ලෝකයේ මස් පරිභෝජනය වැඩිම රටවල්

දකුණු ආසියාව කියන්නේ මස් පරිභෝජනය අනුව පහළම තියෙන රටවල්. දකුණු ආසියාතික රටවල් අතර ලංකාව, භූතානය, ඉන්දියාව, බංග්ලාදේශය ඒක පුද්ගල මස් පරිභෝජන ලැයිස්තුවල පහළම ඉන්නවා. දකුණු ආසියාවේ ලෝක ජනගහනයෙන් 26%කට වැඩි ජනතාවක් ඉන්නවා. බංග්ලාදේශය සහ පාකිස්ථානය ගතහොත් ජන ඝනත්වයත් බොහොම වැඩියි. ඉතින් ඒසා විශාල ජනගහනයක් මස් පරිභෝජනයෙන් නඩත්තු කිරීම අකාර්යක්ෂමයි. ඒ නිසාම ඔවුන් ධාන්‍ය කෙලින්ම ආහාරයට ගැනීමෙන් සිය වේල් සරිකරගන්නට ඉබේම හුරු වෙලා තියෙනවා. ඒත් ලෝකයේ එක් පුද්ගලයෙක් වසරකට මස් කිලෝ සීයකටත් වඩා අනුභව කරන රටවල් තියෙනවා. අපි ඒ ගැන සොයා බලමු.

 

1. මොනවාද ඒ රටවල්? 

මස් පරිභෝජනය ගත්තාම මස් පිණිස සතුන් ඇතිකරන දියුණු රටවල මස් පරිභෝජනය කොහොමත් වැඩියි. සංවර්ධිත රටවල ජනතාවට මස් සිය ආහාර වේලට එකතු කරගන්න යහමින් මුදල් හදල් තියෙනවා. ඒ අනුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය කාලාන්තරයක් තිස්සේ මස් පරිභෝජන ලැයිස්තුවේ උඩම තැන්වල ඉන්නවා. ආජන්ටිනාව සහ බ්‍රසීලයත් මස් පරිභෝජන ලැයිස්තුවල උඩින්ම ඉන්නවා. මේ රටවල මස් පරිභෝජනය 2013දි  එක් පුද්ගලයෙක් වසරකට කිලෝග්‍රෑම් සීයකට වැඩියි. එම ප්‍රමාණය කිරා බැලූවිට කුකුල්ලු පනහක් හෝ සම්පූර්ණ ගවයෙකුගෙන් බාගයක් පමණ ඔවුන් වසරකට ගිලදමා තිබෙනවා.

 

2. ආදායම සහ මස් පරිභෝජනය

මස් කියන්නේ දුප්පත් කෑමක් නෙමෙයි. මස් මිලදී ගන්නට පුළුවන් වෙන්නේ යම්තාක් දුරකට මුදල් තිබුණාම. මෙය සර්වලෝක සත්‍යයක්. දත්ත අනුව 1980 දී චීනයේ ඒක පුද්ගල මස් පරිභෝජනය වර්ෂයකට කිලෝග්‍රෑම් 15කට ආසන්න වුණා එහෙත් 2013දි එය කිලෝග්‍රෑම් 60ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම බ්‍රසීලයේ එක පුද්ගලයෙක් 1980 දී කිලෝග්‍රෑම් 40කට ආසන්න මස් අනුභව කළා. ඒත් 2013 දී එම අගය කිලෝග්‍රෑම් 90 දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ අනුව එම රටවල් දෙකම ආර්ථිකව වර්ධනය වෙද්දි මස් පරිභෝජනයත් ඒ සමානුපාතිකවම වැඩිවෙලා තියෙනවා.

 

3. ඉන්දියානු උප මහද්වීපේ අඩු මස් පරිභෝජනය

ඉන්දියාවේ හින්දු ආගම මගින් මස් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරල තියෙනවා. ලංකාවෙත් ගවයා මැරීම වගේම ගවමස් ආහාරයට ගැනීමත් ලංකාවේ සංස්කෘතිය මගින් පිළිකෙව් කරනවා. ඉන්දියාව සහ බංග්ලාදේශයේ ජනතාව බහුතරයක් තවමත් අන්ත දුගී අඩියක ඉන්නවා. සංස්කෘතික බලපෑම් වගේම ඔවුන්ගේ දුප්පත් කමත් වසරකට කිලෝ 5ක් තරම් අඩු අගයක මස් පරිභෝජනයට හේතු වෙන්නට ඇති.

 

4. ජනප්‍රිය වූ කුරුළු මස්

ලංකාවෙත් ජනප්‍රියම මස තමයි චිකන්. චිකන් කියන්නේ ලෝකයේ මිල අඩුම මස් වර්ගයක්. වෙන රටවල කුකුළන් වගේම තාරාවන් පාත්තයින් සහ විශාල කුරුල්ලන් ආහාරයට ගන්නවා. මේ සතුන්ට සාපේක්ෂව නඩත්තු වියදම අඩුයි. ඒ වගේම සම්පූර්ණ සතාගෙන් ආහාරයට ගන්න පුළුවන් කොටස් ප්‍රමාණය වැඩියි. ඒ නිසාම ඇමරිකානුවන් බුදින මස් කිලෝ සීයෙන් මේ කුරුළු මස් වලට ලැබෙන ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් තියෙනවා. ඇමරිකානුවන් එදා පටන්ම ගවමස්, ඌරුමස් බුදින්නට කැමතියි. එහෙත් මෑතක සිට ලාභදායී නිසාමදෝ චිකන් සහ කුරුළු මස් වලට ඇති තැන වැඩිවෙලා තියෙනවා.

