ඒ කාලේ ග​මේ මගුල් ගෙදර​ක සිරි අසිරිය මතක් කරලා බලමු​ද?

සමහර කුරුල්ලෝ සහ තිරිසන් සත්තු පවා තමුන් ලිංගිකව එක්කාසු වෙන්නට කලින් යම් නර්තනයක් දාලා වැඩ ටිකක් පෙන්වලාම වැඩේට සෙට් වෙනවා. ඒ වගේම මිනිස්සුත් පුරාතනයේ පටන් නිල වශයෙන් ලිංගිකව එක්වීම  උත්සවාකාරයෙන් සමරන්නට උත්සාහ කළා. මේ දෙදෙනෙක් එකතු වෙලා පවුලක් හදන්නට පටන් ගන්න සුබ අවස්ථාව ඒ කාලෙත් අද වගේම ජයටම සැමරුවා. අපේ ආත්තලා මුත්තලාගේ වෙඩින් වලටත් ඒකාලේ ඉඩම් කඩම් උගස් තියලා, ණය තුරුස් වෙලා මුදල් වියදම් කළා. අපි ඒ කාලේ මතක සටහන් කිහිපයක් ආවර්ජනය කර බලමු. 

 

1. ගෙදරම ගැනීම 

ගෙදර මඟුල් ගෙවල් නෙමෙයි, දැන් පොඩි දානයක් වත් ගන්නෙ නැති තත්ත්වයට පත් වෙලා. හැම දේකටම, ඉවෙන්ට් සඳහා වෙනම හෝල් තියෙනවා. එත් කලකට ඉස්සර බොහෝ උත්සව තිබුණේ ගෙදරම තමයි. ගෙදර පොඩි නම්, ඉඩ මදිනම් ඒකට අලුතින් මඩු ගැහුවා. පස්සේ කාලෙක ටකරං ආවට ඉස්සර මඩු ගැහුවේ පොල්අතු වලින්. පොල්අතු මඩු දෙක තුනක් ගහනවා උත්සව අවස්ථාවක් ආවම. මොකද දැන් තරම් ඒ කාලේ ගෙවල්වල ඉඩ පහසුව තිබුණේ නැහැ. මේ විදිහට ගෙදර මඟුලක් සිද්ධ වෙද්දි හතර පේරුවේ නෑයෝ, අවට වටපිටාවේ හිතවතුන් ගෙදරට එකතු වෙනවා. ඇත්තටම මේ අමතර පිරිසට දින කිහිපයක් තිස්සේ සත්කාර කරන්නට වීමත් පසුකාලේ මඟුල් හෝල් එකේ ගන්නට හේතු වුණා. 

 

2. අවට අයගේ දායකත්වය 

දැන් නම් අපිට ඉන්වයිට් කරලා නම් අපි ගිහින් මගුල් ගෙදර කාල බීලා, නටලා එනවා. ඒත් එදා එහෙම නෙමෙයි. මඟුල් ගෙදරක් වුණාම ඒක ඥාතීන්ට, ගමේ අයට වෙනම අවස්ථාවක්. තොරන් බැඳලා, පාරවල් සරසලා විතරක් නෙමෙයි, ගෙදර තියෙන වැඩ කටයුතු වලටත් ගොඩක් අය දායක වෙනවා. කැවිලි පෙවිලි හදන එක වගේම ගෙදර කෑම බීම මඟුල් ගෙදරට සපයන වැඩෙත් ගමේ අයගේ උදව්වෙන්ම සිදු වුණා. ඒ කාලේ දැන් තරම් මංගල ව්‍යාපාරිකයින් නැති නිසා ඒ ඒ දේවල් වලට ගම් වලම විවිධ කණ්ඩායම් උදව් පදව් කළා. 

 

3. ස්පීකරය හෝ ග්‍රැමෆෝනය 

ඉලෙක්ට්‍රොනික යුගය එන්නට කලින් මගුල් ගෙවල් වල කොහොමට සංගීතය සැපයුවාද කියන්නට දන්නේ නැහැ. සමහරවිට ඒ කාලේ මගුල් ගෙවල්වල ලයිව් බෑන්ඩ් වගේ තිබිලා සිංදු කියන්නට ඇති. කොහොම වුණත් දැන් වගේ තොරතෝංචියක් නැති ඩීජේ සහ බෑන්ඩ් ඒ කාලේ තිබ්බේ නැති තරම්. අනූව අසූව කාලේ නම් තඩි සෙටප් එකක් උස්සගෙන ඇවිත් ඒක මහ සද්දෙන් දැම්මා. අනූව අසූව කාලේ වෙද්දි කැසට් තමයි ඉතින් ජනප්‍රියම බඩුව. ඊට පෙර කාලේ දැන් පංසල් පල්ලි වල සද්දෙන් දාන ලවුඩ්ස්පීකර් වලින් ගීත වාදනය වූ යුගයක් තිබුණා. ඊටත් කලියෙන් ග්‍රැමෆෝන් එකෙන් පරණ තාලෙට සිංදුවක් වාදනය වුණා. 

 

4. සර්ප්‍රයිස් ඩාන්ස් 

සර්ප්‍රයිස් ඩාන්ස් දැන් නම් හරිම පුදුමයි. මාස ගාණක ඉඳලා මනමාලියි කට්ටියයි පුරුදු වෙලා එදාට දාන ඩාන්ස් එකට සර්ප්‍රයිස් වුණා වගේ කට ඇරං බලන් ඉන්න එකත් මඟුල් ගෙදර අය මූණ දෙන ලොකු ගේමක්. ඒ කාලේ සර්ප්‍රයිස් ඩාන්ස් වලට සෙට් වුණු උදවිය ගම් වල උන්නා. එයාල පොඩ්ඩක් කසිප්පු ටිකක්, රා අරක්කු ටිකක් කට ගාගත්තම නොසරුප් වදනින් වචන පේළිය පටන් ගත්තා. ඉන් පස්සේ එයාලම සිංදු කියාල ඩෑන්ස් එකකුත් පටන් ගත්තා. ඔය වගේ වෙලාවට අවස්ථාව බලලා ඒ කට්ටිය ඉවත්කරන්නත් ගමේ වැඩිහිටියෝ ක්‍රියා කළා. 

 

5. ප්‍රී නැති ෂූට් 

දැන් වගේ ප්‍රීෂූට් ගන්න ඒ කාලේ අමාරු වුණා. මොකද ප්‍රී ෂූට් ගහන්න කැමරා ආම්පන්න ලාභ වුණේ නැහැ. පොටෝ එකක් ගන්න මගුල් නැකැත් දවසට ස්ටුඩියෝ එක ඉස්සරහා කණ්ඩායම් කීපයක් මග බලාගෙන ඉන්නවා. එයින් එක් එක් කණ්ඩායම් වල පොටෝ ගන්නවා. ඒ පොටෝවලට බොහෝවිට මල්කුමාර, මල්කුමාරි, දෙවන මනමාල ජෝඩුව සහ කසාද බඳින දෙන්නා විතරයි ඇතුළත් වෙන්නේ. පසුකාලීනව පොඩි රීල් කැමරා ජනප්‍රිය වුණාම ළඟම පවුල් වල කට්ටිය පේළියට තියලා, මනමාල ජෝඩුව මැදින් තියලා පොටෝ ගත්තා. 

 

6. කෑම මේසය 

ඒ කාලේ කෑම ඇරියේ මේසෙට. කෑම මේසේ වතාවත් චාරිත්තර තිබුණා. ඒවා අනුව කෑම මේසයේදී ආහාර අනුභව කරන්නට ඕනි. එකපාරකට කෑම මේසේ තියෙන පුටු ගාණට තමයි වතුර අල්ලන්නේ. ඒ කණ්ඩායම කාල ඉවර වුණාම තමයි ඊළඟ කණ්ඩායම කන්නේ. දැන් වගේ බුෆේ නැති ඒ කාලේ කෑම මේසේ ඒ ඒ අවස්ථාවට අදාළ කෑම බීම ජාති ගෙනත් තියන්නට ළඟම හිතවතුන් සැදී පැහැදී සිටියා. 

 

7. පරම්පරාගත කතා 

“මේ මනමාල මහත්මයා ගැන වචනයක් කතා කරනවනම් මට මතකයි එදා…” කියලා පටන් අරගෙන රම්පෙට පොරි හැලෙන්න පරම්පරා වරුණාව ගහන කතාකාරයෝ එදා මගුල් ගෙවල්වල උන්නා. වැඩිය කතා කාරයෝ නැති උදවිය එහෙම අය හෙයාගෙන ඇවිත් තමුන් වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් කළා. ටිකක් ඇදෙන බෝරින් වැඩක් වෙන මේ කතා ඉවෙන්ට් එක නම් නැති වුණ එක හොඳයි. මේ කතා වලින් හොඳම විතරක් නෙමෙයි, සමහර වෙලාවට ඕනි නැති කුණු කන්දල් අවුස්සලා ඒ අවස්ථාවේ තියෙන සතුට ප්‍රීතිය නැතිකරලා දාන අවස්ථාත් ඒ කාලේ මඟුල් ගෙවල් වල වාර්තා වුණා. 

 

පුරාතනයේ තිබූ පළියට ඒ පරණ වෙඩින් වල සෑම අංගයක්ම හොඳ නැහැ. ඒ අංග වල තිබුන අඩුලුහුඬුකම් නවීන මඟුල් ගෙවල් වල ලක්ෂණ අලුත් වෙන්නට බලපෑවා. ඒ කාලේ සරල ජීවන රටාව තුළ පවා මගුල්ගෙදර කියන එකේ යම් උත්සවාකාර ස්වරූපයක් තිබුණා. අද වෙද්දි හැමෝම එකම තාලයේ වෙඩින් එකකට උත්සාහ කරද්දී ඒ කාලේ නම් යම් යම් පළාත්වලට ආවේණික මගුල් තුලා වල වෙනස්කමුත් වෙඩින් තුළ දකින්නට තිබුණා.

 

 ඉතින් ඔයාලටත් ඔයාල පුංචි කාලේ මතක පරණ වෙඩින් අත්දැකීම් මේ හරහා අලුත් වෙන්නට ඇති. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *