක්ම ගත්තහම කවදාහරි ඕන වෙයිනේ.
හැබැයි තව දෙයක් කියන්නම ඕන. සාමාන්‍යයෙන් අපි පටන් ගන්නකොට කියපු අත් කියත් වගේ අවිආවුද පාවිච්චි කරනකොටත් ආරක්ෂාකාරීව පාවිච්චි කරන්න ඕන. හැබැයි මේ පවර් ටූල්ස් පාවිච්චි කරනකොට ඒ ආරක්ෂාව පිළිබඳ අදහස දෙගුණ, තුන්ගුණ කරගන්න ඕන වෙනවා. පවර් ටූල්ස් පාවිච්චි කරනකොට ඝන අත්වැසුම්, ඇස් ආවරණ වගේ දේවල් වල ඉඳල උපරිම ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න ඕන. හේතුව මේ පවර් ටූල්ස් කියන්නේ බොහොම බලසම්පන්න මෙවලම් නිසා. උදාහරණයක් විදියට ගත්තොත්, අත් කියතකින් සිද්ධ වෙන්න පුළුවන් පොඩි තුවාලයක් විතරයි. හැබැයි ප්‍රවේසම් නොවුණොත්, අපි උඩ කියලා තියෙන විදියේ විදුලියෙන් වැඩ කරන බලසම්පන්න කියතකින් අතක් පයක් වෙන් වෙන්න යන්නේ නිමේශයයි!
ආන්න ඒ නිසා, මේ පවර් ටූල්ස් පාවිච්චි කරනකොට ආරක්ෂාවට මුල් තැන කියන එකත් මතක තියාගන්න.
Leave a Reply