 

5. කාර්යක්ෂම මස් සොයාගැනීම

කොරියාව, ජපානය, චීනය වැනි රටවල මස් වලට සතුන් ඇතිකරනවා වගේම ආහාරය පිණිස මාළු ඇතිකරනවා. එහිදී ඔවුන් විශාල ටැංකි වල මාළු ඇතිකර ආහාරයට ගන්නවා. සතුන් මසට ඇතිකිරීමේදී වඩාත් කාර්යක්ෂම සතුන් ලෙස කුකුළන් දැක්වෙනවා. කුකුළන් කුඩා අවකාශයක වුවත් විශාල සංඛ්‍යාවක් ඇතිකරන්නට පුළුවන්. ඒ වගේම හරකුන්ට සහ ඌරන්ට වඩා කුකුළන්ට ලබාදෙන්න ඕනි ආහාර ප්‍රමාණයත් අඩුයි. ඒ එක්ක 20 වන සියවසේදී ලොව වේගයෙන් ජනප්‍රිය වූ කුකුල් මස්, මස් ලබාගන්නා රටවල ප්‍රධාන තැනට ඇවිත් තියෙනවා.

 

7. මස් සහ සෞඛ්‍යය

ඉන්දියාව ගතහොත් ඉන්දියාවේ වැඩිපුරම මස් ආහාරයට ගන්නේ බටහිර බෙංගාල සහ කේරළයේ අය. කේරළ ප්‍රාන්තය අධි රුධිර පීඩනය, දියවැඩියා සහ පිළිකා රෝගීන් වැඩිපුරම වාර්තා වෙන පළාතක්. ඒ අනුව ඔවුන්ගේ ආහාර රටාවේ මස් වැඩිපුර පරිභෝජනය කිරීම ඔවුන්ගේ සෞඛ්‍ය අවදානම වැඩිවෙන්න හේතු වෙලා තියෙනවා කියා විද්‍යාඥයින් සැක පහළ කරනවා. ලෝකයේම ගත්තත් උත්තරාර්ධගෝලීය යුරෝපය සහ ඇමරිකාව කලක පටන් මස් අධිපරිභෝජනයෙන් ඇතිවෙන්න පුළුවන් ආහාර අහේනිය වගේම සෞඛ්‍ය අවදානම ගැනත් වැඩිපුර කතා කරනවා. ඒත් දත්ත සංඛ්‍යාලේඛන අනුව යුරෝපීයයන්ට සහ ඇමෙරිකානුවන්ට සිය මස් පරිභෝජනය අඩුකරගන්නට තවමත් බැරිවෙලා තියෙනවා.

 

8. මස් නිපදවන රටවල්

මස් නිපදවන රටවල් අතර ලංකාවත් ඉදිරියෙන් ඉන්නවා. මස් නිපදවීමේදී චීනයේ නැගීම ඉතාම වේගවත්. ඔවුන් 1980 දී නිපදවා තියෙන්නේ මස් ටොන් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක්. එම අගය 2018 දී මස් ටොන් 88ක් දක්වා වැඩිකරගන්නට චීනයට පුළුවන් වෙලා තියෙනවා. ඒ කාලය තුලදී එනම් 1980 දී මස් ටොන් මිලියන 23ක් නිපදවපු ඇමරිකාව 2018 දී මස් ටොන් මිලියන 46ක්ට ආසන්න ප්‍රමාණයක් නිපදවලා තියෙනවා. ඉන්දියාවත් මේ ලැයිස්තුවේ තුන්වැනි තැන ඉන්නවා. කෙමෙන් කෙමෙන් ලෝකයේ මස් නිපදවීමේ ලැයිස්තුවල ආසියාව ඉස්සරහට ඇවිත් තියෙනවා. මේ කෙසේ වෙතත් මේ මස් නිපදවීම්, මස් පරිභෝජනය කිරීම් ආදී සියළු ලැයිස්තුවලින් අප්‍රිකාව ඉබේම වගේ ඈත්වෙලා තියෙනවා.

මස් කෑම ගැන කවි, කතා, ගීත ලියවුනාට ලංකාව කියන්නේ මස් පරිභෝජනය අඩුම රටක්. ඒත් ධීවර කර්මාන්තය, බිත්තර කර්මාන්තය නිසා ලංකාවේ ප්‍රෝටීන අවශ්‍යතාවයන් ගාණට සපිරෙනවා ඇති. සතුන් පෝෂණය කර ඔවුන්ව ආහාරයට ගැනීම අකාර්යක්ෂම ආහාර පුරුද්දක්. ඒ වගේම ආහාරයට මස් වැඩිපුර ගැනීමත් සෞඛ්‍යයට ගැටළු ඇතිකරන්නක්. ඉතින් ඒ කෙසේ වෙතත් දිනපතා මස් කෑමට ගිජු වූ උදවියට එය අත ඇරගන්න එක මාසෙකට දෙතුන් වතාවක් යාන්තමට මස් කෑල්ලක් කන අයට ඒක අත ඇරගන්නවාට වඩා අමාරු ඇති.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *